පන්සල් ගිහින් ආපු නිතාරා කල්පනා කළෙත් විමංගයි එයාගෙ අප්පච්චියි ගැන. අප්පච්චි ගෙදරටම එද්දි නිතාරට බය හිතුනෙ නැතුවම නෙමෙයි. ඒත් ඒක එහෙම වුණ එක හොඳයි කියල ඇයට හිතුණා. විමංගගෙ අප්පච්චි ගෙදර ඇවිල්ල නිතාරගේ දෙමව්පියන් හමුවුණු කතාව තාමත් මේ තරුණ ජෝඩුව දන්නෙ නැහැ. ගෙවල් වලට හොරෙන් කට්ටි පැන පැන ලව් කරන එක හිතට මහ වදයක් බව නිතාරා හිතුවා. විමංගගෙත්, නිතාරාගෙත් යාළුකම ආදරේකට පෙරලුණ මුල් දවස්වල ඉඳලම ඒ බර ඇගේ ඔළුවෙ තිබ්බා. ඒත් දුවල තුන්දෙනාට පණ ඇරල ආදරේ වුණාට නිතාරගේ තාත්ත ටිකක් තද මනුස්සයෙක්. තාත්තනම් කිව්වෙ එහෙම නැතුව කෙල්ලො තුන්දෙනෙක් මෙච්චර ලස්සනට හදන්න බෑ කියලයි. ලොකු අක්කගෙ මුල්ම අෆෙයාර් එක ගැන ගෙදරට අහුවෙලා අක්ක ගුටිකාපු හැටි නිතාරට තාමත් මතකයි. ඒ දවස්වල නිතාර හුඟක් පුංචි වුණත් ඒ බෝයිගෙ යාළුවො සෙට් එකක්ම තාත්ත එක්ක රණ්ඩුවට ආපු බවත්, තාත්තට ගහපු බවත් ලොකු අක්කා අඬ අඬ මද්දු අක්කට කියපු හැටි නිතාරට මතකයි. තාත්තගෙ අනාවැකිවල හැටියටම ඒ සම්බන්ධෙට ආයුෂ තිබ්බෙත් එච්චරයි.
එහෙම ප්‍රශ්න වලට නිතාරා කොහොමත් අකමැතියි. විමංගගෙන් එහෙම ප්‍රශ්නයක් නොවෙනව කියල තිබ්බ විශ්වාසය තමයි නිතාරට තිබුණ එකම සැනසීම. ඒත් තාත්තා මොනව කියයිද කියන බය කෙල්ලගෙ හිතේ තිබුණා. ඒකමයි විමංගටම මුලදිම ඇවිල්ල තාත්තා එක්ක කතා කරන්න කියල නිතාරා කිව්වෙ. එහෙමම නිතාරගේ මතකට අතීතයට ගියා.
විමංගයි නිතාරයි මුලින්ම අඳුරගත්තෙ ක්ලාස් එකේ මුල්ම දවසේ කරපු ටීම් වර්ක් එකකදී. එක එක පාසල් වලින්, නගර වලින් ආපු ළමයි එකට අවුරුදු හතරක් වැඩ කරන්න ඕන නිසා එකිනෙකා හඳුනාගන්න කියල ටීම්ස් බෙදුවෙ මුල්ම ලෙක්චර් එකට ආපු ප්‍රොෆෙසර්. ඔන්න කරුමෙටදෝ වාසනාවටදෝ විමංග වැටුනෙ නිතාරගෙම ටීම් එකට. එදානම් නම ගම ඇහුවට එහා ලොකු කතාවක් එයාලගෙ අතරේ වුණේ නැහැ. ඒත් ක්ලාස් එකේ ටීම් වර්ක් වලදී ඒ ටීම් එක ආයෙ ආයෙ එකතු වෙද්දි දෙන්න අතරේ යාළුකම ටිකක් වැඩිවුණා. වට්සැප් ගෲප් චැට් එකේ විමංග වැඩිපුර එල්ලි එල්ලි වලියට ආවෙ නිතාරා එක්ක. පස්සෙ කාලෙක ඇහුවම විමංග කිව්වෙ නිතාරා ලස්සනට ෆැක්ට්ස් එක්ක ආගියු කරන හැටියට ආස නිසාම එයා එක්ක වැඩිපුර වාද කරපු බවයි.
කට්ටිය ගෲප් අසයින්මන්ට් වැඩ වලට එහෙම එකතු වෙද්දි ඒ යාළුකම තව තව වැඩිවුණා. නිතාරට විමංගව තනියම හම්බුණ මුල්ම දවස කෙල්ලට තාමත් මතකයි. ඒ ලයිබ්‍රි එකේදි. එදා බැච් එකෙන්ම ලයිබ්‍රි ඇවිත් හිටියෙ ඒ දෙන්නම විතරයි. ලයිබ්‍රි එක ඇතුළෙ ඇල්පෙනිත්තක් බිම වැටෙන තරමට තිබුණ නිශ්ශබ්දතාවය බිඳිමින් විමංග ටක් ටක් ගාල පෑනෙන් මේසෙට තට්ටු කරල නිතාරට කතා කලා. නිතාරා උඩ බැලුවෙ ටික තරහින් ඔරවලා. “පොඩ්ඩක් එලියට එන්නකෝ” විමංග ඇස්, කන්, අත් ඔක්කොම පාවිච්චි කරල අභිනයෙන් කියල එතනින් නැගිටල දොරත් ඇරගෙන එළියට ගියෙ නිතාරට බෑ කියන්නවත් වෙලාවක් නොතියා. ඊට පිටිපස්සෙන් දොරත් ඇරගෙන එළියට ගිය නිතාරා මුලින්ම කලේ විමංගගේ ඇඟට කඩන් පැනපු එක.
“මොන කරදරයක්ද මන්දා.”
“හෝව් හෝව්… කරදරයක් වෙලා තමයි. අනේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්නකො මචී කෝල් එකක් ගන්න. මගේ එකේ ක්‍රෙඩිට් නෑ. අසරණ වෙලා බං ඉන්නෙ” ඒ කියපු අසරණ විදිහට නිතාරට හිනා නොවී ඉන්න බැරිවුණා.
“ඉන්න මං ඒක එළියට ගෙනාවෙ නෑ”. ඇතුළට ගියපු නිතාර ආයෙත් ෆෝන් එක අරන් එළියට ඇවිත් විමංග අතට දුන්නා.
“රවිඳුගෙ නම්බර් එක තියෙනවද?” ඒ විමංග
“ඔව් ඇති. බලන්න”
එහෙමම නම්බර් එක හොයල ඩයල් කරපු විමංග ෆෝන් එක කනේ තියාගත්තා.
“ඕයි ඔටුවො. එන්නෙ නැද්ද බං?”
“අඩෝ පිස්සු කෙලින්න එපා. මම පට්ට අමාරුවක වැටිලා. උඹ සිරාවටද ඔය කියන්නෙ?”
“ආහ් හරි හරි. ඔතන වැඩේ බලපන්කො. මම මොනාහරි කරගන්නම්”
අවධානයෙන් අහගෙන නොහිටියට මේ පැත්තෙන් කියපු හැමදේම නිතාරට ඇහුණා. විමංග ආපහු ෆෝන් එක නිතාර අතට දුන්නෙත් සෑහෙන්න අවුල් මුහුණකින්.
“ඇයි මොකක්ද ප්‍රශ්නෙ”
“හ්ම්…” කල්පනා කරමින්ම විමංග නිතාරගෙ පැත්තට හැරුණා.
“මොකක්ද අවුල”
“රවිඳු එන්නෙ නැහැලුනෙ”
“ඉතින්”
“කිතුල්… මම අසරණ වෙලා ඉතින්”
“ඒක තමා වදේ ඇහුවෙ මොකක්ද වුණේ කියල” නිතාර හිනාවෙමින් ඇහුවා.
“යංකො කැන්ටීන් එක පැත්තට” දැන් මට ඇතුළට යන්නත් මූඩ් එකක් නෑ.
“අහ් හරි වැඩක්නෙ යකෝ. ඔයාට මූඩ් නෑ කියල මමත් පාඩම් නොකර ඉන්න ඕනෙද.”
“නෑ නෑ බං. වෙන දන්න කියන ප්‍රාණියෙකුත් නැති එකේ පොඩ්ඩක් මට මේක විසඳල දීපන්”
“හ්ම් යංකෝ… ඉතින් කියන්නකෝ” යන ගමන්ම නිතාර ඇහුවා.
“මේකයි සීන් එක. අද මාව ඩ්‍රොප් කළේ අප්පච්චි. මම පර්ස් එක ගෙනල්ලත් නෑ. ෆෝන් එකේ සල්ලිත් නෑ. රවිඳුව එන නිසා මම ගැම්මෙන් හිටියා. දැන් බලද්දි ඌ එන්නෙත් නෑලු. අම්මට සනීප නැතුව ඩොක්ටර් ලඟලු. ඌට එන්න කියන්නත් බෑනෙ එහෙම තත්ත්වෙක”.
“හ්ම්ම් ඉතින්…”
“ඉතින් කියන්නෙ වදේ. මට බස් එකේ යන්නවත් සල්ලි නෑ. අප්පච්චිට කෝල් කළොත් එයා වැඩ අතරෙ මාව ගන්න එන්න ඕන. කරදරයිනෙ.”
මේ කොල්ලා ටිකක් ලොකුවට කියවනවා වැඩිද කියලත් නිතාරට හිතුණා.
“දැන් සල්ලිද ප්‍රශ්නෙ? හරි ඉතින් මම දෙන්නම්. ඔයාට බස් එකට රුපියක් සීයකට දෙසීයකට වඩා යන්නෙ නෑ නේද?” නිතාරා එහෙම ඇහුවා.
“නෑ නෑ. රුපියල් 20යි. එතනින් ටුක් එකට 60යි” විමංග හයියෙන් හිනාවෙමින් කිව්ව.
“ලොකු උදව්වක් නිතූ. මම මේ කෙල්ලෙක්ගෙන් උදව්වක් ගන්නවමයි.”
“උදව් ගනිද්දි ලිංගභේදය හොයන්න එපා විමංග. උදව් ගන්න සුදුසු පුද්ගලයෙක්ද නැද්ද කියල හොයල බලන්න” නිතාරා එදා කතාව අවසන් කළේ එහෙම පණ්ඩිත උපදෙසකුත් දෙන ගමන්.
මම වැඩියෙන්ම ආසකලේ ඔයාගෙ පණ්ඩිතකමට නිතූ. ඒක නිකං වචනෙන් පණ්ඩිතකම කිව්වට ඔයා හරි කෙලින් කෙල්ලෙක්. අනිත් සාමාන්‍ය කෙල්ලො ලඟ නොදකින ලොකු පෞරුෂයක් මම ඔයාගෙන් දැක්කා. ඇත්තටම කොල්ලො ඒකට බයයි. ඒත් මං ආසයි බයයි. පස්සෙ දවසක විමංග හයියෙන් හිනාවෙමින් ඒ ගැන කිව්වෙ එහෙම.
ඊළඟ සතියට…
Leave a Reply