“රම්බරි කියපන් උඹෙ නොම්බරේ…
තන්දුරි කමුද නොදා බර බරේ…”
කන් අඩි පුපුරන තරමට සද්දෙන් දාපු සින්දුවේ තාලෙට කොල්ලො කෙල්ලො සෙට් එකම පිස්සුවෙන් වගේ නටනවා.
“ඒ නිතූ… නටන්නෙ නැද්ද බං…? වරෙන්කෝ…”
මේකිගෙන් නම් බේරෙනවා බොරු. හති දමාගෙන දුවගෙන එන අමායා දෙස බලමින් නිතාරා හිතුවා.
ඇය නිතාරා පහන්දි විජේසේකර. මහා ලොකුවටම නැතත් තරමක වත්පොහොසත්කම් ඇති පවුලක බාල දියණිය. ඇයට වැඩිමහල් අක්කලා දෙන්නම විවාහ වෙලා දරු මල්ලොත් එක්ක පදිංචිය වෙනම. ගෙදර හුරතලී නිතූ… දෙවෙනි අක්කටත් වඩා අවුරුදු නවයක්ම බාල නිතූ අම්මලාගෙ ආදරේ වැඩිපුර විඳින්න, වැඩිපුර හුරතල් වෙන්න වාසනාවන්ත වෙච්ච එකේ පුදුමයකුත් නැහැ. විජේසේකර පවුලෙ දෙන්න දෙමහල්ලො කියන්නෙ ගෙදරට වාසනාව ආවෙ නිතූ එක්ක කියල. තාත්තගෙ බිස්නස් මේ තරමට දියුණු වුණේ නිතූ හම්බුනාට පස්සෙ කියල අම්මගෙ විතරක් නෙමෙයි, තාත්තම්මගෙ කටිනුත් නිතරම ඇහෙන එක නිතූට දැන් පුරුද්දට ගිහින්. ඇත්තටම ඇය වැඩිමහල් සහෝදරියෝ දෙන්නටම වඩා රූපයෙනුත් තරමක් ඉදිරියෙන් ඉන්නවා. අගනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක ඉගෙනගත්ත නිතූ වාණිජ අංශයෙන් උසස්පෙළ කළේ ජයවර්ධනපුර යුනිවර්සිටි එක ගැන හීන මව මව. කැම්පස් යන්න තරම් හොඳ රිසල්ට්ස් තිබ්බත් තාත්තගෙ කැමැත්තට නිතූ යන්න හිටපු පාර වෙනස් කළා. තාත්තගෙ කැමැත්තටත් වඩා ගෙදරම අත්දැකීම් එක්ක ඔහු දුන්න උපදෙස් නිසා. නිතූගෙ දෙවෙනි අක්කා, ගෙදරට පොඩී, ගවර්න්මන්ට් යුනිවර්සිටි ගිහිල්ල අවුරුදු ගාණක් නාස්ති වුණා කියල තාත්ත නිතරම පසුතැවුණා. ඉතින් නිතූ සම්බන්ධව තාත්තගෙ අදහස වුණේ රජයේ විශ්වවිද්‍යාලයක ලොකු කාලයක් ගෙවන එක අපරාදයක් කියලයි. තාත්තට ඕන උනේ චූටි දුවව ඉක්මනින් ගමනක් යන්න පුළුවන් පාරකට යොමු කරන්න. ඒ අනුව තමයි අගනුවර ප්‍රසිද්ධම පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණ උපාධියක් හදාරන්න නිතාරා ලියාපදිංචි වෙන්නේ.
කැම්පස් එකේ යාළුවො හැමෝම නිතාරට කතා කළේ නිතූ කියල. ගෙදරට නිතූ කියන නමත් ඉඳලා හිටලා ආදරේ වැඩිම වුණ වෙලාවක චූටි කියන නමත් පාවිච්චි වුණා. නිතාරා කවුරුත් එක්ක හොඳින් ඉන්න නිසා කොතනට ගියත් නිතූ කියන නම ඇහෙනවම තමයි.
අද යුනිවර්සිටි එකේ කාර් වොශ් එක. කොල්ලො කෙල්ලො හරි උනන්දුයි බාහිර වැඩ වලට. කැන්සර් හොස්පිටල් එකට ආධාර කරන්න ෆන්ඩ් එකක් රේස් කරමු කියන අදහස ආවෙ නිතූලගෙම බැච් එකෙන්. තව බැචස් කිහිපයක කට්ටිය සෙට් කරගෙන අද මේ තියපු මුල්ම පියවර අති සාර්ථකයි. හිතුවට වඩා ලොකු ගානක් කාර් වොශ් එකෙන් එකතු උනා. සතුටට සෙට් එකම ඉවක් බවක් නැතුව නටනවා.
“මහන්සී අමා…” අමායා ලඟට එන්න කලින්ම නිතූ කෑගහල කිව්වා. “මං ටිකකින් එන්නම්…”
නිතූ පැත්තකට වුණේ මහන්සියටම විතරක්මත් නෙමෙයි.
“මේ යක්සය කොහේ ගිහින්ද මන්දා..” ජංගම දුරකථන තිරය මත පේන විමංගගේ අංකය දිහා බලාගෙන නිතාරා හිතුවා. මේ ඔහුට ගන්නා හතරවන ඇමතුම. තරහින් ෆෝන් එක සාක්කුවට දාගත්ත නිතාරා ආපස්සට හැරුණේ ආයෙමත් නැටුමට සෙට් වෙන්න හිතාගෙන.
“ඒ… එපා එපා…” කියල කෑගහන සද්දයක් එක්කම ක්ෂණිකව ආපු වතුර පාරකින් නිතාරා නෑවිලා ගියා.
වතුරට බොඳ වුණ ඇස් අරිනකොටම ඉස්සරහට දුවගෙන ආවෙ විමංග.
“ඒ… නිතූ…” ඔලුවෙ අතගහගෙන ඉන්න විමංග දැක්කම නිතාරට බනින්නද, අඬන්නද, හිනාවෙන්නද කියල හිතන්නත් පොඩි වෙලාවක් ගියා.
“අඩෝ අඩෝ.. උඹේ කෑල්ලද? කියන්න එපැයි බං. සොරි නංගි” ඒ පස්සෙන් ආපු සෙට් එකේ කොල්ලෙක්. දැකල පුරුදු නැති නිසාම ඒ වෙන බැච් එකක පිරිමි ළමයෙක් වෙන්න ඇති කියල නිතාරා හිතුවා. කොල්ලො ෆන් එකට කරපු වැඩක් නිසා නිතාරට තරහ ගියේනම් නැහැ. ඒත් මේ තෙමිච්ච ඇඳුම් එක්ක කැබ් එකක යන එකනම් කරන්න බැහැ කියලා ඇයට හිතුණා.
“මොකද මනුස්සයො ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නැත්තෙ?”
නිතාරා ඇහුවෙ මවාගත්ත තරහකින්.
ඇහුනෙ නෑ නිතූ… මුන් මේ පිස්සුවක් නටන්න තියාගත්තනෙ. මේ ඔයා හොඳටම තෙමිලනෙ බබා…”
විමංග උතුර දකුණ මාරුවෙලා වගේ ඔළුවෙ අත ගහගෙන කල්පනා කරනවා.
“තෙමිල තමා… දෙන්න ඕන දෙකක්… මේ… මෙහෙම ගෙදර යන්න බෑ. මාව ඩ්‍රොප් කරන්න වෙයි”. තවමත් ඔරවගත්ත මූණෙන්ම නිතාරා කිව්වා.
“හරි හරි.. කාර් එකේ ආවෙ. ඒකනම් පුළුවන්. අම්මට කිව්වද?”
විමංගගෙත් නිතූගෙත් සම්බන්ධය ගැන ගෙවල් දෙකෙන්ම ලාවට දැනගෙන හිටියා. කොහොමටත් නිතූ ගෙදරට හරිම හිතවත් දරුවෙක් නිසා මේ සම්බන්ධය අම්මලාගෙන් හංඟගෙන ගොඩක් කල් ඇදගෙන යන්න උවමනාවක් නිතාරට තිබුණේ නැහැ. විමංගගෙත් තාත්ත නම් නිතාරට උඩින්ම කැමැතියි. ඒත් විමංගගේ අම්ම ටිකක් විතර නිතාර ගැන අකමැත්තක් පෙන්නුවා. “එයා ගැන ගණන් ගන්න එපා නිතූ. අප්පච්චිට හා නම් මට එච්චරයි… අම්මට වඩා මම ලඟ අප්පච්චිට” විමංග දැරුවේ එහෙම මතයක්.
“තාම නැහැ… මම දැන් කියන්නම්. කළුවර වෙන්න කලින් යමු විමංග. මේ තෙත පිටින් ඉන්නත් බෑ දැන්..”
“හරි බබා… මටත් මහන්සියි. මම අරුන්ට කියල එන්නම්. ඔයත් කට්ටියට කියල එන්නකො”
ඊළඟ සතියට…
2 වැනි කොටස මෙතනින් කියවන්න
Leave a Reply