“වාඩිවෙන්නකෝ ඉස්සෙල්ලම” ජයදේව එහෙම කිව්වෙ සෝෆාවේ පැත්තකට බරවෙන ගමන් විමංගටත් වාඩිවෙන්න අතින් සන් කරමින්.
“අපිට බොන්න මොනවහරිත් අරන් එන්න තිබ්බ. දැන් කමක් නෑ. යනකොට එළියෙන් ලන්ච් අරගෙනම යමු පුතා”
“හරි අප්පච්චි. දැන් ඇයි කියන්නකො අපි මෙහෙ ආවෙ. කාගෙද මේ ගේ? අප්පච්චි අපාර්ට්මන්ට් එකක් ගත්ත බව මම දැනන් හිටියෙ නැහැනෙ” විමංග එක පේළියට ඇහුවේ ලොකු කුතුහලයකින්.
ජයදේව කියන්නෙ ලොකු ව්‍යාපාර සමූහයක හිමිකරුවෙක්. ඔහු සතුව දේපල විශාල ප්‍රමාණයක් තිබෙන බව විමංග නොදැන හිටියා නෙමෙයි. ඒත් ගමේ සහ කොළඹ අවට තියෙන ඉඩකඩම් වලට අමතරව මෙහෙම ටවුන් එකකට කිට්ටුව තියෙන ඉතාම පොඩි අපාර්ට්මන්ට් එකක් අප්පච්චිට අයිති බවක් විමංග දැනගෙන හිටියෙ නැහැ.
“නෑ නෑ පුතා… කලින් ගත්ත එකක් නෙමේ. තාම කී එක හම්බෙලා සතියක්වත් නෑ. මම තැන බලල තමා කලින් ඔයාට කතා කරන්න ඕන කිව්වෙ. මට ඕනවුණේ ඔයාටත් පෙන්නලම හොඳද බලල ගන්නයි. ඒත් ඔයා පහුගිය ටිකේම කළබල වැඩි ගතියක් තිබ්බ නිසා අරන්ම පෙන්නන්න හිතුවෙ”
“ටිකක් බිසීවුණා අප්පච්චි. ඒ ගැන තමා මට කියන්නත් ඕන. ඒත් ඊට කලින් කියන්නකො ඇයි මෙච්චර පොඩි අපාර්ට්මන්ට් එකක් අපිට? අප්පච්චි ගෙවල් රෙන්ට් කරන්න කොහොමත් කැමති නෑනෙ” විමංගගෙ ප්‍රශ්න ඇහිල්ල තවමත් ඉවරයක් නැහැ.
“හරි හරි කොල්ලෝ… ඔක්කොම කියන්නම්. පොඩ්ඩක් හුස්ම ගන්න දීපන්කො” ජයදේව කිව්වෙ හයියෙන් හිනාවෙමින්.
“හරි අප්පච්චි… මම වටේ ඇවිදල එන්නම් එහෙනම්” විමංග සෝෆාවෙන් නැගිට්ටෙ සිනහවක් එක්කම පිළිතුරු දෙමින්.
සාලය වගේම අපාර්ට්මන්ට් එකේ පුංචි කාමරය, නාන කාමරය සහ හරිම පිළිවෙලට පැන්ට්‍රි කබඩ්ස් ගහලා කොෆී මැශින් එකක්, මයික්‍රොවේව් අවන් එකක් වගේ නවීන ආම්පන්න ගොඩක් සවි කරලා තිබුණ කුස්සියත් දැකපු ගමන්ම විමංගගේ හිත ඇදගන්න සමත්වුණා.
“හරි ලස්සනයි අප්පච්චි… ඔක්කොම ලස්සනට අරේන්ජ් කරලා. කපල් එකකට වගේනම් නියමයි” ආපහු සාලයට ඇවිදගෙන එන ගමන්ම විමංග කිව්වා.
පිළිතුරු විදිහට මුලින්ම ජයදේවගෙන් ලැබුණේ ලොකු සිනහවක්. “යකෝ මේකා හිතල තියෙන දුර. අපාර්ට්මන්ට් එක දැක්කම කපල් වෙන්නත් හිතුනද?”
“අයියෝ නෑ අප්පච්චි” විමංග පිළිතුරු දුන්නේ ලැජ්ජාවෙන් සිනහවෙමින්. “මම කිව්වෙ මට නෙමේ ඉතින්”
“නෑ පුතා. මම මේක ඔයාට තමයි ගත්තෙ. ඇත්තටම කපල් එකකට හොඳයි තමා. ඒත් අපි කපල් වෙන කාලෙක මීට වඩා ලස්සන ගෙයක් බලමු. දැනට මේක ඔයාට” සෝෆාවෙන් නැගිටිමින් විමංගගේ පිටට තට්ටුවක් දමමින් ජයදේව කිව්වේ මුහුණට බැරෑරුම් පෙනුමක් මවාගෙන.
විමංගගේ හිතේ කුතුහලය වැඩිවුණා මිසක් අඩුවුණේනම් නැහැ.
“මට ඇයි අප්පච්චි අපාර්ට්මන්ට් එකක්? මට ගෙදර ඉන්න පුළුවන්නෙ”
“නෑ පුතා. ඔයාට ගෙදර ඉන්න එපා කියනව නෙමෙයි. ඔයා යුනිවර්සිටි එකට උදේ හවා එන්න යන්න ලොකු කට්ටක් කනවනෙ දැන්. ඔයා ඉතින් කාර් එක අරන් යන්නත් ආස නෑනෙ. මම කියන්නෙ දිගටම මෙහේ ඉන්න කියල නෙමෙයි. ඒත් එක්සෑම් තියෙන කාලෙට එහෙම පාරට කාලෙ නාස්ති කරන එක අපරාදයක්. අනික ඔයාට මෙහෙ නිදහසේ පාඩම් කරන්න පුළුවන්”
කතාවත් එක්කම දෙන්නා හෙමිහිට කාමරය දිහාවට ඇවිදගෙන ගියා.
“අනිත් එක පුතා ඔයාට මෙහෙම තැනක් ඉස්සරහට කොහොමත් ඕනවෙයි. ඒ ඇයි කියල මගෙන් අහන්න එපා. ඒක එතකොට බලමුකෝ. කොහොමටත් ප්‍රොපටි එකක් තිබ්බයි කියල වැඩියක් වෙන්නෙ නෑනෙ. මම මේක ගත්තෙම ඔයාගෙ නමට. මේ කීස් තියාගන්න.”
“තෑන්ක් යූ අප්පච්චි” යතුරු ටික අතට ගන්න ගමන් එහෙම කියද්දි විමංගගේ ඇස් සතුටින් දිළිසුණා.
“අප්පච්චී… මටත් කියන්න දෙයක් තියෙනවා…” වචන ගොතගැහෙන බව තේරුණත් විමංග අමාරුවෙන් කියල දැම්මා.
“ආහ්… කියන්න. තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා”
“මේ… මේ.. අප්පච්චිට මතකද අර මම මේ…”
“මේ මේ මේ මොකක්ද?” ජයදේව ඇහුවේ සැහැල්ලුවෙන් හිනාවෙමින්.
“නෑ අප්පච්චි… මේ මම අර අප්පච්චිට කියල තියෙනව මතකද යුනිවර්සිටි එකේ මගේ යාළුවෙක් ගැන. මේ අර නිතාරා කියල ගර්ල් කෙනෙක්”
“ඔව්… ඔව් මතකයි. අර පුතා කිව්වෙ දවසක් මගේ ලයිබ්‍රි එක පෙන්නන්න එක්කන් එන්නත් ඕන කියල. මට ඒ නිසා මතක හිටියා”
“එයා මේ… අප්පච්චි.. මේ.. මම එයා ගැන…”
විමංග ගොත ගගහා කියනකොටම ජයදේව සද්දෙන් හිනාවෙමින් විමංගගෙ පිටට තට්ටුවක් දැම්මා.
“ආහ් හරි හරි. මට තේරුණා. ඔය ඇඹරිල්ලයි, ගොත ගැහිල්ලයි ඇති. කතාව කියන්න දෙයක් නෑ”
බයෙන් හිටපු විමංගත් ඒ කතාවටනම් හිනාවුණා.
“ඔයා පහුගිය දවස්වල හැසිරුණ විදිහට මට හිතුණා කොහොමත් ඔහොම කතාවක් ලඟදිම අහන්න ලැබෙයි කියලා. කොහොමද කෙල්ල ලස්සනයිද? දැන් හා කිව්වද? නැත්තම් තාම හිතේ විතරද? ජයදේවගේ සැහැල්ලු හඬින් විමංගගෙ හිතේ තිබුණ බය නැතිවෙලා ගියා.
“ඇහුවා ඉතින්… තාම සතියක් වගේ. අප්පච්චිට තමා මුලින්ම කිව්වෙ. අම්මට කියන්න බෑ වගේ”
“එපා පුතා. ඕන නෑ. මම හෙමීට කියන්නම්. ඔයා නරක කෙනෙක් තෝරගන්නෙ නෑ කියල මම දන්නව. අනික කොහොම වුණත් ඒ ඔයාගෙ කැමැත්තනෙ. හැබයි තාමත් අංක එක ඉගෙනගන්න එක හොඳේ. ඔයා විතරක් නෙමෙයි. දෙන්නම”.
“ඔව් අප්පච්චි. මම දන්නවා. එයත් දන්නවා”.
“හරි. අපි ගිහින් ලන්ච් ගන්න ගමන්ම කතා කරමුද? මට දුවගෙ ගෙදර විස්තර එහෙම කියන්නකො. මොකක්ද නම කිව්වෙ නිහාරා නේ?”
“නෑ අප්පච්චි. නිතාරා… නිතූ කියල තමා හැමෝම කතා කරන්නෙ”
“ආහ් නිතාරා… කෙල්ල ගෙදරට කියලද?”
“තාම නෑ අප්පච්චි. එයාලගෙ තාත්ත ටිකක් සැරයි. කෙල්ලොම තුන්දෙනෙක්නෙ”.
“ආ.. මම ගිහින් අලුත් මස්සිනාව ශේප් කරගන්නම්කෝ. මේ ජයේට බැරිනම් කාටද ඕව පුළුවන්”
විමංග සැහැල්ලු සිතින් හිනාවෙමින් කාර් එක ස්ටාර්ට් කළා.
ලබන සතියට…
විමංග ගේ තාත්තා ජයදේව, දෙපාරක් කසාද බැඳපු කෙනෙක් වත් ද???
කොටස් ගාණක පටන් හිතේ නලියන ප්‍රශ්නයක්…