එකම සිංදුවකින් විතරක් හිට්වුණු ගායක ගායිකාවෝ – 4 කොට​ස

ඔබට මතක ඇති ඇති මීට ටික කාලයකට කලින් එකම සිංදුවකින් විතරක් හිට් වුණු ගායක ගායිකාවෝ ලිපිමාලාවේ කොටස් තුනක් අපි ඔබ වෙත ගෙන ආවා. ඒ ලිපි මාලාව පාඨකයන් තුළ වගේම ඒ ලිපි මාලාවේ නම්කර තිබූ ගායක ගායිකාවන් අතරත් බරපතළ මට්ටමේ කැළඹීමක් ඇති කළ බව රහසක් නෙමෙයි. සමහර ගායක ගායිකාවෝ තමන් පිළිබඳව මතකය අලුත් කිරීම ගැන ස්තූතිවන්ත වන අතරෙදි තවත් සමහරු ඊට තමන්ගේ කාරුණික විරෝධය පළ කළා. ඒ අයගේ අදහස් දැක්වීම්වලටත් ලයිෆි අපි ඉඩ දුන්නා. ඒ නිසා ටික කාලයක් නිහඬව ඉඳලා මේ ලිපි මාලාවේ හතරවෙනි කොටස ලියන්න අපි තීරණය කළා.

 

එකම සිංදුවකින් විතරක් හිට්වුණු ගායක ගායිකාවෝ

එකම සිංදුවකින් විතරක් හිට් වුණු ගායක ගායිකාවෝ – 2 කොට​ස

එකම සිංදුවකින් විතරක් හිට්වුණු ගායක ගායිකාවෝ – 3 කොට​ස

 

 

1. සමන් ජයනාත් ජිනදාස

මේ ලිපි පෙළට සමන්ව ඇතුළත් කරනවද නැද්ද කියලා දීර්ඝ වශයෙන් කල්පනා කරලා තමයි අවසානයේදී නම ඇතුළත් කරන්න තීරණය කළේ. කාලයක් සමන් ලංකාවේ ජනප්‍රියතම ගායකයා වෙලා හිටියා කියලා කිව්වොත් ඒ මතයට කවුරුවත් විරුද්ධ වෙන එකක් නැහැ. හේතුව තමයි සමන් ගායනා කළ කරපු “තුමුළ නමුණුකුල ගිරිහිස” ගීතය ලබා ගත්ත අසීමිත ජනප්‍රසාදය. ඒ කාලයේදීම  සමන් ගායනා කළ “ගාන තෙල් සඳුන් වරලස”  සහ “සලාම් කියා ගෙට ගොඩ වෙන” ආදී ගීත ජනප්‍රිය වුණත් පළමු ගීතය තරම් ඒවා ජනප්‍රිය වුණේ නැහැ. සමන් විදේශගත වීමත් එක්ක රසිකයින්ට ඔහු ගැන අහන්න ලැබුණේ අඩුවෙන්. ඔහු ඉන්පසුව නිර්මාණ කීපයක්ම කළත් කලින් සඳහන් කළා වගේම උමා සිංදුව කියන අනවර්ථ නාමයෙන් රසිකයෝ හඳුන්වපු “තුමුළ නමුණුකුල ගිරි හිස” තරම් ජනප්‍රිය වුණේ නැහැ.

 

 

 

2. මිලාන් රොද්‍රිගෝ 

කාලයක් ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්ව පැවතුණු බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරපු මිලාන් රොද්‍රිගෝ ගායනා කරන “සඳරේඛා හිනැහේවී” කියන්නෙ ඒ දවස්වල සෑහෙන්න මිනිස්සු ප්‍රිය කරපු හිට් එකක්. හැබැයි ඊට පස්සෙ නම් මිලාන්ගෙන් ඒ ගීතයේ ජනප්‍රියත්වය ඉක්මවන මට්ටමේ නිර්මාණ බිහි වුණේ නැහැ.

 

 

 

3. පීටර් වෙදමුණි

අද වෙනකල් සංගීත ප්‍රසංගවල අතිශයින් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන “ගඟබඩ හිටි හේවරාළ” ගීතයේ මුල් අයිතිකරුවා ගැන ඔබ දන්නවාද? ඔහු තමයි පීටර් වෙදමුණි. ඔහු සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමඟ කරපු කැසට් පටයේ ගීත අතරින් වැඩිම ජනප්‍රියත්වයක් ලබා ගත්ත ගීතය විදිහට “ගඟබඩ හිටි හේවරාළ” ගීතය හඳුන්වන්න පුළුවන්. ඉන්පසුව ඔහු ගීත ගණනාවක් ගායනා කළත් ඒ කිසිවක් පළමු ගීතයේ ජනප්‍රියත්වය ඉක්මවීමට සමත් වුණේ නෑ.

 

 

 

4. ධම්මික ඒකනායක

මීට වසර කීපයකට කලින් උරේෂා රවිහාරි සහ තවත් ගායකයකු ගායනා කළ “හිනාවෙන්න බැරි තරමට” ගීතය විරහා ගීත වලට ප්‍රිය කරන බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම ගීතයක් බවට පත් වුණා. උරේෂා වගේම ධම්මික ඒකනායක නම් ඒ ගායන ශිල්පියා එම ගීතයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරලා තිබ්බා. කොහොම වුණත් ජනප්‍රසාදයට පත් වුණු මේ ගීතයෙන් පස්සේ ධම්මිකව වෙනත් නිර්මාණයකින් නම් අපිට මුණ ගැහුණේ නෑ.

 

 

 

5. ඩිල්ෂාන් වීරසිංහ

ඔබට මතක ඇති පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක විකාශය වු අනුත්තරා නම් වූ රේඩියෝ නාට්‍යයක ” මග බලනා” නම් තේමා ගීතය. ඒ මාලානාටකය වගේම තේමා ගීතයත් ශ්‍රාවකයන්ගේ ආකර්ෂණය දිනා ගන්න සමත් වුණා. නමුත් ඊට පස්සේ ඩිල්ෂාන් වීරසිංහ ක්ෂේත්‍රයේ ප්‍රවීණ සංගීත නිර්මාණ ශිල්පීන් සමග නිර්මාණ කීපයක් කළත්  “මග බලනා” තරම් අනෙකුත් ගීත ජනප්‍රියත්වයට පත් වුණේ නැහැ.

 

 

6. මංගලිකා තෙන්නකෝන්

ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ තුරුණු ශක්ති ගායන වැඩසටහන හරහා කරළියට පැමිණි මංගලිකා තෙන්නකෝන්, ලංකාව තුළ අතිශයින් ජනාදරයට පත් වූයේ  “පුර හඳ ළඟින්ම කඳුළු බින්දුවක් ගෙනත් තියා” ගීතය ගායනා කිරීම නිසයි. එම ගීතයේ පද රචිකාව වන දේවිකා ජයසුන්දර නම් වූ අතර සංගීතඥ විමල් දයානන්ද ඊට සංගීතය සපයලා තිබ්බා. ඉන් පසුව  මංගලිකා ප්‍රවීණයන් කිහිප දෙනෙක්ගේ ගේය පද සහ තනු නිර්මාණ වලට ගීත ගායනා කළත් ඒ කිසිවක් “පුර හඳ ළඟින්ම” තරම් ජනාදරයට පත් වූයේ නැහැ.

 

 

 

7. සුමිත් ප්‍රියංකර

මේරියන්ස් සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පියා විදිහට කටයුතු කරපු සුමිත් ප්‍රියංකර ගායනා කළ “නදී තරංගා” ගීතය රසිකයන් අතර ජනප්‍රිය වීමට වැඩි කාලයක් ගත වුණේ නෑ. ඉන් පසුව ඔහු විසින් කැසට් පටයක් පවා නිකුත් කළත් පළමු ගීතයට සාපේක්ෂව අනෙකුත් නිර්මාණවලට එතරම් රසික ආකර්ෂණයක් නොලැබීම පුදුමයට කරුණක්.

 

 

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපි මාලාවට එකතු වෙන්න ඕන තවත් නම් තියෙනවා නම් ඒ අය ගැන කමෙන්ට් එකකින් අපිව දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ වගේම මේ ලිපිය ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. මේ ලිපිය සකස් කරද්දි අතීතකාමය සමූහයේ සිදුවුණු සංවාදයක් බෙහෙවින් ඉවහල් වුණා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕන.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *