3 කොටස
එලාර්ම් එකට පින්සිද්ධ වෙන්න අමාරුවෙන් නැගිටගත්ත විමංග නිදිමරගාතෙම පහලට ගියේ අප්පච්චි ඔෆිස් එකට යන්න කලින් විශ් කරන්න ඕන නිසයි. ඔක්කොමත් හරි උදේ නැගිටින එක තමා දුක… ඔළුව කසමින් පහලට බහින ගමන් විමංග හිතුවා. රෑ එලිවෙනකං ඇහැරිලා හිටියත් පාන්දර නැගිටින එකනම් විමංගට කරන්නම බැරි වැඩක්. විමංග ප්‍රභාෂ්වර ජයදේව කියන්නෙ ප්‍රසිද්ධ ව්‍යාපාරික මින්දුල ජයදේවගෙ ලොකු පුතා. ඒ විතරක් නෙමේ, ජයදේවගෙ ලොකුම අනාගත බලාපොරොත්තුව. පොඩි කොල්ලා සෙල්ලක්කාරයා නිසා අප්පච්චි වැඩි විශ්වාසයක් තිබ්බෙ විමංග ගැන.
අතරමඟදි විමංගට මුලින්ම මුණගැහුනේ කෑම මේසය හදමින් ඉන්න අම්මා. හදමින් කිව්වට සුමනම්මා කෑම මේසය දාන දිහා බලාගෙන උපදෙස් දෙන අම්මා.
“ගුඩ් මෝනින් අම්මා… කිරිබත් හැදුවද?”
කිරිබත් කන්න පෙරේත විමංගට ගෙදර කාගෙ හරි උපන්දිනයක් කියන්නෙ එදාට මගුල් මේසයක් වගේ තමයි.
“ආහ් ඔව් පුතා. සුමනා හදල තිබ්බා. මෝනින්. ඔයා කලින්ම නැගිට්ටද?“
“හ්ම්ම්ම්…”
අම්මට අමතක වුණත් අප්පච්චිගෙ උපන්දිනයට කිරිබත් හදන්න සුමනම්මා අමතක කරන්නෙ නැති බව විමංග දන්නවා. සුමනම්මා මේ ගෙදර ඉන්නෙ විමංග අත දරුවෙක් කාලෙ ඉඳල බව ඇය ඉඳහිට කියන කතා නිසා විමංග දන්නවා. ඒක නිසාම අනිත් හැමෝටම නිකංම සුමනා වුණාට විමංගට ඇය සුමනම්මා වුණා. පොඩි කාලෙ අම්ම තරම්ම මාව බලාගන්න ඇති. විමංග නිතරම එහෙම හිතුවා. එහෙම හිතන්න තරම් ලොකූ ලෙංගතු කමක් සුමනා විමංගට නිතරම දැක්වුවා.
“කෝ අම්ම අප්පච්චි..?”
“තාම රූම් එකේ පුතා. උදේ නැගිටල පොතක් කියවනව ඔන්න. අද ටිකක් පරක්කු වෙලා යනව කිව්වෙ”
“හරි… එල” ක්ෂණිකව යමක් මතක්වුණ විමංග ආයෙමත් උඩට දිව්වා…
මේ වෙලාව හොඳටම ඇති කෑම කාමරේ පුංචියට සරසන්න. ඊයෙ ගෙනල්ල හංඟපු කේක් එක රෑට කපන්න හිටියට ගෙදර හැමෝම ඉන්න උදේ වරුව වැඩිය හොඳයි. විමංග හිතුවා.
කබඩ් එකක් අවුස්සල හොයාගත්‍ත හැපි බර්ත්ඩේ බැනර් එකයි, බැලුන් ටිකයි එක්ක පහලට දුවන්න ගිය විමංග ආයෙ හැරිලා මල්ලිගෙ කාමරේට දිව්වා.
“මේකා තාම නිදි.. ඒයි… නැගිටිනව… එනව යන්න අප්පච්චිට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න” ඇඳ පුරා නිදාගෙන ඉන්න මල්ලිව ඇහැරවන්න එහෙම කියලා තට්ටුවක් දාගෙනම විමංග පහලට දිව්වා.
“මූ එනකං හිටියොත් වැඩේ වෙන්නෑ…” විමංග තනියම බැලුන් ටික එහෙන් මෙහෙන් අටවලා පොඩි සැරසිල්ලක් කළා. ඔක්කොම හරි. කේක් ගෙඩියත් මේසෙ උඩ.
“අම්මා…”
“ඕල් සෙට්… අප්පච්චිව එක්කන් එන්නකෝ…” කුස්සියේ හිටපු අම්මට කෑගහලා කියන ගමන් විමංග ලඟ තිබුණ පුටුවකට බරවුණා. ඒ සද්දෙට අම්මට කලින් එතනට ආවෙ අප්පච්චි. හැමදාම පුරුදු හිනා හඬත් එක්ක ජයදේව ලොකු පුතාගෙ පිටට තට්ටුවක් දැම්ම.
“මං ඒත් බැලුව කොල්ලට මගේ බර්ත්ඩේ එක අමතක වෙලාද කියල. වෙනදට නැගිට්ට ගමන් රූම් එකට දුවගෙන ඇවිල්ලනෙ විශ් කරන්නෙ… තෑන්ක් යූ පුතා”
අප්පච්චිගෙ මූණෙ තිබ්බ සතුට අඳුරගන්න අපහසු නැහැ. විමංගටත් සතුටුයි. ඔහුගෙ ජීවිතේ මුල් තැන හිටියෙ අප්පච්චි. ඉතින් පුංචි බර්ත්ඩේ සප්‍රයිස් එකකින් හරි අප්පච්චිව සතුටු කරන එක විමංගටත් සතුටක්.
“මනෝරි, කෝ පොඩ්ඩ”
“ඔන්න තාම නිදිද කොහෙද” අම්මගෙ මුහුණෙ තිබුණෙ අමනාපයක්.
මල්ලිට ලකුණු දාගන්න අම්ම හැමවෙලාවෙම උත්සාහ කරන බව විමංග කොහොමත් දන්නවා. මල්ලිට තියෙන වැඩි ආදරේ විමංගට පුංචි කාලෙ ඉඳලම අම්මගෙන් දකින්න ලැබුණ දෙයක්. ඒක හංඟන්නත් මනෝරිට කවදාවත්ම ඕනවුණේ නෑ. විමංගට යුතුකම් ඔක්කොම හරියටම ඉෂ්ට කළාට මනෝරි ආදරේ පෙන්නුවේ පොඩි පුතාට විතරයි. මල්ලි ගෙදර හුරතලා නිසා විමංගටත් ඒක කවදාවත්ම ගැටළුවක් වුණේ නැහැ. විමංගත් පොඩි එකාට පණ ඇරලා.
********************************
පන්සල් ගිහින් එන මග දිගටම ජයදේව කතාකලේ නිතාරා ගැන.
“කෙල්ල හොඳ පාටයි පුතා. මම අදනෙ එයා එක්ක ඔච්චර කතා කළේ. දෙමව්පියොත් නරක නෑනෙ“. තරමක් දුර නිශ්ශබ්දවම වාහනය පදවපු ජයදේව ආයෙමත් කතා කරන්න ගත්තා.
“හැබැයි පුතා අමතක කරන්න එපා, ඔයා තාම ස්ටඩීස් කරනව. ඒවගේම එයත්. කෙල්ලට පාඩුවෙ ඉගෙනගන්න දෙන්න. අපි හෙමීට බලමු. ඔයාව මම ඔය ඩිග්‍රි එකට එන්රෝල් කළේ ලොකු ෆියුචර් ප්ලෑන්ස් ගොඩක් හිතේ තියාගෙන පුතා. මම දන්නව ඔයා මාව කවදාවත් ෆේල් කරන්නෙ නෑ කියල. ඒත් ට්‍රැක් එක එහෙ මෙහෙ වෙන්න ගියොත් කියල කෝකටත් කිව්වෙ” ජයදේව ඩ්‍රයිව් කරන අතරේම හිනාවෙමින් විමංග දිහා බැලුවා.
“හ්ම්ම්… ඔව් අප්පච්චි… මම දන්නවා…” විමංග කිව්වෙ තරමක් ලැජ්ජාවෙන්.
“ඇයි අප්පච්චි අම්ම ආවෙ නැත්තෙ? මම හිටියෙ නිතාරගෙ අම්මලත් ඉන්ට්‍රඩියුස් කරන්න“.
“අම්මට ටිකක් අසනීපයි කිව්වෙ පුතා. කොහොමත් අම්ම එහේ නොගිය එක හොඳයි. ඒව පිළිවෙලට යන්න ඕන ගමන්” සද්දෙට හිනාවෙමින් ජයකොඩි එහෙම කිව්වා.
“ඔයා දන්නවනෙ පුතා අම්මගෙ හැටි. එයා ටිකක් එක විදිහක්නෙ. පිළිවෙලකට කතාකරගෙන මිසක් මෙහෙම ගමන් යන එක හරි නෑ එයා එක්ක. ජීවිත කාලෙකටම රැඳෙන්න ඕන සම්බන්ධයකදි හිත රිදෙන එක වචනයක් පිටවුණත් වැඩක් නෑනෙ” අප්පච්චි දකින දුර ගැන වෙලාවකට විමංගට පුදුමයිත් එක්ක.
කොහොම වුණත් ඒ කියපු කතාව නිසා අප්පච්චි ගැන විමංගට ඇතිවුණේ ගෞරවයක්. අම්මා එක විදිහක් තමයි. කොහොමත් විමංග වැඩිපුරම ලෙංගතු අප්පච්චිට. විමංගට මතක තියෙන කාලෙ ඉඳලම විමංගගෙ හැම වැඩකටම ඉස්කෝලෙට ආවෙ ගියේ පවා අප්පච්චි. ඩ්‍රයිවර්ස්ල හිටියට පෞද්ගලික ගමන් වලට එයාලව යවන්න අප්පච්චි කවදාවත්ම කැමති උනේ නෑ. මෑතක ඉඳලා අම්මයි, අප්පච්චියි අතරේ ප්‍රශ්නයක්දෝ කියල විමංග යාන්තමට හිතුවා. “විකාර” මම හිතන්න ඕන දේවල්ද මේ? තමන්ගෙම හිතට තරවටු කරමින් විමංග ජනේලෙන් එපිට එක පෙළට පහුවෙන විදුලි ආලෝකයන් දිහා බැලුවා.
ලබන සතියට…
Leave a Reply