එක එක ක්ෂේත්රවලට දායක වුණ මිනිස්සු නිසා අපට මතක ගොඩක් හැදිලා තියනවා. රූපවාහිනිය බත් පිඟානේ තියෙන තවත් එළවළුවක් ගාණට පත්තියන් අපිට. ඉතින් ඒ රූප පෙට්ටිය අපිට සමීප කරවපු මිනිසුන් බොහොමයි. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පහු කරගෙන ආපු මාවතක මෑත ඉතිහාසයේ අපිට දකින්න ලැබුණු ඒත් දැන් එච්චර දකින්න නැති මූණු ටිකක් ගැන මතකය අවදි කරගමු.
1. නිලීකා මද්දුමගේ
මේ නම නම් නුහුරු වෙන්න පුළුවනි. හැබැයි ඒ කටහඬ ඇහුණත් ඇති කවුද කියලා මතක් වෙන්න. ඒ කාලේ රසසරණිය කරපු නෝනා තමයි මේ. කොණ්ඩේ කපලා හරියට එක්ස් ෆයිල්ස් සීරිස් එකේ ස්කලියා වගේ. මේක කෑම උයන වැඩසටහනක්නේ. එහෙම වැඩසටහනක් හිට් වෙලා එන්න චෙෆ්ගේ වැඩේ වගේ ම ඒක මෙහෙයවන පුද්ගලයා අතෙත් ලොකු වැඩක් තියනවා. නිලීකා මේ වැඩසටහන මෙහෙයවපු ආකාරය මතක නම් ඒක බලන් ඉන්න ආසයි. හරිම ප්‍රසන්නයි. ආදරණීයයි. වසර හතක් පුරාවට අඛණ්ඩව හැම ඉරිදම මේ වැඩසටහන ඇය ඉදිරිපත් කළා.
2. කැළුම් විජේසූරිය
කැළුම්ටත් නිලීකාගේ සිද්ධියම තමයි. ඒ කිව්වේ නම එච්චර මීටර් නෑ හැබැයි හඬ මීටර්. මේ කඩවසම් නිවේදකයා ඔබට අපට සමීප වන්නේ ලොතරැයි ප්‍රතිඵල කියන මොහොතේ දී. දැන් ඔය ලොතරැයි ප්‍රතිඵලේ ලොතරැයි ගත් නොගත් හැමෝම වෙලාවකට බලනවා. වැඩසටහනක් ඉවර වෙලා එක පාරට පටන් ගන්න මේ ලොතරැයි වැඩසටහන් ඔහේ බලන් ඉන්න පුළුවන් ටික වෙලාවක් පුටු සැටියේ දිග ඇදිලා. එහෙම වෙලාවට සම්පූර්ණයෙන් ම වැඩසටහන ඉවර වෙනකන් මිනිස්සු රඳවගන්න කාන්දම් කටහඬක් සහ පෙනුමක් කැළුම්ට හිමියි.
3. නාරද බක්මීවැව – තනූජා ජයවර්ධන
මේ දෙන්නව දෙන්නෙක් විදියට වෙන් කරලා විස්තර කරන එක හරි අපරාධයක්. ලංකාවේ නිවේදන කලාවෙ ලොකුම වෙනසක් ඇති කරපු මේ ද්විත්වය අදටත් ඒ තනතුරේ ලා තමයි සැලකෙන්නේ. සිරස ‘රස රිසි ගී’ ඉදිරිපත් කිරීමෙන් මුළු රටක්ම වසඟයට ගත් හැකි ඒ පරම්පරාවේ උදවිය මැරෙනකන් මතක් කරාවි. ආකෘතියකට හිර වෙලා හිටි නිවේදක නිවේදිකාවන් එතනින් නිදහස් කරලා ජනතාවට වඩාත් සමීප කරවීමේ වැඩි පිනක් මේ දෙන්නට ලැබෙන්න ඕනි.
4. මුදිත විජේසුන්දර
අත පොවන මානයෙ අතීතයක ස්වර්ණවාහිනී නාලිකාව බිහි කරපු දක්ෂයෙක් තමයි මුදිත. මුදිත වැඩසටහන් කීපයක් ම කළා. නමුත් හිතට වැදුණු ඔහුගේ වැඩසටහන තමයි දුටු නුදුටු. අද ඔය ලංකාවේ ලෝකේ ඇවිදින වැඩසටහන් තියෙනවා පඳුරුවලට වඩා. ඒත් ඒ කාලේ එහෙම ඒවා කීපයයි තිබුණේ. රූපරාමු පෙන්වනකොට ඒකට මුදිතගේ නිදහස් කටහඬ එක් වුණාම හරියට ඒ රූපරාමුවෙන් පෙන්වන තැන අපි ඉන්නවා වගේ ජීවමාන ගතියක් දනවන තරමට ඔහුගේ හඬ සජීවියි.
5. ආශා එදිරිසිංහ
ආශා කියන්නේ සිංහලෙන්ම කියලා දැම්මොත් හරිම කියුට් ගෑල්ලමයෙක්. දැන් කාලේ එහෙම කියුට්ටෙකක් තියන කෙනෙක්ට රූප පෙට්ටියේ වැඩසටහනක් භාර දුන්නොතින් බලන් ඉන්න උදවියට නූල් බඳින්න වෙනවා වරු කීපෙකටම. ඒත් ආශා තමන්ගේ ලස්සන එක්කම ලස්සන වචනත් ගලපලා ශික්ෂණයක් තියාගෙන වැඩසටහන් ඉදිරිපත් කරා. ඒ අතරින් සෙනසුරාදා උදේට රොෂාන් ප්‍රනාන්දු එක්ක ඉදිරිපත් කළ හීන හතක් වැඩසටහන ඔබට මතක ඇති.
6. ළහිරු මුදලිගේ
ළහිරුව සෙට් වෙන්නේ ස්වර්ණවාහිනියේ හිතට වදින එකෙන්. ඒ තමයි සින්දු බලන්න කියලා රූපවාහිනිය ඉස්සරහා රෙඩි පිට හිටපු කාලේ. හිතට වදින එක හිතට වදින්න ඒකේ සිංදුවල තිබුණ විවිධත්වය වගේ ම මේ හාදයා වැඩසටහන මෙහෙයවපු විදියත් බලපෑවා. ඔය වැඩසටහන්වලට එක එක විදියේ උදවිය කෝල් කරනවනේ. ඒ අයත් එක්ක ගෙදර මනුස්සයෙක් වගේ ළහිරු කතාකරන්නේ. එතැනදි ව්‍යාජ අමුතු ගතියක් දැනුණේ නෑ. අද සින්දුවලත් ඒ වැඩසටහන් ඉදිරිපත් කරන අය ළඟත් ඒ ව්‍යාජ උමතු අමුතු ගතිය තියෙනවා.
7. මධූ බෝගහවත්ත
සිරස නාලිකාවේ නිමවුමක් වන දිගන්තය වැඩසටහන ඉදිරිපත් කරා මධූ කෙනෙක්. මධූ වැඩසටහන ඉදිරිපත් කළ විදිය, ඒ කටහඬ සහ ලස්සන අදටත් බොහෝ තරුණ තරුණියන්ට මතකයි. අහන්න ආසා හිතෙන, බලන්න ආසා හිතන ගීත ආයෙත් එන දවසක මධූලා ආයෙත් වැඩසටහන් පටන් ගනීවි.
Leave a Reply