හිමි අහිමි – 5 කොට​ස

 

“තෑන්ක්ස් නිතූ. පට්ටම උදව්වක් හොඳේ කළේ”

ගෙදර ගිහින් පැය බාගයක් යන්න කලින් නිතාරගෙ අංකයට විමංගගෙන් වට්සැප් පණිවිඩයක් ආවා. ගෙදර ගිහිල්ල එහෙනම්. හිනාවෙමින් හිතපු නිතාරා රිප්ලයි එකක් යැව්වා. 

 

“නෝ වොරීස්. සුළු දෙයක්නේ” 

 

දෙන්නා චැට් කරන්න පටන් ගත්තෙ ඔන්න ඔහොම. පොඩියට පටන් ගත්තු චැට් ටික කාලෙකින් පැය ගණන් ඇදෙන දිග චැට් බවට පත්වුණා. උදේට නැගිට්ටම, රෑට නිදියන්න යනකොට, කම්මැලි හිතුණම වගේම ක්ලාස් එකේ විෂය කරුණු ගැනත් දෙන්නා නිතර නිතර චැට් කළා. නිතාරගේ හිතෙත් නොදැනීම විමංග ගැන පුංචි කැමැත්තක් තිබුණත් එතනින් එහාට ඒ ගැන හිතන්නත් නිතාරා බයවුණා. විමංග කියන්නෙ නිතාරගෙ පළමු ආදර කතාව නෙමෙයි. මීට කලින් ඕලෙවල් කාලෙ එකට පන්ති ගිය සදෙව් නිතාරගෙ කැමැත්ත ගත්තෙ මාස ගාණක් තිස්සෙම පස්සෙන් ඇවිල්ලා. සෙල්ලක්කාර, කටකාර චරිතයක් වුණ සදෙව්ට කැමති වෙන්න කිසිම හේතුවක් නිතාරට තිබුණෙ නැහැ. අවාසනාවට සදෙව්ට පුළුවන් වුණා නිතාරගේ හිත වෙනස් කරන්න. ඒත් කැමැත්ත ගන්න සදෙව්ට තිබ්බ උනන්දුව ඒ විදිහට වැඩිකාලයක් තිබුණෙ නැහැ. නිකරුණේ ප්‍රතික්ෂේප වුණාය කියන කලකිරීම නිතාරගෙ හිතේ ඉතුරු කරලා සදෙව් යන්නම ගියා. ඒ නිසාම නිතාරා යාළුකමට එහා පිරිමි ළමයි ගැන හිතන්න හරිම බයවුණා. 

 

අනික මේ ටික කාලෙට දැනගත්ත දේවල්වල හැටියට විමංග කියන්නෙ හයි ක්ලාස් ෆැමිලි එකක ළමයෙක්. එදිනෙදා ක්ලාස් වලදී ලොකුකම් නොපෙන්නුවට විමංග වැඩිපුරම ක්ලාස් වලට ආවෙ ගියේ තාත්ත එක්ක හරි තනියම ඩ්‍රයිව් කරගෙන හරි. ඒකත් එක එක දවසට වාහන කිහිපයකම. විමංගට ලොකු ලොකු හීන තිබුණා. ඩිග්‍රි එක ඉවරවුණ ගමන්ම මාස්ටර්ස් එකක් කරන්න, රට යන්න, බිස්නස් එකක් පටන් ගන්න වගේ. ඉගෙනගන්න දක්ෂ වුණාට, උනන්දුවෙන් වැඩ කළාට ඩිග්‍රි සර්ටිෆිකේට් එක අතට ගන්නවාට එහා ලොකු හීන නිතාරට තවම තිබුණේ නැහැ. ඇත්තටම එහෙම හිතන්න පසුබිමක් නිතාරට තිබුනේ නැහැ. කොහොමවුණත් දෙන්නා නිතර නිතර මුණගැහුණා. ඒ හමුවීම් වලට පාඩම් වැඩ, පාර්ටි ඕගනයිස් කිරීම් වගේ එක එක හේතුත් තිබුණා.

 

“නිතූ.. ඉන්නවද?” විමංගගෙන් චැට් එකක්

 

“ඔව්.. කියන්න”

 

“මේ.. ලයිබ්‍රි යන්කො. අසයින්මන්ට් එකක් තියෙනව ගොඩදාගන්න. තනියම යන්න කම්මැලී…” 

 

“හපෝ.. කරදරේ”

 

“ආ.. බැරිද?”

 

“හරි හරි යං.. කීයටද?” 

 

“උදේම යං. මං 8.30 එන්නද ඔයාව ගන්න?”

 

“අම්මෝ.. එපා එපා… තාත්ත යන්නෙ ඒ වෙලාවට… ඊළඟට බලයි කව්ද මේ මාව පික් කරන්න එන කොල්ල කියල… මම එන්නම්” නිතාරා කිව්වෙ සිනහවෙන්ම.

 

ආවෙ අසයින්මන්ට් එක ඉවරකරන්න කිව්වට ඒ වැඩේ ඉවරවෙලත් ගෙදර යන්න දෙන්නගෙම කල්පනාවක් තිබ්බෙ නෑ. 

 

“යං රවුමක්? ගෙදර යන්න කම්මැලී” යෝජනාව විමංගගෙන්.

 

නිතාරත් එක පයින්. කොහොමත් කොල්ලො කෙල්ලො එකට ගමන් යන එක නිතාරගේ වයසේ ළමයින්ට, විශේෂයෙන්ම මේ කොළඹ හැදුන, වැඩිපුරම ඉන්ටර්නැශනල් ස්කූල් වලින් ආපු මේ ප්‍රයිවට් යුනි එකේ ළමයින්ට මැජික් එකක් වුණේ නෑ. ගෙදර ගියාමත් ඉන්නෙ අම්මයි තාත්තයි විතරක් නිසා නිතාරටත් කම්මැලී. ඔහේ ආගිය දේවල් කතා කර කරණ්ඩු වෙවී ඇවිදින එකට නිතාරත් ආසවුණා. දෙන්නා කොළඹ පාරවල් දිගේ, වෝකින් පාත් දිගේ ඔහේ කතා කර කර ඇවිද්දා. කොෆී ශොප්ස් වල කියව කියව කොෆී බිව්වා. බඩගින්නක් ආවම පීසා හට් එකේ ඉඳලා පොඩි සයිවර් කඩේ වෙනකං ඕනම කඩේකින් ගිහින් වෙනසක් නැතුව කෑවා. එහෙම දවසට විමංග ගෙදර වාහනවල ආවෙත් නැහැ. ඒ නිසා නිදහසේ ඇවිදලා ඇතිවුණාම කැබ් එකක් දාගෙන යන්න පුළුවන්කම තිබුණා.

 

විමංග සම වයසෙම කොල්ලෙක් වුණාට පොත පත ආශ්‍රය අතින් එයා තමන්ටත් වඩා හුඟක් ඉස්සරහින් ඉන්නව කියල නිතාරට හුඟක් වෙලාවට තේරිලා තිබුණා. නිතාරා කියන්නෙත් යන්තම් අකුරු ගලපල කියවන කාලෙ ඉඳලම පොත් ගුල්ලියක්. ඒත් මේ කොල්ලො එක්ක රස්තියාදුත් ගහන, පාර්ටි වලිනුත් අඩුවක් නැති කොලුවෙක්ට මේ තරම් පොත් එක්ක යාළුකමක් තිබීම නිතාරට මුලින්ම පුදුමයක් වුණා. අහන ඕනම මාතෘකාවක් ගැන දිගට දිගට ලොකු වෙලාවක් කතාකරන්න විමංගට දැනුම තිබුණා. 

 

“මාව පොත් වලට ළං කළේ අප්පච්චි නිතාරා. අප්පච්චිට තියෙනව කාමරයක් පිරෙන්න ලොකු බුක් කලෙක්ශන් එකක්. හැබැයි එතන නවකතා ඇත්තෙ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්. ඔක්කොම වගේ ශාස්ත්‍රීය, ඉතිහාස, චරිතාපදාන පොත්. සරල පොත් ගෙනාවනම් ගෙනාවෙ මට ඕන නිසා. පස්සෙ පස්සෙ කම්මැලිකමට මමත් අර බරසාර පොත් කියෙව්ව. මම පොඩි කාලෙ මල්ලිගෙ වැඩ එක්ක අම්මට මං ගැන හොයන්න වෙලාව අඩුවුණා. ඉතින් මම පොත් එක්ක යාළුවුණා.” 

“විමංග ගවර්න්මන්ට් ස්කූල් ගියානම් ඉහළම රෑන්ක් එකකින් කැම්පස් යන්න තිබුණා”. දවසක් නිතාරා එහෙම කිව්වම විමංග හයියෙන් හිනාවුණා.

 

“ඒත් අප්පච්චි තමයි නිතූ… මම දෙක වසර වෙනකන්ම ගියෙ ගවර්න්මන්ට් තමා. දෙක වසරෙ ටීචර් මොකක්දෝ හේතුවකට මගේ පස්සෙන්ම පැන්නුවා. එයාගෙ ෆේවරිට් ළමයි ගොඩේ මම හිටියෙ නෑ. පොඩි දේටත් ගහල, බැනල පන්තියම ඉස්සරහ අපහාස කළා. එයා එහෙම අකමැති ළමයි දෙතුන් දෙනෙක්ම හිටියා. දවසක් අර ලී අඩිරූලකින් අල්ලට ගහපු පාර අත දිගටම වැදිලා ඉදිමිලා තියෙනව දැකලයි අප්පච්චි ඔය ගැන දැනගත්තෙ. එදා එයාගෙ ඇස්වල කඳුළු තිබ්බා”

 

“පව් විමංග…”

 

“හ්ම්ම්… පහුවදාම ආව ප්‍රින්සිපල් හම්බෙන්න. ප්‍රින්සිපල් අප්පච්චිව හොඳටම අඳුරනව. අ ටීචර්ව ගෙනල්ල හොඳටම දොස් කිව්ව”

 

“අනේ මම එහෙම කළේ නෑ. මිස්ටර් ජයදේවගෙ පුතා බව මම දන්නෙ නෑ. ඇයි පුතේ බොරු කියන්නෙ” කියල මගේ ඔළුව අත ගගා ඇඬුවෙ… විමංග කිව්වෙ හයියෙන් හිනාවෙමින්.

 

“දෙක වසරෙ වුණාට මට ඒ සිද්ධිය පට්ට මතකයි නිතූ.. පහුවදාම අප්පච්චි මාව අලුත් ස්කූල් එකට දැම්ම. එක අතකට එහෙම වුණේ හොඳට… මම ෆාස්ට් ට්‍රැක් එකකට වැටුණා”

 

ඇත්ත. නිතාරට හිතුණා. විමංග ඒ වෙනකොට CIMA සුදුසුකමත් සම්පූර්ණ කරලයි හිටියෙ. ඩිග්‍රි එක කරන්නෙ තනිකරම අප්පච්චිගෙ බිස්නස් උවමනාවට කියල නිතරම කිව්වා. විමංග සාමාන්‍යයෙන් ගෙදර ගැන, අප්පච්චි ගැන ක්ලාස් එකේදි කතා කරන්නෙම නැති තරම්. ළඟම දෙන්නෙක් තුන්දෙනෙක් ඇරුණම විමංග, ප්‍රසිද්ධ ව්‍යාපාරික ජයදේවගෙ පුතා බව කවුරුත් දන්නෙත් නැහැ. ඒත් නිතාරා එක්ක විකාර කියවමින් රවුම් ගහන දවස්වලට විමංග අප්පච්චි ගැන හරියට කතා කළා.

 

“මගේ අප්පච්චි කියන්නෙ ලෝකයක් නිතූ… මේ ලෙක්චර්ස් වලට ඇවිල්ල අපි බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගත්තට ජීවිතේ ගැන, ව්‍යාපාර ලෝකය ගැන එයාගෙන් ඉගෙනගන්න දේවල් එමටයි.. දවසක එන්නකො අපේ ගෙදර අප්පච්චි හම්බෙලා කතාකරන්න” විමංග කිව්වෙ ආඩම්බරෙන්.

 

“හපෝ හොඳ හිටී.. මාව එලවයි”

 

“පිස්සුද අනේ… එයාට ඔය විකාර අදහස් නෑ… එලෙව්වොත් ඉතින් අම්ම තමයි”. ලොකු හිනාවක් එක්ක එහෙම කියපු විමංග පාර අයිනේ තිබුණ තාප්පයකට බරවුණා. 

 

“ඇති වගේ ඇවිද්දා. යං මොනාහරි කන්න”

 

“හ්ම්ම්.. යං”

 

 

ලබන සතියට…

 

හිමි අහිමි – 1 කොටස

 

 

හිමි අහිමි – 2 කොට​ස

 

 

හිමි අහිමි – 3 කොටස

 

හිමි අහිමි – 4 කොටස

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *