හිමි අහිමි – 6 කොටස

ඒ විදිහට හෙමීට හලාගෙන ගිය දෙන්නගෙ යාළුකම ආදරයකට පෙරළුනේ දෙන්නටම නොදැනෙන තරම් හෙමීට. ඉස්සර විහිළු හුවමාරු කරපු, බැනගත්ත චැට් වෙනස් විදිහකට හුවමාරු වෙනකොට, පාඩම් වැඩ, යුනිවර්සිටි එකේ වැඩ කතාකරන්න ගත්ත ටෙලිෆෝන් කෝල් පැය ගණන් ඇදෙනකොට මේ කතාව වෙනස්ම පාරකට යන බව නිතාරට නොදැනුනාම නෙමෙයි. ඒත් විමංග ගැන එහෙම හිතන්න නිතාරා බයවුණා. විමංග වුණත් වෙනදට වඩා දවසින් දවස වෙනස් හිතවත්කමක් පෙන්නුවට අනිත් කොල්ලො වගේ පැණි හලාගෙන පස්සෙන් ආවෙ නැහැ. නිතාරට හිතුනෙම මේ ඕනනැති දෙයක් ඔළුවට අරන් දඟලන්නෙ තමන් විතරයි කියලමයි.

 

“අමා, හෙට ටිකක් මීට් වෙමුකෝ…” නිතාරා අමායාට එහෙම පණිවිඩයක් යැව්වේ හිත මේ ගැන වදවෙනවා වැඩිම දවසක.

 

“අසයින්මන්ට්ද?” ඒ සැණින්ම පිළිතුරු පණිවිඩය අමාගෙන්.

 

“නෑ නෑ බං. ටිකක් කතා කරන්න”

 

“අසයින්මන්ට් නෙමෙයිනම් ඕන එකක් හා. මම ස්ටඩී මෝඩ් එක ඕෆ් කරල ඉන්නෙ” අමා පිළිතුරු එවල තිබ්බෙ හිනාවෙන මූණකුත් එක්ක. 

 

නිතාරත් හිනා මූණක් එක්කම පිළිතුරු යැව්වා. “හරි හරි.. නිකං කොහෙහරි යමු”

 

                                       ************************

 

සෙනසුරාදා ලෙක්චර්ස් නැතුවත් උදේම නැගිටල ලෑස්තිවෙන නිතූ දිහා අම්ම බැලුවෙ ප්‍රශ්නාර්ථයකින්. අහන්න කලින්ම ප්‍රශ්නෙ දන්න නිසා නිතූ හිනාවෙලා උත්තර දුන්නා.

 

“ලයිබ්‍රි යනව අම්මි… අසයින්මන්ට් දෙක තුනක් ගොඩගැහිලා. අමාත් එනව කිව්ව”

 

“ඒක තමා මම බැලුවෙ. කෑම ඕනද චූටි?”

 

“එපා අම්ම… හවස් වෙනකං ඉන්න අයිඩියා එකක් නෑ. ශෝර්ට් ඊට්ස් මොනාහරි කන්නම්”

 

අම්මට එහෙම කියපු නිතූ ගෙදරින් එලියට බැස්සෙ අමාට කෝල් එකක් ගන්න ෆෝන් එක එලියට ගන්න ගමන්ම. අමාගෙ නම්බර් එක ඩයල් කරන්න කලින්ම විමංගගෙන් කෝල් එකක්. උදේ ඉඳලම විමංගගෙ චැට් වලට නිතූ රිප්ලයි නොකර හිටියෙ හිතාමතාම. දෙතුන් පාරක් හිතල ෆෝන් එක ආන්ස්වර් කරපු නිතූ කතා කළා.

 

“හෙලෝ.. “

 

“ගුඩ් මෝනින්.. මොකද සද්දයක් නැත්තෙ උදේ ඉඳල?”

 

“ආහ්.. ලෑස්තිවෙන ගමන් හිටියෙ විමංග. දැනුයි එලියට බැහැල ෆෝන් එක අතට ගත්තෙ”

 

“කොහෙහරි යන්නද?”

