උග්‍ර ගෑස් හිඟයට සරල විසඳුම් කීපයක්

මේ දවස් වල පෝලිම් වල ඉඳලා අපේ ලාංකික ජනතාවට දැන් පෝලිම් ක්‍රමය හොඳට ඇඟට පත්තියම් වෙලා ඇති. නෑ නෑ. දේශපාලනය ගැන නෙමෙයි කියන්න හැදුවේ. ඒවා ඉතින් වෙනම කතා කරන්න ඕන මාතෘකා නේ. කොහොම වුණත් දවස ගාණේ එක එක පෝලිම් අලුතින් හැදෙනවා. ගෑස් පෝලිමත් ඒ වගේ එක පෝලිමක්. මුලින්ම කහපාට ගෑස් උන්නැහේලා ඒ උදවියගේ ගෑස් අපිට පෙන්නලා ගෑස් බෙදාහැරීම නැවත්තුවනේ. ඔන්න ආයේ ටික දවසක් ගිහින් නිල් පාට ගෑස් උන්නහෙලත් උන්දැලට පාඩුය කියලා ගෑස් මිල වැඩි කළා. ඔන්න ඊට පස්සේ කහ පාට අයියලත් ආයේ ගෑස් දෙන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ඒ වැඩි වෙච්ච මිලට. කොහොම වුණත් ඒ වැඩි ගාණටත් දැන් ගෑස් ගන්න සෑහෙන කට්ටක් කන්න ඕනේ. ගෙදර ගෑස් ඒක ඉවර වුන ගමන් කඩෙන් ගෑස් එකක් ගෙන්නගත්තු කාලය ඉතිහාසයට එකතුවෙලා. ඉතින් කට්ට කාල ගෑස් එකක් හොයාගත්තු අයටත් ගෑස් නැතුව කර කියාගන්න දෙයක් නැතුව ඉන්න අයටත් ගෑස් ප්‍රශ්නයට මෙන්න මේ සරල විසඳුම් ටික උත්සාහ කරලා බලන එක කොයිකටත් හොඳයි. 

 

 

1. ප්‍රෙෂර් කුකර් භාවිතය

උයන්න, තැම්බෙන්න ගොඩක් වෙලා යන කෑම වර්ග තියෙනවා නම් ඒ වගේ කෑම ප්‍රෙෂර් කුකර් එකේ උයාගන්න පුළුවන්නම් ගොඩක් දුරට ගෑස් පිරිමහ ගන්න පුළුවන්. විශේෂයෙන් කඩල, කවුපි වගේ ඇට වර්ග ප්‍රෙෂර් කුකර් එකේ උයාගන්න පුළුවන්. ඒ වගේම කඩල පරිප්පු වගේ දේවල් උයාගන්නත්, හුරු පුරුදු කෙනෙකුටනම් බත්, කිරිබත් එහෙම උයාගන්නත් පුළුවන් මේ ප්‍රෙෂර් කුකර් එකෙන් බොහොම අඩු කාලයකින්. මේකෙන් ගොඩක් වෙලා ගෑස් පාවිච්චිය නතර වෙනවා. මොකද ප්‍රෙෂර් කුකර් එකේ සාමාන්‍ය වෙලාවට වඩා ගොඩක් අඩු කාලයක් තමයි ගතවෙන්නේ ඉවුම් පිහුම් කටයුතු වලට. ඒ වගේම ඇට වර්ග ගොඩක් හොඳින් තැම්බෙනවා ප්‍රෙෂර් කුකර් එකේ. ඒ නිසා ගෑස් පිරිමැස්ම වගේම ආහාර වල ප්‍රමිතියත් ඉහළ යනවා මේ නිසා. 

 

 

2. වෙනත් උදුන් වර්ග

ඉවුම් පිහුම් වලට භාවිතා කරන ජනප්‍රියම උපකරණය ගෑස් ලිප වුණත් ඒකට වෙනත් විකල්පත් තියෙනවා, ඒවා භාවිතා කරන එකෙන් වියදමත් ගොඩක් අඩු කරගන්න පුළුවන්. උදාහරණ විදිහට භූමිතෙල් උදුන්, දර ලිප්, ඉන්ඩක්ෂන් කුකර්, හොට් ප්ලේට් වගේ විකල්ප ගොඩක් සඳහන් කරන්න පුළුවන්. හැබැයි තමන්ට ගැළපෙන විකල්පය තෝරාගන්න ඕනේ තමන්මයි. මොකද දර ලිප වියදම පැත්තෙන් ලාභදායී වුණාට මහන්සිය පැත්තෙන් අවාසිදායකයි. ඒ වගේම හොට් ප්ලේට් වගේ දේවල් ගොඩක් පහසු වුණත් වියදම වැඩියි. ඒ නිසා හැම පැත්තෙන්ම හිතලා බලලා තමන්ට ගැලපෙන විකල්පය තෝරාගන්න.

 

 

3. විදුලියෙන් ක්‍රියා කරන උපකරණ භාවිතය

ඇත්තටම ගෑස් භාවිතය අඩු කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි විදුලි බලයට මාරු වෙන එක. විශේෂයෙන් වතුර උණු කරගන්න එක ගෑස් භාවිතයෙන් නැතුව හීටරයක් මාර්ගයෙන් හරි විදුලි කේතලයක් මාර්ගයෙන් කරගන්න එකෙන් ලොකු ගෑස් ඉතුරුවක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම එයාර් ෆ්රයර්, මල්ටි කුකර්ස්, ස්ලෝ කුකර්ස් වගේ තවත් විදුලියෙන් ක්‍රියාකරන ඉවුම් පිහුම් උපකරණ ගොඩක් අද වෙළෙඳපොලේ තියෙනවා. ඉතින් ගෑස් තිබුණත් නැතත් මේ වගේ විකල්ප වලට යන එකෙන් වාසිය වෙන්නෙ තමන්ටමයි. 

 

 

4. වන් පොට් මීල්

වන් පොට් මීල් කියල කියන්නෙ ඉවීම හිසරදයක් කරගන්නේ නැතුව ඔක්කොම දේවල් ඒක භාජනයකට දාලා උයාගන්න පුළුවන් කෑම වර්ග. මේකෙන් උයන කාලය වගේම හෝදන්න තියෙන භාජන ප්‍රමාණයත් අඩුවෙනවා. ඒ වගේම දැන් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ගෑස් හිඟයටත් මේක හොඳම විසඳුමක්. වන් පොට් මීල් රෙසිපීස් අන්තර්ජාලයේ ඕනතරම් හොයාගන්න තියෙනවා. ලයිෆි අපේ වන්පොට් මීල්ස් වගේම ඉක්මනින් උයාගන්න පුළුවන් ලේසි බත් රෙසිපි කිහිපයක්ම මේ ලින්ක් වලින් බලාගන්න පුළුවන්.

ලේසියෙන්ම හදාගෙන බත් එක්ක කන්​න පුළුවන් වන් පොට් කරීස් 5ක්

 

කම්මැලි වෙලාවට, හදිස්සි වෙලාවට ඉක්මණින්ම හදාගන්න පුළුවන් බත් වර්ග 5ක්

 

 

5. කල්තබා ගත හැකි ආහාර භාවිතය

පිසීමෙන් පස්සේ කල් තබා ගන්න පුළුවන් ආහාර එක පාර දවස් කිහිපයකට හරියන්න උයාගන්න පුළුවන්නම් ඒකෙනුත් ගෑස් ඉතුරුවක් කරගන්න පුළුවන් වෙනවා. සීනි සම්බෝල, බැදුම් වර්ග, අච්චාරු වර්ග, ඇඹුල් තියල්, චට්නි වර්ග වගේ ආහාර එකවර උයලා ශීතකරණයක තියාගන්න. මෙතනදීත් උයන්න වැඩි කාලයක් ගතනොවෙන ආහාර තෝරාගන්න පරිස්සම් වෙන්න වෙනවා. මෙහෙම කෑම ටිකක් උයලා තියාගන්න එක හදිසියේ ගෑස් ඉවරවුන දවසකටත් හරිම ප්‍රයෝජනවත්. 

 

 

6. පිසීමෙන් තොරව කෑමට හැකි ආහාර

ආහාර ඒ කිව්වේ විශේෂයෙන්ම එළවළු සහ කොළ වර්ග අමුවෙන් ආහාරයට එකතු කරගන්න ඒක ගෑස් ප්‍රශ්නයට වගේම සෞඛ්‍යයටත් බොහොම හිතකරයි. දවසට එක වේලක් හරි අමුවෙන් එළවලු, කොළ වර්ග ආහාරයට ගන්න පුරුදු වෙන්න. ශරීරයේ බර ගැන වදවෙන, ඩයට් එකකට කැමති කෙනෙකුටනම් තුන් වේලටම වුණත් ඕවර් නයිට් ඕට්ස්, ලෝ කාර්බ් සැන්විච් වර්ග, සලාද, මැල්ලුම්, සම්බෝල එහෙම ආහාරයට ගන්න පුළුවන්. 

 

 

7. රයිස් කුකර් ස්ටීමරයෙන් වැඩ

උදේ බත් ඒක ඉදෙන අතරේ රයිස් කුකර් ඒකෙ ස්ටීමරයෙන් බිත්තර, ඉඳි ආප්ප, හැලප, වන්ඩු ආප්ප වගේ දේවල් තම්බාගන්න පුළුවන්. ඒකෙන් ඒ දේවල් වෙනම උයාගන්න හෝ තම්බාගන්න වැයවෙන ගෑස් වගේම කාලයත් ඉතුරු වෙනවා. හැබැයි බිත්තර තම්බද්දී බිත්තරයේ කටුව හොඳින් පිරිසිදු කරලා තම්බන්න අමතක කරන්න එපා. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *