හිමි අහිමි – 13 කොට​ස

අප්පච්චි අපාර්ට්මන්ට් එකක් අරන් දීපු කතාව එක්කම නිතූ ගැන අප්පච්චිට කියපු කතාවක් ෆෝන් එකෙන් නොකියා මුණගැහිලම කියන එක හොඳයි කියල විමංග හිතුවා. ඒ නිසාම රෑ ගෙදර ඇවිල්ල නිතූ එක්ක ඔහේ සාමාන්‍ය දේවල් කතා කර කර හිටිය මිසක් අප්පච්චි එක්ක ගිය ගමන ගැන කිසිම දෙයක් විමංග කියන්න ගියේ නැහැ. ඊයෙත් එලියෙම හිටිය නිසා ඉරිදා දවස ගෙදරම ඉන්න හිතාගෙනමයි විමංග නැගිට්ටේ. හැබැයි ඊයෙ එන්න ලෑස්‍තිවෙලා අප්පච්චි අන්තිමට කියපු කතාව ගැනනම් විමංග හිටියෙ බයෙන්. ඒ කියපු හැටියට අප්පච්චි අනිවාර්‍යයෙන්ම ලඟදිම දවසක නිතාරගෙ තාත්තා හමුවෙන්න යන බව විමංගට තේරුණා. ඒක නිතූ කොයි විදිහට බාර ගනීද කියන එකයි විමංගට තිබ්බ ලොකුම බය. මොකද නිතූ මේ ගැන ගෙදරට කොහොම කියන්න හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැනේ. “කමක් නෑ… සඳුදා ලෙක්චර්ස් එයිනෙ. එයත් එක්ක කතා කරලම බලනව මොකද කරන්නෙ කියල. නැත්තම් ඕව ෆෝන් එකෙන් කියන්න ගියොත් ප්‍රශ්න වලට උත්තර දීලම ඉවරයක් නෑ”. විමංග හිතුවේ එහෙම. 

                                             ******************

සඳුදා උදේ වේලාසනින්ම ලෑස්තිවුණ විමංග නිතාරට කෝල් කළේ කලින් එන්න කියන්න. සෙනසුරාදා දවසේ විස්තරය නිදහසේ නිතූ එක්ක කතා කරන්න උදේ වරුව හොඳ බව විමංග හිතුවා. ඒත් නිතාරා ආන්ස්වර් කළේ විමංගගේ තුන්වෙනි කෝල් එක. “මේකි තාම නිදිද මන්දා” හිතින් බැන බැනම විමංග අනෙක් පසින් පිළිතුරු ලැබෙනකම් හිටියා.

“හායි බේබි ගර්ල්… ගුඩ් මෝනින්. තාම නිදි වගේ නේද කෙල්ල?” නිතූ ආන්ස්වර් කරපු ගමන් විමංග හිනාවෙමින් එහෙම කිව්වා…

“මෝනින්.. ” නිතූගෙ කටහඬනම් එච්චර හොඳ පාටක් නැහැ.

“මොකෝ නිකං හීනෙන් වගේ?” විමංග ඇහුවෙ පුදුමයෙන්.

“සනීප නෑ මට… හොඳටම උණ… රෑ තිස්සෙම නින්ද ගියේ නෑ. පාන්දර තමා නින්ද ගියෙ. දැන් ඔයාගෙ කෝල් එකට ඇහැරුණේ”

“අයියෝ… මට කියන්න එපැයි රෑ. මම දන්නවනම් කෝල් කරන්නෙත් නෑ බබා. දැන් මොකද කරන්නෙ? බෙහෙත් ගන්න ඕන නේද?” විමංග ඇත්තෙන්ම හිතින් වදවෙමින් ඇහුවා. වෙනදටත් කලින් නිතූගෙ නින්ද කඩපු එක ගැන විමංගට දැනුනේ පසුතැවිල්ලක්.

“තාත්ත එක්කන් යයි විමූ… අම්ම රෑම ලඟ හිටියා. මම ඇහැරෙනකං ඉන්න ඇත්තෙ එයාලත්”.

“හරි බබා… එහෙනම් පරිස්සමෙන්. බෙහෙත් අරන් ඇවිල්ල මට කියනවද?”

“හරී… මම කියන්නම්” නිතාරා ෆෝන් එක තිබ්බෙ එහෙම පොරොන්දු වෙලා.

ෆෝන් එක තිබ්බට විමංග හිටියෙ සෑහෙන්න හිතේ අවුලෙන්. නිතාරගෙ අසනීපය වගේම පහුගිය සිදුවීම් නිතාරට කියාගන්න බැරිවුණ එකත්, නිතූට කියන්නත් කලින්ම අප්පච්චි එහේ යයිද කියන එකත් විමංගගෙ හිතට ලොකු බරක්. කෝකටත් බලමුකෝ කියල හිතාගෙන ලෙක්චර් හෝල් එකට ගියත් විමංග හිටියෙනම් පාඩම් ඉගෙනගන්න තරම් සිහියකින් නෙමෙයි. ඒ නිසාමයි විමංග හිතුවේ උදේ බ්‍රේක් එකෙන් පස්සෙ ගෙදර යන්න.

“ඒ පසන්. මගෙ ඇඟට හරි නෑ බං. මම යනවා. නෝට්ස් මොනවහරි දුන්නොත් උඹ මට වට්සැප් කරනවද?” ලෙක්චරර් බ්‍රේක් එක දුන්න ගමන් විමංග ලඟ හිටපු මිතුරාගෙන් ඇහුවෙ එහෙම.

“අඩෝ අඩෝ… ලව් එක නැතුව උඹට පාළුයි නේ” පසන් කිව්වෙ මනමාල හිනාවක් එක්ක.

“නෑ බං” හයියෙන් හිනාවෙමින්ම විමංග පිළිතුරු දුන්නා. “නිතූ එන්නෙ නෑ කියල මට කලින් කිව්ව. ඒක නෙමේ කේස් එක. වීකෙන්ඩ් එකේම අප්පච්චි එක්ක ඇවිදින්න වුණා. මට හෙන මහන්සී බං. ආවට ඉන්න හිතෙන්නෑ” ලේසියෙන්ම හදාගන්න පුළුවන් බොරුවක් කියලා මාරුවෙන්න හිතාගෙනයි විමංග පිළිතුරු දුන්නෙ. කොච්චර ලඟින් ඉන්න යාළුවා වුණත් නිතූ නැති නිසා යනවා කිව්වොත් ඊළඟ සතියම සෙට් එකේ බයිට් එක විදිහට අහුවෙන්න වෙන බව දන්න නිසාමයි විමංග එහෙම සරල උත්තරයකින් මාරුවුණේ 

“හරි බං. අනිවා. මම එවන්නම්. ස්ලයිඩ්ස් නම් උඹට එනවනෙ මේල් එකේ”

“ඔව් ඔව්. ඇඩිශනල් නෝට්ස් දුන්නොත් විතරක් දාපන්කො බොක්ක. මම යන්නම්” 

“එල. මම රෑට කෝල් එකක් දෙන්නම්”

 පසන්ට ඒ විදිහට සමුදීලා මේන් ගේට් එකෙන් එළියට එනකොටම තමයි විමංගට නිතූගෙන් කෝල් එකක් ආවෙ.

“නිතූ… මොකද වුණේ?” 

“ඩොක්ටර් ගාවට ගියා… බෙහෙත් දුන්නා. වයිරස් උණක් කියල කිව්වෙ. මම කෝල් නොකර හිටියෙ ඔයාට බ්‍රේක් හම්බෙනකම්”

“ආහ් එහෙනම් අවුලක් නෑ. ඔයත් කොහොමත් පොඩි වයිරස් එකක් වගේ තමයිනෙ” විමංග එහෙම පිළිතුරු දුන්නෙ නිතාරව හිනස්සන්න හිතාගෙන.

“අනේ මේ යනව යන්න. මම තියනව. නිදාගන්න ඕන. මගේ ඇඟට හරි අමාරුයි අනේ” නිතූත් කිව්වේ අමාරුව මැද්දෙන් වුණත් හිනාවෙමින්.

“හාකො… මමත් ගෙදර යනව බබා… ඔයා නැතුව මූඩ් එකක් නෑ වගේ අද ලෙක්චර්ස් ඉන්න”

“අයියෝ හොරා.  අපරාදෙ ළමයො ලෙක්චර්ස්”

“අද බෑ අනේ… දැන් එළියටත් ආව”

“අපෝ.. පුදුම කම්මැලියෙක්.. හරි හරි.. මම තිබ්බා. මට නිදිමතයි”

“හරි බබා. ඔයා රෙස්ට් කරන්න. මම කෝල් කරන්නෙ නෑ හොඳේ. ඔයා නිදාගෙන නැගිට්ටම මට ගන්න” විමංග ෆෝන් එහෙම කියමින් ලයින් එක කට් කළා. 

ගෙදර යන්න කියල ත්‍රීවීල් එකක් නතරකරගත්තටත් පස්සෙ තමයි විමංගගේ අදහස වෙනස් වුණේ. එකපාරටම හිතුණ පළියට මේ කරන වැඩේ ගැන නිතූගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා හිතුණත් ඕන එකක් වෙච්චදෙන් කියලා විමංග හිතට ආපු දේ කරනව කියලා තීරණය කළා. ඩ්‍රයිවර්ගේ පිටට තට්ටුවක් දමමින්ම විමංග ඔහුට ත්‍රීවීල් එක නැවත හරවගන්න කියලා ඉල්ලීමක් කළා. 

 

ඊළඟ සතියට…

 

හිමි අහිමි – 1 කොටස

 

 

හිමි අහිමි – 2 කොට​ස

 

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

හිමි අහිමි – 7 කොටස

 

 

හිමි අහිමි – 8 කොට​ස

 

හිමි අහිමි – 9 කොටස

 

හිමි අහිමි – 10 කොට​ස

 

හිමි අහිමි – 11 කොට​ස

හිමි අහිමි – 12 කොට​ස

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *