හිමි අහිමි – 18 කොට​ස

 

තමන්ට පවුලේම කෙනෙක් වගේ ආදරේ කරපු අප්පච්චිගේ නික්ම යාමටත් වඩා නිතාරට දරාගන්නම බැරිවුණේ විමංග දුක්වෙන දිහා බලාගෙන ඉන්න සිදුවෙන එක. ජයදේවගේ අවසන් කටයුතු සිදුවුණ දවස් කිහිපයේම නිතාරා විමංගලාගේ ගෙදර ගියත් නෑදෑයෝ, අම්ම වගේම නොදන්නා බොහෝ පිරිස නිසා නිතාරට විමංග ලඟින් ඉඳගෙන දුක බෙදාගන්න ලැබුනෙම නැතිතරම්. 

කොල්ලෙක් නිසාම, අඬන්න බැරිකමටම වේදනාව හංගගෙන දුවල පැනල මළ ගෙදර හැම වැඩක්ම බලපු විමංග ගැන ඇත්තටම නිතාරට ඇතිවුණේ පුදුම දුකක්. මුල් දවසේ ඉඳලම හැම වැඩකටම උදව්වට අමා, රවිඳු වගේම කැම්පස් එකේ අනිත් යාළුවොත් ලඟින්ම හිටපු එක නිතාරගේ හිතටත් හයියක්. ඒ වගේම විමංගගේ ඉස්කෝලේ යාළුවො, සම වයස් නෑදෑයෝ වගේ හුඟක් දෙනෙක් ඒ දවස් කිහිපයේම විමංගට හයියට හිටිය. නිතාර කොච්චර උත්සාහ කළත් විමංගගේ අම්මා දුක බෙදාගන්නවත් නිතාරා එක්ක කතා නොකළේ එයා ඉන්න මානසික මට්ටම නිසා වෙන්න ඇතිබව නිතාරට හිතුනා. කවුරු කොහොම හිටියත් හිතේ දුක බය නැතුව දිගාහරින්න විමංගට පුළුවන් එයාගේ අප්පච්චිට පස්සේ තමන් ඉස්සරහා විතරයි කියන කාරණාව නිතාරගේ හිත නිතරම රිදෙව්වා. පවුලේ කෙනෙකුත් නොවී ඒත් ලඟින් නොඉඳ බැරි කෙනෙක් වෙන එක කොයිතරම් වේදනාවක්ද කියලා නිතාරා නොහිතපු මොහොතක් ඒ දවස් තුන හතරට තිබුණෙම නැති තරම්. 

මළගෙදර වගේම හත්දවසේ දානෙ ගෙදර වැඩ කටයුතුත් ඉවර වෙනකන්ම ඒ දවස් කිහිපයම නිතාරා තාත්තා හරි, අම්මා තාත්තා දෙන්නාම එක්ක හරි හැමදාම වගේ විමංගගේ ගෙදර ගියා.

                                      ******************************************

විමංග ආපහු නිතාරව මුණගැහෙන්න ආවේ දානෙ ගෙදර වැඩත් ඔක්කොම ඉවරවෙලා සතියකටත් පස්සෙ. පහුගිය සති දෙකක් පුරාවට කතාකරන්න බැරිවුණ හුඟක් දේවල් හිතේ හිරකරගෙන හිටියත් නිතාරා විමංග මුණගැහෙන්න ගියේම මුළු දවසම වුණත් විමංග කියන දෙයක් අහගෙන ඉන්නවා කියන සිතුවිල්ලෙන්. ඒ තරම්ම දේවල් ඔහුගේ හිතේ හිරවෙලා ඇති බව නිතාරා දැනගෙන හිටියා. 

උදේ විමංගගේ කාර් ඒකට ගෙදරින්ම ගොඩවුණ වෙලාවේ ඉඳලා ටික දුරක් දෙන්නම ගියේ බොහොම නිශ්ශබ්දව. ලෙක්චර්ස් යනව කියල ගෙදරින් එලියට බැස්සත් ලෙක්චර්ස් ගිහින් කතාකරන්න බැරි හුඟක් දේවල් තියෙන බව දන්න නිසාම ලෙක්චර්ස් කට් කරන බව දෙන්නම ව්‍යංගයෙන්ම සාකච්ඡා කරගෙන තිබුණා. දෙන්නා නිතර මුණගැහෙන සුපුරුදු බීච් එක පැත්තට වාහනය හරවන ගමන් විමංග යුතුකමට වගේ “මෙහෙට නේද?” කියලා නිතාරගෙන් ඇහුවත් ඇයගෙන් ලැබුණේ පිළිතුරු බැල්මක් පමණයි. 

කතාබහ ඇරඹුණේ උදේ කෑම, මේසයට ලැබුණටත් පස්සේ. අහන්න දේවල් හුඟක් තිබුනත් මුල අග ගලපගන්න බැරි නිසාම නිශ්ශබ්දව හිටපු නිතූගේ හිත මුහුදේ හෝ හෝ ශබ්දයත් එක්කම සන්සුන් වෙලා වගෙයි. 

“විමංග..”

“හ්ම්ම්ම්…”

“කතා කරමුද?” නිතාරා ප්‍රශ්නයකින්ම කතාව ආරම්භ කළා.

“කතා කරන්න ඕන නිතූ. මට කොහෙන් පටන් ගන්නද කියලයි හිතාගන්න බැරි. මට දැනෙන්නෙ නපුරු හීනෙකින් ඇහැරුණා වගේ. ඒත් නැගිට්ටට පස්සෙත් හීනෙ ඉවර නැහැ කියල දැනගත්තම දැනෙන වේදනාව කියාගන්න වචන නැහැ”

 

ඔයා කියන්න දිගටම. මම අහගෙන ඉන්නම්…” නිතූ හෙමින් කිව්වේ විමංගගේ සිතුවිලි වලට බාධා කරන්නත් බයෙන් වගේ.

 

“අප්පච්චි හැමදාම ජීවත් නොවෙන බව මම දැනගෙන හිටියා නිතූ.. ඒත් අප්පච්චි මෙච්චර ඉක්මනට යයි කියලා මම කවදාවත්ම හිතුවේ නැහැ. අපි කවුරුත් හිතුවේ නැහැ. එයාට මං ගැන ලොකූ බලාපොරොත්තු තිබුණා. ඔයාට මම ඉස්සරත් කිව්ව වගේ අප්පච්චි මල්ලිටත් වඩා ගොඩක් ආදරේ කළේ මට. ඒකට හේතුව මේන්න මේකයි කියන්න මම දන්නෙ නැහැ. නොදන්නෙත් නැහැ හැබැයි. අතරින් පතර ඇහුණ හුඟක් දේවල් ගලපගන්න බැරි තැනකයි මම හිටියේ. ඒ ගැන අප්පච්චිගෙන් අහන්න විදිහක් හිතන ගමනුයි මම හිටියේ”

 

“මට තේරෙන්නෙ නැහැ බබා… ඔයා මොකක් ගැනද මේ කියන්නෙ?”

 

“මම ඔයාට කියන්නම් නිතූ. ඒත් මේ දේවල් දැන් අප්පච්චිත් නැතුව මොන විදිහට විසඳෙයිද කියලා හිතනකොට මට ලොකු බයක් දැනෙනවා. ඔයා දන්නවනේ මම ප්‍රශ්න වලට අකැමති බව.”

 

“මට තේරෙන්නෙ නැහැ විමංග. අප්පච්චි නැතිවුණ එක අපි බලාපොරොත්තු නොවුන දෙයක් තමයි. ඒත් ඒක දැන් වෙලා ඉවරනේ. ඔයාට තියෙන්නෙ දැන් අම්මයි මල්ලියි එක්ක අනාගතේට මුහුණ දෙන හැටි ගැන හිතන්න. අප්පච්චි හැමදාම විශ්වාස කළා ඔයා ඒක කරයි කියල. නේද? එහෙම නැතුව මොකක්ද මේ ඔයා කියන ප්‍රශ්නේ?”

 

“මටත් හරියටම තේරෙන්නෙ නැහැ නිතූ…” විමංග සුසුමක් එක්කම පිළිතුරු දුන්නා.

 

“මට තේරෙනවා බබා ඔයාට දැනෙන වේදනාව. ඔයාගෙ ජීවිතේ මුල්තැන හැමදාම හිටියේ අප්පච්චි. අප්පච්චි ගියාට ඒ මුල්තැන හැමදාම එයාට තියෙනවා. ඒ නිසා දැන් ඉස්සරහට වෙන්න ඕන දේවල් ගැන හිතමු. මම ඉන්නවනේ ඕනම දේකට. අපේ අම්මයි තාත්තයිත් ඉන්නවා. ඔයාට පුළුවන් විමංග මේ හැමදෙයක්ම විසඳගන්න. අප්පච්චිගේ හයිය ඔයා ළඟ ඒ විදිහටම තියෙනවනේ.”

 

ඔයාට බිස්නස් ගැන ප්ලෑන් එකක් තියෙනවද? අප්පච්චි මොනවා හරි කියල තිබුණද?” නිතාරා අවසානයට තව ප්‍රශ්නයක් එකතු කළා.

 

“නැත්තෙත් නැහැ… අප්පච්චිට ප්ලෑන් එකක් තිබ්බා බිස්නස් මට බාරදෙන්න. ඒ නිසා මාව නිතරම එයාගේ වැඩ වලට ජොයින් කරගත්තා. අනික ෆැක්ට්‍රි ඔක්කොගෙම වගේ ඉන්න හැමෝම මාව දන්නවා. මමත් හුඟක් දෙනෙක්ව දන්නවා. එතනින් පටන් ගන්න බැරිකමක් නැහැ මට. ඒත් ප්‍රශ්නේ ඒක නෙමෙයි…” විමංග කිව්වේ හරිම අවිනිශ්චිත බැල්මක් එක්ක…

 

“එහෙනම් මොකක්ද ළමයෝ ප්‍රශ්නේ..? මොකක්ද මේ ඔයා ආපු වෙලාවේ ඉඳලා ප්‍රශ්නයක් ගැනම කියන්නෙ? ඇත්තටම මම අද ආවේ ඔයාගෙ දුක අහන්න. දවසම ඔයා කියන ඕනම දෙයක් අහගෙන ඉන්න. ඒත් ඔයා ආපු වෙලාවේ ඉඳලා මොකක්දෝ මම නොදන්න, මට නොතේරෙන ප්‍රශ්නයක් ගැන කියනවනේ.” නිතාරා කිව්වේ විමංග කිසිම දෙයක් තේරෙන්න නොකියන නිසා පුංචි අමනාපයකුත් එක්ක.

 

“ඔයා හුඟක් දේවල් දන්නෙ නැහැ බබා… ඔයා තියා මම දන්නෙත් නැහැ.. අපි හෙමීට බලමු… මොනදේ වුණත් මං ලඟින් ඉන්න.. එච්චරයි…” විමංග එහෙම කිව්වේ කෙලින්ම නිතූගේ ඇස් දිහා බලාගෙන හරිම ස්ථිර හඬකින්…

 

ඊළඟ සතියට… 

 

හිමි අහිමි – 1 කොටස

 

 

හිමි අහිමි – 2 කොට​ස

 

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

 

 

හිමි අහිමි – 8 කොට​ස

 

හිමි අහිමි – 9 කොටස

 

හිමි අහිමි – 10 කොට​ස

 

හිමි අහිමි – 11 කොට​ස

 

හිමි අහිමි – 12 කොට​ස

 

 

හිමි අහිමි – 13 කොට​ස

හිමි අහිමි – 14 කොට​ස

 

හිමි අහිමි – 15 කොට​ස

හිමි අහිමි – 16 කොට​ස

 

හිමි අහිමි – 17 කොට​ස

 

 

 

One response to “හිමි අහිමි – 18 කොට​ස”

  1. චතුරංග බුද්ධික says:

    හැම දේම ජයදේවගේ නෝනාගේ නමට ලියලා තිබ්බොත් තමයි වැඩේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *