දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක් උත්තර තියෙනවා. සමහරු කියනවා විද්‍යාඥයෙක් වෙන්න කැමතියි කියලා. තව කෙනෙක්ට දොස්තර කෙනෙක් වෙන්න ඕන. තව කෙනෙක්ට ගගනගාමියෙක් වෙන්න ඕන. හැබැයි තව අය ඉන්නවා, වඩු වැඩ කරන්න කැමතියි කියලා කියන අය. එතකොට, චිත්‍ර ශිල්පියෙක් වෙන්න කැමැතියි කියන අය. මේ වගේ අපි පොඩි කාලේ, අපි ලොකු වෙලා කරනවා කියලා හිතන රස්සා දිහා බැලුවහම පේන එක දෙයක් තියනවා. මේ අපි කියන්නේ පුංචි ළමයි විදියට අපේ හිතේ තියෙන ෆැන්ටසි රස්සා ගැන. මේ වගේ උත්තර දෙන කාලෙදී, අපිට කිසිම අදහසක් නෑ මේ විදියේ රස්සාවක් කරන්න නම් ඕන කරන සුදුසුකම් මොනවාද කියන එක වත්. ඉතින් අර පුංචි කාලේ ගගනගාමියෙක් වෙන්න ඕන කියලා හිතපු පොඩි එකා, ලොකු වෙනකොට ජීවිතේ රියැලිටියට මුහුණ දෙන්න වෙලා, සමහර වෙලාවට බැංකු නිලධාරියෙක් විදිහට නතර වෙනවා.
හරි. අපි දැන් කතා කරන්න ඕන ඔය ෆැන්ටසි රස්සා හිතේ තියෙන පොඩි කාලේ ගැන නෙවෙයි. සාමාන්‍ය පෙල ඉවරවෙලා උසස් පෙළ කරන කාලය, සමහර වෙලාවට උසස් පෙළත් ඉවර වෙලා විශ්වවිද්‍යාලයට තේරෙන කාලය ගැන. අපි මේ කතා කරන කාලය වෙනකොටත් ඔබ ශිෂ්‍යයෙක්. හැබැයි හම්බෙන පළවෙනි රස්සාවට යන්නෙ නැතුව, තමන්ට ගැලපෙන වෘත්තීය ක්ෂේත්‍රයක් දැන්ම තියා ම තෝරා ගන්නට පුළුවන් නම්, අනාගතයේදී තමන්ට මුහුණ දෙන්නට වෙන ෆයිට් එකෙන් බාගයක් දිනලා ඉවරයි.
අන්න ඒ නිසා අපි හිතුවා, ශිෂ්‍යයෙක් විදියට තමන්ගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන උපදෙස් කිහිපයක් ලබා දෙන්න.
01. ඔබ දීර්ඝකාලීනව කරන්නට කැමති මොනවාද?
අපි රස්සාවක් කරන්නේ වසර කිහිපයකට වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවිත කාලයම එක රස්සාවක් ඉන්නවනම්, ඒ ඔය පොලිසියේ, හමුදාවේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ වගේ තැනක තමයි. හැබැයි මතක තියාගන්න, අපි මේ තෝරා ගන්නට යන්නේ රැකියාවක් නෙවෙයි, අපිට අනාගතයේ රැකියා කරන්න ගැලපෙන ක්ෂේත්‍රයක්. මේ අපි තෝරාගන්න ක්ෂේත්‍රය අවුරුදු තුනෙන් තුනට මාරු කරන්න බෑ. ඒක පොඩ්ඩක්වත් ප්‍රායෝගික කාරණයක් නෙවෙයි. අන්න ඒ නිසා, අපේ කෙටිකාලීන ආසාවන්, උනන්දු වීම්, පෙළඹවීම් වලට රැකියා ක්ෂේත්‍රයක් තෝරගෙන හරියන්නේ නෑ. අපි දීර්ඝ කාලයක් කරන්න කැමති දෙයක් තෝර ගන්න ඕන. අපි කියමු අපි තෝරගන්නේ බැංකු ක්ෂේත්‍රය කියලා. ඒකට ඇතුළාන්තයෙන්ම එන ආසාවක් තියෙන්න ඕනේ. අපි කියන්නේ පැෂන් එක කියලා. අන්න ඒක. කෙනෙක් ආස වෙන්නේ, මිනිස්සුත් එක්ක වැඩ කරන්න වෙන්න පුළුවන්. අන්න එතකොට එයාට මිනිස්සුන්ව හසුරවනවා, පරිපාලනය කරනවා වගේ රැකියාවක් ගැලපෙන්න පුළුවන්. තවත් කෙනෙක්, පුංචි කාලේ ඉඳන්ම සත්තු ගැන, ගස් කොළන් ගැන උනන්දු වෙන්න පුළුවන්. එතකොට එයාට, සත්ව විද්‍යාව නැතිනම්, කෘෂිකර්මය පැත්තෙන් ඉදිරියට යන්න ක්ෂේත්‍රයක් තෝරා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී තව දෙයක් තියෙනවා. අපි ආස කරන හැම දේකටම හැබෑ ලෝකේ පඩි ගෙවන්නේ නෑ. ඒ නිසා, අපි ආස දේවල්, අපේ හැකියාව, ඇත්ත ලෝකයේ තියෙන අවස්ථා වගේ දේවල් එක්ක බැලන්ස් කරන්නත් වෙනවා. ඒ ගැන අපි ඉස්සරහට කියනවා.
02. ඔබට පුළුවන් දේවල් ආස දේවල් එක්ක ගැලපෙනවද?
මෙන්න මේකත් වැදගත් කාරණයක්. අපි කියමු අපිට ආසාවක් තියෙනවා කියලා ගුවන් නියමුවෙක් වෙන්න. හැබැයි අපිට උසස් තැන් වලට යන්න බයක් එහෙම තියෙනවනම් ඒ වැඩේ හරියන්නෙ නෑ. අපි කියමු අපි ආසයි කියලා වෛද්‍යවරයෙක් වෙන්න. හැබැයි අපි ජීව විද්‍යාව, රසායන විද්‍යාව වගේ විෂයන් වලට සහජයෙන් ම දුර්වල නම්, අපි කොච්චර ආස වුනත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ නෑ.
මෙන්න මේ නිසා තමයි අපි මුලින්ම කිව්වෙ, ඔබේ තියෙන ෆැන්ටසි රැකියාව ගැන නෙවෙයි අපි කතා කරන්නේ කියලා. ඇත්තටම ඔබ දීර්ඝ කාලිනව කරන්න කැමති වෙන, ඔබට හැකියාවකුත් තියෙන ක්ෂේත්‍රය තමයි මෙතැනදී තෝරගන්න ඕන. මේ හැකියාව කියන දේ උපතින් එන්න ඕන නැහැ. අපි කියමු අපි තීරණය කරනවා අපි මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතියි කියලා. එතකොට ඔබට මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයන් වලට ලැදියාවක් තියෙනවා නම් ඒ ඇති. ඊට පස්සේ තියෙන්නෙ ඒ විෂයයන් තෝරගෙන ඉගෙන ගන්න.
ඕනම නම් මේ කරුණ අපිට ස්වොට් ඇනැලිසිස් එකක් (SWOT analysis) කරලත් ගොඩ දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබේ ප්‍රබලතාවයන් (strengths), දුබලතාවයන් (weaknesses), ඔබට තියන අවස්ථාවන් (opportunities), සහ ඔබට තියෙන තර්ජනයන් (threats) වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නා එක. අන්න එතකොට, අපිට තවත් සවිබල ගන්වා ගන්න ඕන අපේ ප්‍රබලතාවයන්, පිළිසකර කරගත යුතු අපේ දුබලතාවයන්, ග්‍රහණය කරගත යුතු අවස්ථාවන්, සහ ප්‍රවේශම් විය යුතු තර්ජනයන් හඳුනාගන්නට පුළුවන්. ඒ තොරතුරු ආශ්‍රයෙන් ඔබට ඔබගේ අනාගත රැකියා ක්ෂේත්‍රය නිර්ණය කර ගන්නට පුළුවන්.
03. ඔබ ගැනම සිතා බලන්නට කාරණා කීපයක්
උඩ කාරණා දෙකත් එක්ක සම්බන්ධයි මේ කාරණාවත්. ඒ වගේම පහල කියලා තියන 04 කාරණාවටත් මේක සම්බන්ධ වෙනවා. අපි අපෙන්ම ප්‍රශ්න කීපයක් අහලා බලමු.
ඔබේ ඉගෙන ගන්නට වැඩිපුරම ආශා කරන්නේ මොන දේවල් ද? ඔබ වැඩියෙන්ම කාලය ගත කරන්නට කැමති කුමක් කරමින් ද? ඔබ කැමති අතපය වෙහෙසා වැඩ කරන්නට ද, නැතිනම් මනස වෙහෙසා වැඩ කරන්නට ද?
ඊළඟට අහන ප්‍රශ්න ටික අදාල වෙන්නේ පහළ කතාකරන පොයින්ට් එකට. ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් දේවල් මොනවාද? ඔබේ ජීවිතයේ ප්‍රමුඛතාවයන් මොනවාද?
හරි මේ ප්‍රශ්න ටිකට පිළිතුරු හොයාගෙන ඊළඟ පොයින්ට් එකට යමු.
04. ඔබේ උවමනා එපාකම් ගැන ප්‍රශ්න කිහිපයක්
මෙතැනදී ඔබ හිතන්න ඕන, අපි දැන් ඉස්සරහට කියන කාරණා ගැන ඔබේ අදහස මොකක්ද කියලා. එතකොට ඒ තොරතුරු සහ, උඩ ප්‍රශ්නවලට අපි පිළිතුරු හැටියට හොයාගත්ත තොරතුරු එකතු කරලා අපිට සාර්ථක තීරණයක් ගන්නට හැකියාව ලැබෙනවා.
ඔබට අවශ්‍ය වන්නේ පඩියක් ද ලාභයක් ද? ඔබ රැකියාවක් සමගින් බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ මොනවාද? ඔබ තවත් අයකු යටතේ වැඩ කරන්නට කැමති ද, නැතිනම් ඔබ යටතේ වෙනත් අය වැඩ කරනු දකින්නට කැමතිද, එහෙමත් නැතිනම් ඔබ තනියෙන් වැඩ කරන්න කැමතිද? ඔබේ වෘත්තීයේ වර්ධනය ඔබ බලාපොරොත්තු වෙන්නේ කොයි ආකාරයෙන්ද?
දැන් මේ තොරතුරු ඔක්කොම එකතු කළාට පස්සේ, ඔබට හිතාගන්න පුළුවන් ඔබ කොයි ආකාරයේ මනුෂ්‍යයෙක් ද, ඔබට ගැලපෙන්නේ කොයි ආකාරයේ ක්ෂේත්‍රයක් ද කියලා. අපි කියමු ඔබ සාර්ථකත්වය විදිහට දකින්නේ, හොඳ ආදායමක් ලැබෙන ඔබේම ව්‍යාපාරයක් දියුණු කිරීම කියලා. එහෙමනම්, ඔබ ව්‍යාපාර කළමනාකරණය ගැනත් ඉගෙන ගන්න ඕන. එහෙම නැත්නම් අපි කියමු, ඔබ සාර්ථකත්වය විදිහට දකින්නේ, රැකියා සුරක්ෂිතභාවය තියෙන, මාසය අවසානයේ අතට පඩියක් ලැබෙන රැකියාවක් කියලා. එහෙමනම් ඔබ ඒ පාරෙ යන්න ඕන. හැබැයි ඒ තෝරාගන්නා ක්ෂේත්‍රවලත් ඔබේ පෞරුෂත්වයට ගැලපෙන වෙනස්කම් තියෙනවා. අපි කියමු ඔබ කැමති දහවල් වරුවේ විතරක් වැඩ කරලා, ඊට පස්සේ රිලැක්ස් එකේ ඉන්න තියෙන රස්සාවකට. එහෙම නම් ඔබට හෙද සේවය, වෙද සේවය වගේ දෙයක් හරියන්නේ නෑ. ඔබ කාගෙවත් යටතේ වැඩ කරන්නේ නැතුව, ඔබ තනියෙන් වැඩ කරන්නට කැමති කෙනෙක් නම්, ඔබට හොඳින්ම ගැළපෙන්නේ ෆ්‍රී ලාන්සින් වගේ දෙයක්.
දැන් ඒ විදිහට තමන් කරන්නට කැමති, තමන්ට කරන්න පුලුවන්, වෘත්තීය මොඩ්ල් එක හිතා ගත්තට පස්සේ, අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් තියෙන රැකියා ක්ෂේත්‍රයන් ගැන හොයා බලන්න.
05. දැන් මේ ගැන රිසර්ච් එකක් කරන්න වෙලාව හරි
මෙතනදී අපි හොයා බලන්න ඕන, උඩ අපි හොයාගත්ත විදියට අපේ විදියට ගැලපෙන, අපේ පෞරුෂත්වයටත් ගැලපෙන රැකියාවන් හෝ ව්‍යාපාරයන් හෝ, ෆ්‍රීලාන්සින් විදියට වැඩ කරන්නට පුළුවන් අවස්ථාවන් ලෝකයේ මොනවද තියෙන්නෙ කියලා. ඒ වගේම, ඒ දේවල් වලට තියන job market එක කොහොමද කියලා. ඒකත් එක්කම ඒවලින් උපයන්න පුළුවන් කොහොමද කියලත් හොයාගන්න ඕන. ඒ කියන්නේ තමන්ට ජීවිතේට සල්ලිත් වැදගත් කියලා හිතෙනවා නම්.
මේ විදිහේ රිසර්ච් එකක් ඔබට බොහොම ලේසියෙන්ම, පැයක් දෙකක් අරගෙන, ඔබේ ස්මාර්ට් දුරකතනයෙන් වුනත් කරගන්නට පුළුවන්. එහෙම නැතිනම්, ඔබ අධ්‍යාපනය ලබන විදුහලේ හෝ, අධ්‍යාපන ආයතනයේ ඉන්න වෘත්තිය මාර්ගෝපදේශකයෙක් හමු වෙන්නත් පුළුවන්. ඒ හැරෙන්නට අදාල තැන් වලට ගිහිල්ලා කතා කරලා බලලා හොයාගන්න ප්‍රායෝගික තොරතුරුත් මේ වගේ රිසර්ච් එකකට වැදගත් වෙනවා. තමන් හිතන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රාමාණිකයන්ගෙන් ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් එහෙම මෙතැනදී වැදගත්. ඒ ගැන අපි ඉස්සරහට කියනවා.
දැන් ඔය රිසර්ච් එක කරන ගමන්ම, පොඩ්ඩක් හොයලා බලන්න, අද කාලේ රැකියාවකට හෝ තමන්ගේම දේකට අවශ්‍ය වෙන සොෆ්ට් ස්කිල්ස් මොනවද කියලත්. ඒවා රිසර්ච් එකට අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අන්තිමට කියන්නම්.
06. එක්ස්පර්ට් ඔපීනියන්
දැන් අපි අපේ රිසර්ච් එක ගැන කතා කරද්දිම කිව්වා, පුටුවේ වාඩි වෙලා ඉඳන් අන්තර්ජාලයෙන්ම ඔක්කොම දේවල් හොයා ගන්න යන්න එපා කියලා. සමහර දේවල් හොයන්න එළියට බහින්න ඕන. අදාළ තැන් වලට යන්න ඕන. ඒ වගේම, ඒ ඒ විෂයන් වල අත්දැකීම් පළපුරුද්ද තියෙන මිනිස්සුත් එක්ක කතා බහ කරන්නට ඕන. මොකද ගොඩක් දේවල් සම්බන්ධයෙන් පොතපතේ හරි අන්තර්ජාලයේ හරි නැති ප්‍රායෝගික තොරතුරු, ඒ සම්බන්ධයෙන් පළපුරුද්ද තියෙන මිනිස්සු ගාව තියෙනවා. හැබැයි මෙහෙම ප්‍රවීණයෙක් ගෙන් උපදෙස් ගන්න යනකොට, එක ප්‍රවීණයෙක් විතරක් කියන දේවල් අහගෙන ඒක දේව වාක්‍ය වගේ පිළිගන්න යන්නත් එපා. මොකද, එක එක මිනිස්සුන්ට, තමන්ගේ ක්ෂේත්‍රයන් වල ලැබෙන අත්දැකීම් වෙනස්. අන්න ඒ නිසා, ප්‍රවීණයන් කිහිප දෙනෙක්ගෙන් වත් තොරතුරු ලබාගන්න. දැන් ඒ තොරතුරු වලින්, ඔබට ප්‍රයෝජනවත් තොරතුරු ටික පෙරලා වෙන්කර ගන්න.
07. ප්ලෑන් එකක්
හරි දැන් අපි දන්නවා අපිට ඕන මොනවද කියලා. ඒ ඕන දේ ලබාගන්න යන්න ඕන පාර මොකක්ද කියලා දළ අදහසකුත් තියෙනවා. දැන් හදාගන්න ඕන, ඔය පාරේ සාර්ථකත්වය කරා යන්න සැලසුමක්. මේ සැලසුම හදන්න ඕන දැන් ඔබ ඉන්න තැන ඉඳන්, ඔබට අවුරුදු දහයකින් හෝ විස්සකින් ඉන්නට අවශ්‍ය වෙන තැන දක්වා රෝඩ් මැප් එකක් විදියට. ඒ කියන්නේ මේ සැලසුමේ ඔබ කරන්න ඕන දේවල්වලට නිශ්චිත කාලයකුත් තියෙන්න ඕන. ටයිම් ෆ්‍රේම් එකක්.
උදාහරණයක් විදිහට අපි කියමු, ඔබේ සිහිනය වෙන්නේ, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් දක්වා ඉහලට යන්න කියලා. එතකොට ඔබ තීරණය කරනවා ඔබට ඒ ගමන යන්නට ඕන කරන්නේ, ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයෙන් කියලා. දැන් එහෙමනම්, ඔබ තීරණය කරන්නට ඕන, ඔබ උසස් පෙළට තෝරාගන්නා විෂයන් මොනවාද, ඔබ සරසවි අධ්‍යාපනය සඳහා තෝරාගන්නා විෂයන් මොනවාද, විශ්වවිද්‍යාලයට ගිහින් පළවෙනි උපාධිය ගත්තට පස්සේ, පශ්චාත් උපාධියක් කරන්නේ මොන කාලෙද, ඉන්පස්සෙ ඔබ තෝරා ගත්ත විෂය ඇතුළේ ඔබට ප්‍රවීණත්වයක් ලැබෙන්නට තවත් ඉගෙන ගත යුතු දේවල් මොනවද, ඔබ ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා වගේ දේවල් කරන්න ඕන කොයි කාලෙදිද, මේ කාලය ඇතුළත විශ්ව විද්‍යාලයක දේශක තනතුරක් ලබා ගන්නට නම් ඔබ සපුරා තිබිය යුතු සුදුසුකම් හදාගන්නෙ කොහොමද, ඒ වගේ රැකියාවකට අවශ්‍ය වෙන සොෆ්ට් ස්කිල්ස් මොනවාද, අවසානයේ දී ආචාර්ය උපාධියක් සම්පූර්ණ කරන්නට බලාපොරොත්තු වෙන්නේ කොයි කාලයේදීද, ඉන්පසුව ඔබ දිගටම ආචාර්ය වරයෙක් විදියට කටයුතු කරන්නේ කකොපමණ කාලයක් ද කියන දේවල්. මේ කියන හැම තොරතුරක්ම, උඩ අපි කියලා තියෙන විදිහට අපේ රිසර්ච් එකෙන් සහ මේ සම්බන්ධයෙන් ප්‍රවීණත්වය තියෙන අයගේ උපදෙස් අනුව හොයාගන්නට පුළුවන්. දැන් ඒ අනුව අපේ සැලසුම නිර්මාණය කිරීම තමයි තියෙන්නේ. සැලසුම නිර්මාණය කරනකොටත්, ඒ ගැන අදාළ ප්‍රවීණයන්ගෙන් අපිට ගුරුහරුකම් ලබා ගන්නට පුළුවන්. දැන් එතනින් ඔක්කොම හරිද?
නෑ. ඔක්කොම හරි නෑ. දැන් අපි, ශිෂ්‍යයෝ විදිහට අපේ අනාගත වෘත්තීය තෝරගෙන, ඒ ගැන කරුණු කාරණාත් හොයාගෙන, ඒකට හොඳ සැලසුමකුත් නිර්මාණය කරලයි තියෙන්නේ. හැබැයි ඒ මදි. ඊළඟට තමන්ට ස්වයං විනයක් තියෙන්න ඕන, මේ සැලසුම අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ක්‍රියාත්මක කරන්නට. කිසිම දෙයක් හෙටට කල් නොදා අද පටන් ගන්නට ඕන. එච්චරයි.
Leave a Reply