 

“ඔව්.. අමා එක්ක රවුමක් යන්න දාගත්ත”

 

“අයියෝ.. එහෙමද? මම කෝල් කළේ ශොපින් යන්න කතා කරන්න”

 

නිතූට තරමක් තරහත් හිතුණා. හැමදේටම මටම කතා කරන්නෙ මොකටද? ඇයට හිතුණේ එහෙම. නිතාරට ඕනවුණේ විමංගගෙ යාළුකම ටිකක් ඈත්කරන්න. ඒ අමුතු යාළුකම නිසා හිතේ නිදහස ටික ටික අහිමිවෙන බව නිතාරට දැනෙමින් තිබුණා. බොරු බලාපොරොත්තු ඇතිකරගන්න බය නිසාමයි ඇය අද අමා එක්ක කතා කරලා විමංග ගැන කියන්න හිතා ගත්තෙත්. 

 

“ඒ මොකටද?” නිතාර ඇහුවේ තරමක් නොරුස්සන හඬකින්.

 

“නිකං ඉතින්…”

 

“නිකං ශොපින් යන්න මම මොකටද විමංග. මං තියන්නම්. අමා ගන්නවා” 

 

විමංග උත්තර දෙන්න කලින්ම නිතාරා ලයින් එක කට් කළා. නිතාරා කතාකරපු ස්වරය වෙනස් බව විමංගට නොදැනුනාම නෙමෙයි. ඒත් ඒකට හරිහැටි හේතුවක් විමංගට හිතාගන්න බැරිවුණා.

                        

                **********************

 

“හරි දැන් කියපන්කො ඇයි මේ හදිස්සියෙ මාව කැඳෙව්වෙ කියල” ෆෘට් ජූස් වීදුරු දෙක ටේබල් එක උඩින් තියන ගමන්ම අමායා ඇහුවා.

 

“කතා කරන්න බං. හිතට හරි නෑ…” ඒ නිතූ

 

“ඇයි උඹේ අර පරම මිතුරා නැද්ද කථා කරන්න දැන්?” අමායා ඇහුවේ කින්ඩියට වගේ.

 

“ඒක ගැන තමා…” අමා නමක් ගමක් නොකිව්වට ඇය අදහස් කළේ මොකක්ද කියලා දන්න නිතාරා ඈත බලාගෙනම කිව්ව.

 

“මට ඒ ගැන අවුලක් දැනෙනව අමා. මං විමංගට ලංවෙනව වැඩියි කියල හිතෙනව”

 

“තව ටිකක් පැහැදිලි කරහන්. කොල්ලෙක් එක්ක ෆිට් එකේ ඉන්න එකේ අවුලක් නෑනෙ බං. අනික අපි එකම බැච් එකේනෙ”

 

“නෑ අමා.. මගේ හිත වැරදි පාරක යනව කියල දැනෙනව”

 

“ඒ කියන්නෙ උඹ ඌට ක්‍රශ් කියලද?”

 

“එහෙමද කියන්න දන්නෑ. ඒත් ඉස්සරට වඩා වෙනස් දෙයක් හිතෙනවා. විමංග කෝල් නොකරම, මැසේජ් නොකළම මට පට්ට අවුල්. ඒකට ඇබ්බැහිවෙලා දැන්”

 

“උඹ කැමතිනම් විමංගත් කැමතිනම් ඒකෙ ප්‍රශ්නයක් නෑනෙ බං ඉතින්. ඕක මහා අපරාධයක් වගේනෙ උඹ මූණ එල්ලන් ඉන්නෙ”

 

“එතනම තමයි බං ප්‍රශ්නෙත්. එයා කැමතිද කියල මම දන්නෙ නෑනෙ. එහෙම වෙනසක් එයා පෙන්නන්නෙත් නෑ. අනික විමංග අපි දන්නවට වඩා ලොකු පවුලක කෙනෙක්. අනිත් හයි ක්ලාස් ෆැමිලීස් වල කොල්ලො වගේ දඟලන්නෙ නැතිවුණාට මෙයා වෙනම විදිහකට කෙල්ලො ප්ලේ කරන කොල්ලෙක්ද කියල මට හිතෙනව. මට බයයි අමා”

 

“එහෙම හිතන්න තරම් නරකක් උඹට විමංගගෙන් වුණාද?”

 

“අනේ නෑ බං. එහෙම නෑ. ඒත් එයා මට යාළුකමට එහා කිසිම වෙනසක් පෙන්නන්නෙ නෑ. මම විතරක් තනියම දුරක් ගිහින් වැඩක් නෑනෙ”

 

“ඔව් ඒක ඇත්ත. ඉතින් උඹට කෙලින් කියන්න බැරිද හිතේ තියෙන දේ? නැත්තම් මම කතාකරන්නද?”

 

“එපා එපා… මම එහෙම ආස නෑ. මට ඕන කෙලින් කොල්ලෙක් බං. විමංග හරි වෙන කවුරුහරි වුණත් මගේ ලඟට ඇවිත් කෙලින් ආදරෙයි කියන කොල්ලෙක්. නැතුව මම ඇහුවම හා කියන කොල්ලෙක්ට මම ආස නෑ. අනික මට මේ ඉන්න විදිහ තාමත් හොඳයි. හිතට ටිකක් අවුල් නිසා උඹට කිව්වෙ”

 

“උඹේ කැමැත්තක්. කොහොමවුණත් මේ එක්සෑම්ස්, අසයින්මන්ට් අස්සෙ ඔළුව අවුල් කරගන්නෙ නැතුව හිටපන්.”

 

“හ්ම්ම්…”

 

“උඹ අකමැතිනම් විමංග එක්ක කතා කරන්න එපා. ඒත් මට පේන්නෑ නිතූ මෙතන එහෙම කරන්න හේතුවක්. උඹ කොහොම කිව්වත් විමංග සෙල්ලමට උඹව ආශ්‍රය කරනව කියල මට හිතෙන්නෑ. ටිකක් ඔහොම යන්න දෙන්නකෝ”

 

අමායාට සමුදීපු නිතූ ගෙදර ආවෙ හිත හුඟක් දුරට නිදහස් කරගෙන. 

 

ඔළුවෙ ප්‍රශ්න කෝටියක් තිබුණත් විමංගට උදේ සැරෙන් කතා කරපු එක ගැන නිතාරගෙ හිතෙත් දුකක් නොතිබ්බාම නෙමෙයි. ගෙදර ඇවිල්ල නිතාරා මුලින්ම කළේ විමංගට චැට් එකක් දාපු එක. උදේ දාපු සද්දෙටයි, දවසම චැට් නොකර හිටපු එකටයි හේතුවක් හිතාගන්න බැරුව කොල්ලත් අවුලෙන් ඉන්න බව හවස අන්තිමට ආපු චැට් දෙක තුනෙන් නිතාරට තේරුණා.

 

“හායි බ්‍රෝ…” දෙන්න කතා බහ කරන්නෙ එහෙම මචං ෆිට් එකෙන්.

 

“අම්මෝ ඇති යන්තම් ඇවිල්ල. කොහෙද මෝඩයො ගියෙ?”

 

 “සොරි අනේ… උදේ ටිකක් අවුලෙන් හිටියෙ”

 

“මාත් එක්කද?”

 

උත්තරේ ඔව් උණාට කිව්වොත් තව ප්‍රශ්න පත්තරයක් නිසා නිතාර නෑ කියල පිළිතුරක් යැව්වා.

 

“අමා පරක්කු උනා. ඒකයි. ඉතින්, මොකද කරන්නෙ?”

 

“ඒක මිසක්.. මම ඒත් බයවුණා”

 

“ඇයි මොකටද බයවුණේ? ඔච්චර බයයිද මම බැන්නම” නිතාර රිප්ලයි කළේ හිනාවෙන මූණක් එක්ක.

 

“අනේ වැඩේමයි. අර හදිස්සියට ඉතින් අසයින්මන්ට් එකක් කරගන්නවත් එකෙක් නැතිවෙනවනෙ ඉතින් තරහ උණොත්. ඒකයි” හැමදාම වගේ සැහැල්ලු රිප්ලයි එකක් විමංගගෙන් ඇවිත් තිබුණා.

 

සැහැල්ලුවෙන් චැට් කළාට නිතාරගේ තරම්ම බරක් විමංගගෙ හිතෙත් තිබුණ බව නිතාරා දන්නෙ නැහැ. හැබැයි විමංග වෙනස්ම ප්ලෑන් එකක් හිතමින් තමයි චැට් කළේ. ඒ වැඩේට වෙලාව තියාගන්නත් එක්ක විමංග කලින්ම චැට් එක ඉවර කළා. 

 

ලබන සතියට…

 

 

 

හිමි අහිමි – 1 කොටස

 

හිමි අහිමි – 2 කොට​ස

 

හිමි අහිමි – 3 කොටස

 

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *