හිමි අහිමි – 14 කොට​ස

දවසක් දෙකක් නිතූව ගන්න ගෙවල් ලඟටම ඇවිල්ල තිබුණත් හරියටම තැන ගැන අදහසක් නැති නිසා විමංග කලින්ම අමාට කෝල් කරලා පාර අහගත්ත. කෙල්ල ලෙක්චර්ස් ආපු නැති නිසා අසනීපෙන් බව අමා දන්නවා. ඒ නිසාම නිතූගෙ තාත්තත් ගෙදර බව යන්න කලින්ම අමා විමංගට මතක් කළා. කමක් නෑ… කොහොමත් මේක යන්නම හිටපු ගමනක්නෙ. අප්පච්චි යන්න කලින් මම යන්න ඕන. විමංග හිතුවේ එහෙම.

කොච්චර හිතට හයිය අරගෙන ආවත් නිතූගෙ ගෙදරට යන පාරෙන් ත්‍රීවීලර් එක හරවනකොට විමංගගෙ හිතේ ලොකු තිගැස්මක් ඇතිවුණා. ලොකුකමට ආවට කියන්නෙ මොනවද, හැසිරෙන්න ඕන කොහොමද වගේම මේ කරන වැඩේ හරිද කියලත් ලොකු අවබෝධයක් විමංගට තිබුණෙ නැහැ. ඕන එකක් වෙච්චදෙන් කියන හැඟීමෙන් තමයි විමංග මේ ගමන ආවේ. 

“අයියෙ, ඔය ඉස්සරහ තුන්වෙනි ගෙදර ගාව නවත්තන්න” අමා කියපු සලකුණු වලට හරියටම ගැලපුණු කොළ පාට තාප්පයත්, කළු ගේට්ටුවත් දැකපු විමංග කිව්වා.

ගේට් එක බාගෙට ඇරල තිබුණ නිසාම හිතේ දෙගිඩියාවෙන් වුණත් විමංග කෙලින්ම ඇතුළට ගියා. දොර ඇරලා තිබුණත් පේන මානෙක කවුරුත් හිටියෙ නැහැ. නිතූගේ ගෙදර නෙමෙයිද මන්දා කියන සැකෙත් එක්කමයි විමංග වටපිට බැලුවේ. 

“ගෙදර කවුද?” හිතේ තිබුණ කලබලේටම විමංගට බෙල් එකවත් දොරට තට්ටු කරන එකවත් මතක්වුණේ නැහැ. ඒ ඇමතුමට එලියට ආවෙ මැදි වයසක පිරිමි කෙනෙක්.

“අන්කල් මේක නිතාරාගෙ ගෙදරද?” විමංග ඇහුවේ හිතේ දෙගිඩියාවෙන්.

“ඔව් පුතා. මෙහෙ තමා. ඇයි?” උත්තර ලැබුණ විදිහ නිසා විමංගගේ හිතේ බය ටිකක් අඩුවුණා. 

“අන්කල් මම මේ නිතාරගෙ යාළුවෙක්. යුනිවර්සිටි එකේ. අනේ සොරි, ගේට් එක ඇරල තිබ්බ නිසා මම ඇතුලටම ආව”

“ආහ් කමක් නෑ පුතා. දුවනම් නිදි. ටිකක් සනීප මදි. ලොකු දුවල එනව කියපු නිසා ගේට් එක ඇරල තිබ්බෙ. පුතා ආවෙ හදිස්සියකටද?”

“නෑ අන්කල්. නිතාරට අසනීප බව කියපු නිසා තමයි බලල යන්න ආවෙ”

“එන්නකො පුතා ගෙට. වාඩිවෙන්න.” ඒ ඇරයුමත් විමංගගේ හිතේ තිබුණ බය අඩු කරන්න ලොකු පිටුවහලක් වුණා..

“කෙල්ලනම් නිදි. ඊයෙ රෑම නිදි නැහැ. ඇහැරවන්න ඕනද?”

“නෑ නෑ එපා අන්කල්. පව්නෙ” නිතූව බලන්න නැතිවෙන එක ගැන දුකක් තිබුණත් අසනීපෙන් ඉන්න කෙල්ලට කරදර කරන්න ඕන නැති නිසාම විමංග එහෙම පිළිතුරු දුන්නා. “මම නිදි කියල දන්නවනම් එන්නෙත් නැහැ අන්කල්” බලන්න ආපු ලෙඩාත් නිදිකොට තමන් මෙතන මොනවා කරනවද කියලා නිතූගෙ තාත්ත අහයිද දන්නෑ කියන සැකයෙන්ම විමංග කිව්වා.

“නෑ නෑ කමක් නෑ පුතා. ලෙඩ්ඩු බලන්න ආපු එකේ තේ ටිකක් නොදීම යවන්න බෑනෙ. සමහරවිට අපි තේ එකක් බොනකොට ලෙඩා ඇහැරෙයි” හයියෙන් හිනාවෙමින් කියපු නිතාරගේ තාත්තා කුස්සිය පැත්තට යන්න නැගිට්ටා.

“ඉන්නකො මම කුස්සියට ගිහිල්ලම ඕඩර් එක දාල එන්නම්”

“හරි අන්කල්” විමංග පිළිතුරු දුන්නේ සැහැල්ලු හිනාවකින්.

විමංග කල්පනා කරමින් වටපිට බලමින් ඉන්න අතරේ ආපහු ආපු නිතුගේ තාත්තා පුටුවට බරවුණේ හිනාවක් එක්ක.

“ඉතින් පුතා. ඔයාල කැම්පස් එකේ සේම් බැච් එකේද? අපි ඉතින් අර නිතර එන අමායා දුව ඇරුණම කෙල්ලගෙ කැම්පස් යාළුවො දන්නෙම නැති තරම්”

“ඔව් අන්කල්. මම අමායගෙන් තමයි පාර අහගත්තෙ. එයානම් අද ලෙක්චර්ස් ගිහින් තිබ්බ”

“පුතා ගියෙ නැද්ද?

“ගියා අන්කල්.. ආ මේ.. නෑ නෑ.. අද ගියෙ නැහැ. යන්න හිටියට යද්දි වෙන වැඩක් සෙට් වුණා” නිතාරා අසනීප නිසා බාගෙට ලෙක්චර්ස් කට් කළා කියන්නෙ කොහොමද කියලා මතක් වෙලා විමංග ඒ විදිහට පිළිතුරු දුන්නා. 

දෙන්නා කතා කරන අතරේ තේ අරගෙන ආපු නිතූගෙ අම්මත් එතනින්ම ඉඳගත්තා.

“මේ පුතාගෙ නම මොකක්ද?” ඒ ඇහුවේ නිතාරගෙ අම්මා.

“මම විමංග ආන්ටි. නිතාර කියලනම් නැතුව ඇති. අපි එක බැච් එකේ එකම ටීම් එකේ”

“නමනම් මතක නෑ තමයි පුතා. අමායා දුවද කිව්වෙ අපේ කෙල්ලට සනීප නෑ කියල?”

“නෑ ආන්ටි.. මේ මම උදේ නිතාරට කෝල් කළා උවමනාවකට. එයාමයි කිව්වෙ”

“අනේ ඔව් බලන්නකො. ඊයෙ මුළු රෑම නිදි නැහැ. තදටම උණ. ඒ ගමන තමයි උදේම බෙහෙත් ගන්න ගියෙ. දැන්නම් අඩුයි. නිදිමතට හොඳටම නින්ද ගිහින්”

“ඔව් මට කිව්වා ආන්ටි. අනේ මට කලබලේට මුකුත් ගේන්නත් බැරිවුණා.” ලෙඩෙක් බලන්න ආව කිව්වට මුකුත් ගෙනාවෙවත් නෑ නේද කියල විමංගට මතක් වුණේ එතකොට.

“අයියෝ මොනව ගේන්නද පුතා. මේ… කලබලේට කිව්වෙ? නිතූගේ තාත්තා ඇහුවේ කුතුහලයෙන්.

“නැහැ මේ නිතූට අසනීපයි කිව්වම” විමංග ක්ෂණිකව එහෙම පිළිතුරු දුන්නත් දීපු උත්තරේ වැරදි බව ඔහුටම තේරුණේ නිතූගෙ අම්මයි තාත්තයි මුහුණට මුහුණ බලාගද්දි. ඒත් පිටවුණු වචනෙ ආයෙ අද්දන්න බැරි නිසාම ඒකෙන්ම කතාවට මුල පුරන්න විමංග තීරණය කළා.

“මේ… අන්කල්… මම ඇත්තටම ආවෙ දෙයක් කියන්නත් හිතාගෙන”

 

“ඔව් කියන්නකො පුතා” 

 

“මේ… මම මේ කියන්න යන දේ බරපතලකම හොඳටම තේරුම් අරගෙනයි මම කතා කරන්නෙ. අන්කල් මට නිතාරා ගැන අදහසක් තියෙනවා”

 

“හ්ම්ම්” නිතාරගෙ තාත්තා බොහොම බරපතල මුහුණක් මවාගෙන පිළිතුරු බඳින්න සූදානම් වෙනකොටම විමංග නැවතත් කතා කළා.

 

“අන්කල් මට බනින්න එපා මේ ආපු ගමන ගැන. ඇත්තටම නිතාරා දන්නෙත් නැහැ මම අද එන බව. අසනීපයි කියපු නිසා බලන්නත් හිතාගෙනයි මම ඇත්තටම ආවෙ”

 

“මට තේරෙනව පුතා. ඇත්තටම පුතා මෙහෙම ඇවිල්ල කෙලින්ම කතා කරපු එක ගැන මට සතුටුයි. හැංඟි හැංඟි කරන වැඩ වලට වඩා මම ඒකට කැමතී. දුව දන්නවද මේ ගැන? නැත්තම් පුතා කලින්ම අපිට කතා කරන්න හිතුවද?”

 

“නෑ නෑ අන්කල්. නිතූ දන්නව. ලොකු කාලයක් නැහැ. එයා මුලින්ම කිව්වෙත් තාත්තගෙන් අහන්න ඕන කියල තමයි” 

 

නිතූගේ තාත්තා මුලින්ම හයියෙන් හිනාවුණා.

“කෙල්ල බයයි. දන්නවනෙ මගේ හැටි. දැන් පුතා මෙහෙ එන බව පුතාගෙ දෙමව්පියො දන්නවද? පුතාගෙ ගෙවල් කොහෙද? නිතූගේ තාත්තා ඒ හැම දෙයක්ම අහද්දි අම්මා නිශ්ශබ්දව බලාගෙන හිටියා.  

 

“අනේ නෑ අන්කල්. අප්පච්චි දන්නෙ නැහැ එනව කියලනම්. ඒත් නිතූ ගැන දන්නවා. අප්පච්චි මෙහෙ එනව කිව්වා. ඒත් ඊට කලින් මට ඇවිල්ලා කෙලින්ම කතා කරන්නයි ඕනවුණේ” 

“හරි පුතා. ඇත්තටම ඔයා කෙලින්ම එහෙම කතා කරන්න ආපු එක හොඳයි. හැබැයි මෙන්න මේ ටික හොඳට ඔළුවට ගන්නකෝ” නිතූගේ තාත්තා පුටුවේ ඉදිරිපසට බරවෙමින් අවධාරණයෙන් ඒ ටික කිව්ව විදිහට විමංගගෙ හිතේ ආයෙමත් තිගැස්මක් ඇතිවුණා.

 

ඊළඟ සතියට…

 

හිමි අහිමි – 1 කොටස

 

 

හිමි අහිමි – 2 කොට​ස

 

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

 

 

හිමි අහිමි – 8 කොට​ස

 

හිමි අහිමි – 9 කොටස

 

හිමි අහිමි – 10 කොට​ස

 

හිමි අහිමි – 11 කොට​ස

 

හිමි අහිමි – 12 කොට​ස

 

හිමි අහිමි – 13 කොට​ස

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *