හැමෝම එක්ක හිනාවෙලා හිටියට නිතූ ඇත්තටම හිටියෙ හිතේ බයෙන්. අමා ගියා ගියාමයි තාම කෝල් එකක්වත් නැහැ.
“නිතූ… කට්ටිය හවස ලෙක්චර්ස් යනවලු. මට කම්මැලී. යමුද අපි බීච් එක පැත්තෙ” ඒ විමංගගේ හඬ.
“අනේ පිස්සුද විමංග? මම මේ ඔළුව ගිණි අරන් ඉන්නව. අමාගෙන් තාම කෝල් එකක් නෑ” නිතාරා නොරිස්සුමක් එක්කම පිළිතුරු දුන්නා.
“ඉතින් ඔයා අමාට අරගෙන බැලුවෙ නැද්ද?”
“නෑ. එහෙම කමක් නැද්ද දන්නෑ කියල හිතුණ විමංග”
“අරන් බලන්න අනේ” විමංග කිව්වෙ බොහොම සැහැල්ලුවෙන්.
විමංග කියපු නිසාම ජංගම දුරකථනය අතට අරගෙන අමාගෙ අංකය ඩයල් කරල කණේ තියාගන්නකොටම අමා එහා පැත්තෙන් ආන්ස්වර් කරලත් ඉවරයි.
“අනේ නිතූ… මට උඹට ගන්න බැරිවුණා. මේ ෆෝන් එක අතට ගත්තෙ දැන්”
“මොකක්ද අමා වෙලා තියෙන්නෙ? මම බයෙන් හිටියෙ උඹ හදිස්සියෙ ගිය නිසා”
“නෑ නෑ නිතූ… අවුලක් නෑ. මේ අයියල ඇවිල්ල කියන්නෙ නැතුවම. අම්ම මාවත් පුදුම කරන්නත් එක්ක ඒ බව නොකියා එන්න කියල තියෙන්නෙ. වෙන කේස් එකක් නෑ”
“අහ්… එහෙනම් කමක් නෑ. මම ඒත් බයවුණා. එහෙනම් මං තියන්නම්”
“හරි. පරිස්සමෙන් කෙල්ල… බායි”
නිතූ ලයින් එක කට් කරන ගමන් විමංග දිහා බලනකොටත් විමංග හිටියෙ හරි සැහැල්ලුවෙන් හිනාවෙමින්.
“දැන්වත් යමුද මැතිණිය?” අමා හිටියොත් නිතූ බීච් ගමනට ඇයවත් හවුල් කරගන්න නිසා අමා එක්ක එකතුවෙලා ගහපු ප්ලෑන් එක සාර්ථක වීමේ සතුටත් එක්කම විමංග ඇහුවා.
“ඔයාටනම් හිනා විමංග. මම බයවෙලා හිටියෙ”
“හරි හරි. යමු”
“හ්ම්ම්…”
“උදෙන්ම නොහිතපු විදිහට ලැබුණු පුදුමකිරීම් ගොඩක් නිසා නිතූ හිටියෙ හරිම සතුටින්. ඇයත් හිටියෙ ලෙක්චර්ස් යන මූඩ් එකකින් නෙමෙයි. ඒ නිසාම විමංගගෙ යෝජනාවට කැමති වෙලා නිතූත් බීච් ගමනට එකතු වුණා.
ක්ලාස් එකේ ළමයින්ට උත්තර බඳින්න වෙන නිසාම නිතර කාර් එකේ නොඑන විමංග අද කාර් එක අරගෙන ඇවිත් තිබුණා. දවල් කෑමටත් එක්කම බීච් එක කිට්ටුව රෙස්ටුරන්ට් එකක් තේරුවෙත් විමංගමයි.
“කාල යමු රැල්ල පාගන්න… හාද?” විමංග හිනාවෙමින් ඇහුවා
“හා… මං ආසයි රැල්ල පාගන්න…” නිතූ කිව්වෙත් හිනාවෙමින්.
නිතාරා කැමතිම කෑම අහමින් විමංග ඕඩර් කරපු දවල් කෑම කාලා දෙන්නම ගියේ බීච් එක පැත්තට.
“ඉතින්…” වෙරළ පැත්තට ඇවිදගෙන යන ගමන්ම කතාබහ ආරම්භ කරන අරමුණෙන් විමංග හඬ අවදිකළා.
“මං හරි ආසයි විමංග මුහුදට… මුහුද කියන්නෙ මගේ හිත නිවෙන තැනක්. තෑන්ක් යූ ඔයාට එක්කන් ආවට” නිතාරා කිව්වේ පුංචි ළමයෙක් වගේ.
“ඉතින් ආසයිනම් කලින් කියන්න එපැයි ළමයෝ”
“කියන්න අහන්න එපැයි මනුස්සයො” ලොකු හිනාවක් එක්කම කියපු නිතාරා ආයෙත් කල්පනාවට වැටුණා.
“අතනින් ඉඳගමුද? හිත නිවෙනවනම් ටිකක් නිදහසේ බලාගෙන ඉමු. යන්න කිට්ටු වෙලා බැරියෑ රැල්ල පාගන්න” ඒ යෝජනාව විමංගගෙන්.
“හ්ම්ම්…” තවමත් කල්පනාවේ ගිලුණු නිතාරා පිළිතුරු දුන්නේ එහෙම.
“නෑ ඇත්තමයි විමංග. මම මේ කල්පනා කලේ මට බීච් එක මඟහැරුණු හැටි. ඉස්සර අක්කලත් ගෙදර ඉන්න කාලෙ නිතර ආවට දැන්නම් කාලෙකින් ඇවිත් නෑ. අනික මම ගෙදර අය එක්ක මිසක් යාළුවෙක් එක්ක මීට කලින් මෙහෙම ඇවිත්ම නෑ. රැල්ල පාගල දඟලනවට වඩා මේකත් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් නේද?” පහසු තැනක් බලමින් ඉඳගන්න ගමන්ම නිතාරා කිව්වෙ හරි ලස්සන හිනාවකුත් එක්ක.
විමංග ඇස් පුංචි කරමින් නිතාර දිහා බලලා හිනාවකින් පිළිතුරු දුන්නා…
ටික වෙලාවක් ගෙවුණෙ නිශ්ශබ්දතාවයත් එක්කමයි. කතාබහ කොතනින් කොයි විදිහට පටන් ගන්නද කියල දෙන්නටම අවබෝධයක් නොතිබුණා වගේ. නිශ්ශබ්දතාවයට තාලයක් එකතු කරමින් වෙරළට රැල්ල හැපෙන හෝ හෝ ශබ්දය පසුබිමින් ඇහුණා.
“නිතූ… ඔයා ආසද ක්ෂිතිජයට?” අන්තිමේ විමංග නිහඬබව බිඳින්න තීරණය කරලා තිබුණා… “
“හ්ම්ම්… ?” නිතූ ප්‍රශ්නාර්ථයකින් විමංගගේ මුහුණ බැලුවේ අහපු දේ හරියට නොතේරුණා වගේ. ඔහොම හරුප ප්‍රශ්න විමංග ඉඳහිටලා අහනවම තමයි.
“නෑ මං කිව්වේ ක්ෂිතිජය. කිසිම අරමුණක් නැතිවුණත් ඔහේ බලාගෙන ඉන්න පුළුවන් නේද ඕනතරම් වෙලාවක්”
කලින්දා අමා එක්ක කතාකළ හැමදෙයක්ම ක්ෂණිකව නිතූගේ මතකයට ආවා. ලොකු සුසුමකින් පස්සේ ඇය හඬ අවදිකළා.
“නෑ විමංග. අරමුණක් නැතුව ඔහේ බලන් ඉන්න මම ආස නෑ” ඇය කිව්වේ ස්ථිර හඬකින්.
තමන්ට අවශ්‍ය කතාවට මේ තරම් ලේසියෙන් මුල පිරෙයි කියලා විමංග හිතුවෙම නැහැ. ඒ ගැන හිතින් සතුටු වෙමින් ඔහු ඈත ක්ෂිතිජය දිහා බැලුවා.
“අරමුණක් තිබුණොතින්?”
“ති..බු..නොතින්..” නිතාරා තාලයට කිව්වා. “ඒක අවිනිශ්චිතයිනෙ විමංග. උත්තරයක් දෙන්න බෑ ඉතින්” ඇය කිව්වේ සිහින් මදහසක් එක්ක. නිතාර තවමත් හිටියේ උපන්දින සැමරුමේ සතුට මුහුණෙන් පවා පේන තරමේ හැඟීමකින්. හරිම සැහැල්ලුවෙන්.
“නිශ්චිත ප්‍රශ්නයක් ඇහුවොතින්?” විමංග හෙමින් නමුත් ස්ථිර හඬකින් ඇහුවා.
නිතාරගේ හිතේ ක්ෂණිකව තිගැස්මක් ඇතිවුණා. ඒත් උත්තරයක් දෙන්න මිසක් වෙන කිසිම දෙයක් හිතන්න තරම් සන්සුන් මනසක් මේ වෙලාවේ ඇයට නැහැ. කලින් හිතේ තිබුණ සැහැල්ලුව ඇසිල්ලකින් අතුරුදහන් වුණා වගේ ඇයට දැනුණා. ඒත් ඇය ඉවසීමෙන් පිළිතුරු දුන්නා.
“ප්‍රශ්නය මොකක්ද බලන්න එපැයි ඉතින් උත්තරයක් දෙන්න”
විමංග ඈත දියඹ දිහා බලාගෙනම මද සිනහවක් නැඟුවා.
“හරි. මෙහෙම කියන්නම්කෝ… නිතූ… අරමුණක් දුන්නොතින්? බලාගෙන ඉන්න පුළුවන්ද?
“මට තේරෙන්නෑ විමංග ඔයා මොකක්ද අහන්නෙ කියලා” කවදාවත් නැතුව සීරියස් පෙනුමක් තියෙන විමංගගෙ මුහුණ දිහා බලන්න හිතේ තිබුණ බයටම ඇය ඈත දියඹ දිහා බලාගෙනම කිව්වා. මොකක් නමුත් සිද්ධවෙන බවක් තේරුණත් හිත ඇතුළේ මහ සද්දෙට බෙර ගහනවා වගේ ලොකූ කලබලයක් විතරමයි නිතාරට දැණුනේ. වෙන කිසිම දෙයක් පෙළගස්වලා හිතන්න තරම් හිත නිදහස් නැති ගතියක් ඇයට දැණුනා. හිත ඇතුළේ වෙන පෙරළිය ඇස් වලටත් දැනෙන තරම්. හේතුවක් හිතාගන්න බැරි කඳුලක් නිතූගේ ඇස් අග්ගිස්සෙන් එළියට පනින්න දඟලමින් බලාගෙන හිටියා. රැඳෙන්නත් බය, පළායන්නත් ලෝභ නුපුරුදු මොහොතක් ගතවෙමින් තියෙන බව විතරමයි ඇයට හිතන්න පුළුවන් වුණේ..
ඊළඟ සතියට…
Leave a Reply