සියල්ල සිදුවුණේ ඇසිපිය හෙලන තරම් වේගයකින් නේද කියලා වාහනයේ ජනෙල් වීදුරුවට එපිටින් වේගයෙන් පහුවෙන නාම පුවරු දිහා කිසිම හැඟීමකින් තොරව බලමින් නිතාර කල්පනා කළා. හිතට දැනෙන බර ඇස් දෙකෙන් එලියට එන්න දඟලන වේගය බර වැඩි බව නිතාරට හිතුණා. විමංගගේ අප්පච්චිට අසනීප බව රවිඳු කියපු වෙලාවේම නිතූ අමාට පණිවිඩයක් යැවුවේ උදේ හොස්පිටල් එකට යන්න හිතාගෙන. විමංගගේ අප්පච්චි අසනීප බව කිව්වම අමා නැතත් අම්මයි තාත්තයි හරි එන බව දැනගෙන හිටියත් උදේට ලෙක්චර්ස් යන්නත් බැරිවෙන නිසයි නිතූ අමාට පණිවිඩයක් තිබ්බේ. ඊටත් පස්සේ බරට දැනෙන සිතුවිලි නිසාම නින්ද අහලකටවත් නොඑන තැන නිතූ විමංගටත් වට්සැප් පණිවිඩයක් තිබ්බා.
“රවිඳු කෝල් කළා. Stay Strong බබා. මම උදේට එන්නම්. ඕනම වෙලාවක කෝල් කරන්න හොඳේ. මම ඇහැරිලා ඉන්නවා”
පණිවිඩය යවපු ඉක්මනින්ම කියවපු බව පෙනුනත් පිළිතුරක් ලැබුනේ නැහැ. නිතූ පිළිතුරක් බලාපොරොත්තු වුණෙත් නැහැ. විමංගට අප්පච්චිත් එක්ක තියෙන සම්බන්ධතාවය දන්න නිසාම ඔහු කොයිතරම් හිතේ අමාරුවෙන් ඇතිද කියන එක ගැනම විතරයි නිතාරා වද වුණේ.
ඇස් දෙකට නින්ද ළඟාවෙන්න ගොඩාක් වෙලා ගියත් හිතේ බර නිසාම නිතරා වෙනදා පුරුදු එලාර්ම් එක වදින්න කලින්ම ඇහැරුණා. කලබලයෙන් ඇඳෙන් නැගිට්ට නිතාරා අම්මටත් තාත්තටත් කියලා ඉක්මනින් රෝහලට යන්න හිතාගෙනයි ෆෝන් එක අතට ගත්තේ. ඒත් පාන්දර 4.20 ට විමංගගෙන් ලැබුණු පණිවිඩය මේ දැනුත් ඇස් ඉදිරිපිට මැවෙනවා වගේ ඇයට දැනුණා.
“අප්පච්චි නැතිවුණා නිතු”
ඒ වෙලාවේ ඉඳලා මේ පාර දිගේ ඔහේ ඇදීයන වාහනයේ පිටුපස ආසනයේ ඉඳගෙන අම්මයි, තාත්තයි එක්ක රෝහලට යන ගමන වෙනකන් දේවල් කොහොම සිදුවුණාද කියලා නිතාරට මතකයක් නැතිතරම්. ඇත්තටම විමංගගේ අප්පච්චි කියන්නෙ තමන්ගේ අම්මා තාත්තා වගේම තමන්ට හුඟක් ආදරය කරන කෙනෙක් බව නිතාරා දැනගෙන හිටියා. ඒ ඔක්කොටමත් වඩා විමංග මේ දේවල් කොහොම දරාගන්නවා ඇතිද කියන එක නිතාරගේ හිතට ගෙනාවේ පුදුම බයක්. විමංග මේ ලෝකයේ වැඩියෙන්ම ආදරේ කළේ අප්පච්චිට බව නිතාර හැමදාම දැනගෙන හිටියා. අප්පච්චි කියන්නෙ විමංගගේ ලෝකය දරාගෙන හිටපු මහා බලකණුවක් වගේ. කිසිම ලෙඩක් දුකක් නැතුව හිනාවෙමින් කාලය ගතකරපු අප්පච්චි හදිසියේම යන්න ගියා කියන එක නිතාරට තවමත් හීනයක් වගේ.
“චූටි…” නිතරා පියවි සිහියට ආවේ තාත්තගේ ඇමතුමත් එක්ක.
“පුතාට කතා කළාද ඊට පස්සේ?”
“නෑ තාත්තේ. රවිඳුට කිව්වා අපි එන බව. මට බයයි විමංගට කතා කරන්න” නිතාරා කිව්වේ ඇඬුම් ස්වරයෙන්.
“ඔයා ඔය අඬනවද පුතේ?” ඒ හඬට ක්ෂණිකව පිටුපස හැරෙමින් අම්ම ඇහුවා.
“නෑ අම්මා…” නෑ කිව්වට නිතාරගේ ඇස් වලින් කඳුළු ගලායමින් තිබුණා.
“අපිටත් දුකයි පුතේ. මේ මනුස්සයා ගහක් ගලක් වගේ හිටියනේ” තාත්තා කිව්වේ බර සුසුමක් හෙලන ගමන්.
“අපි ඔයාට නොකිව්වට විමංග ගෙදර ආපු මුල් කාලෙම ජයදේවත් ඇවිල්ලා අපිත් එක්ක කතා කළා. එයයි කිව්වේ ඔය දෙන්නට කියන්න එපා කියල. අදටත් පුතාවත් දන්නෙ නැහැ මම හිතන්නේ”
“නැහැ තාත්තේ. එයා දන්නෙත් නැහැ” නිතාරා උත්තර දුන්නේ තරමක පුදුමයෙන්.
“හරි හොඳ මනුස්සයා චූටි දුව. කිසිම ලොකුකමක් ගෑවිලාවත් නැහැ. මට මුලින් අඳුරගන්න බැරිවුණා. ඔය අතරින් පතර ඉඳ හිටලා පත්තරේක දැකලා තිබුණට ලොකුවට මතක තිබ්බේ නැහැ. ගෙට ඇවිල්ලා ඉඳගත්ත ගමන් මුලින්ම හයියෙන් හිනාවෙලා කිව්වේ මම මේ ඔයාලගේ අනාගත මස්සිනා කියල. ඕනනම් මම අහවල් බිස්නස් එකේ අයිතිකාර ජයදේව කියල කියන්නත් තිබුණනේ. ඒකමයි මට එයාව හිතට ඇල්ලුවෙත්. හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දේ නම්.”
එතනින් පස්සේ රෝහලට එනකන්ම කාලය ගතවුණේ නිශ්ශබ්දතාවයත් එක්ක. හොස්පිටල් එකේ කොරිඩෝව දිගේ ඇවිදන් යද්දී දැනුන හැඟීම කවදාවත්ම විස්තර කරන්න බැරිවෙයි කියලා නිතාරා හිතුවා. බැඳීම් වලට හුඟක් ලෝභ මටම ඇයි මෙහෙම වෙන්නෙ කියන සිතුවිල්ල විතරමයි නිතාරට දිගටම මතක්වුනේ. විමංග දිහා බලන්නේ කොහොමද? කතා කරන්නේ කොහොමද? හිත හදන්නේ කොහොමද කියන එක හිතාගන්නවත් නිතාරාට බැරිවුණා.
කොරිඩෝවක කෙළවර පුටුවක ඉඳගෙන අත් දෙක උඩින් ඔළුව තියාගෙන ඉන්න විමංග දැක්කම නිතාරට ඇතිවුනේ දරාගන්න බැරි හැඟීමක්. ඒ ලඟින්ම රවිඳු ඉඳගෙන හිටියා. නිතාරගේ අම්මලා වගේම විමංගගේ අම්මත් ළඟ ඉන්න නිසා විමංග ලඟට ගිහින් වචනයක් කතා කරන්න බැරි මහා අපහසු ගතියක් නිතාරට දැනුණා. ඒ අසරණකමත් එක්කමයි නිතාරා තාත්තගේ මූණ දිහා බැලුවේ. නමුත් පුදුමයකට වගේ ඔහු ඇස් වලින් විමංගව පෙන්නලා එතනට යන්න නිතාරට සන් කරමින් රවිඳු ඉන්න තැනට කිට්ටු වුණා. රවිඳු පුටුවෙන් නැගිට්ටෙත්, නිතාරා එතනින් ඉඳගත්තෙත්, විමංග අඬමින් නිතාරගේ අතින් අල්ලගත්තෙත් එකටම වගේ.
“පුතා… කෝ අනිත් කට්ටිය” තාත්තා රවිඳුගෙන් එහෙම ඇහුවේ අම්මල පේන්න නැති නිසා වෙන්නැති කියල නිතාරා හිතුවා.
“අපි දෙන්නයි, ආන්ටියි, මල්ලියි විතරයි අන්කල් තාම. ආන්ටිට ෆේන්ට් වෙලා ඇතුළට ගෙනිච්චා. මල්ලි එතන. තාම මුකුත්ම කිව්වෙත් නැහැ අපිට. නිව්ස් වලින් එයි කියල බයට තාම කාටවත්ම කිව්වේ නැහැ. විමංග තාම හරියට කතා කළෙත් නැහැ” රවිඳු එක දිගට කියාගෙන ගියේ කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි අසරණ පොඩි ළමයෙක් වගේ.
“හරි පුතා. මම බලන්නම්” කියමින් රවිඳුගේ පිටට තට්ටුවක් දාපු නිතාරගේ තාත්තා අම්මත් එක්කම ඉදිරියට ඇවිදගෙන ගියා.
“අප්පච්චි ගියා නිතූ. මට කියන්නෙවත් නැතුව ගියා” විමංග අඩමින් එහෙම කියද්දී නිතාරටත් කඳුළු නවත්තගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ.
ඊළඟ සතියට…
Leave a Reply