ගෙදර ඇවිල්ලා විනාඩි දහයක් යන්න කලින් විමංගගේ ජංගම දුරකථනයේ මුහුණත නිතාරාගෙන් එන ඇමතුමක් සටහන් වුණා. අහන ප්‍රශ්න පත්තරෙයි දෙන්න වෙන උත්තරයි මතක් කරමින් සිහින් සිනහවක් එක්කමයි විමංග ෆෝන් එක ආන්ස්වර් කළේ.
“ආහ් ළමයා. දැන්ද නැගිට්ටෙ?”
“ළමයා තමයි… මොකක්ද මෝඩයෝ ඒ කරපු වැඩේ?”
පිළිතුරු විදිහට විමංගගෙන් ලැබුණේ ලොකු සිනහවක්…
“ඉස්සෙල්ල කියන්නකො දැන් සනීපද කියල” විමංග කෙලින්ම පිළිතුරු නොදී එහෙම ඇහුවා.
“හ්ම්ම්… ශේප්… උණනම් ලාවට වගේ තියෙනව. ඒත් ඇඟට අමාරු ගතිය අඩුයි වගේ. මේ මට කියන්නකො මොකක්ද වුණේ කියල. මම නිදාගෙන නැගිටිනකොට ඔක්කොම වෙලා ඉවරනෙ”
“ඒක තමා…” විමංග නැවත හිනාවක් එක්කම පිළිතුරු දුන්නා.” කොච්චර වෙලා නිදාගෙනද කියල හිතාගන්න පුළුවන් නේද?”
“ඒක තමයි මාත් කල්පනා කළේ. කැටයම් නැතුව කියනවකො මෝඩයෝ”
“කියන්න කියන්නෙ ඉතින්… මං ආවා…”
“ඒක දන්නවා අනේ. අර මොනවද කියල තියෙන්නෙ තාත්තා එක්ක? මම මේ ගෙදර වසන්න එපැයි කියල හිතුවෙ නැද්ද?” ඒ කතාවටනම් විමංග ටිකක් බයවුණා.
“අනේ ඇයි බබා? තාත්තා බැන්නද? මම ඇත්තටම එහෙම හිතාගෙනම ආව නෙමෙයි. ඔයා හිටපු ගමන් අසනීපයි කියපු නිසා මට ලෙක්චර්ස් වල ඉන්න හිතුනෙම නැහැ. ගෙදර එන්න මගටත් ආවම හිතුණා ඔයාව බලන්න එන්න. අමාගෙන් පාර අහගෙන ආවා. එද්දි ඔයා නිදි. ඉතින් මං කව්ද, ඇයි ආවෙ කියල හේතු බඳින්න කල්පනා කරද්දි ඔන්න ඔහේ කියනව කියලම හිතුවා.. අනික එදා අපාර්ට්මන්ට් එකට ගිය දවසෙ මම අප්පච්චිට ඔයා ගැන කිව්වම එයා ඔයාලගෙ ගෙදර යන්න ඕන කිව්ව. ඉතින් එයා ඇවිල්ල කියන්න කලින් මම කෙලින්ම කිව්වොත් හොඳයි කියල හිතුණ මට. සොරි. මම ඔයාගෙන් ඇහුවෙ නෑනෙ කියන්න කලින්..” විමංග කිව්වෙ ඇත්තටම පසුතැවීමෙන්.
“නෑ නෑ… හරි… තාත්ත බැන්නෙ නෑ. මටත් පුදුම හිතුණා. අම්මානම් විහිළු කළා. ඒත් තාත්තා හරි සීරියස්ව කතා කළා. කොල්ලනම් හොඳ පාටයි… ඒත් මම කියන්න ඕන ඔක්කොම කියල යැව්වෙ, එයාගෙන්ම අහගන්නකො චූටි කියල කිව්වා… මොනාද විමංග ඇත්තටම කිව්වෙ?”
“අඩේ… සිරාවට? මං හොඳ පාටයි කිව්වද? මාමණ්ඩි ශේප් නේ එහෙනම්?” විමංග සැහැල්ලු හිනාවක් එක්කම ඇහුවා.
“සමයන් නැතුව කිව්වෙ මොනවද කියනවකෝ” නිතාරාගෙ හඬේ තිබුණේ පුංචි නොරිස්සුමක්.
“කිව්ව කියන්නෙ ඉතින් අවවාද ලිස්ට් එකක් දුන්නා. කෙලින්ම කියපු එක හොඳයි කිව්වා… හැබැයි දෙන්නම තාම ඉගෙනගන්න බව අමතක කරන්න බැහැ කිව්වා… එයාලා මේ කාරණාවට කැමතී හෝ අකමැතී කියන දෙකෙන් එකක්වත් හිතාගන්න එපා කිව්වා. ඉස්සෙල්ලම දෙන්නගෙම ටාර්ගට්ස් වලට ගිහින් ඉන්න කිව්වා. තව ඔන්න ඔය වගේ ලිස්ට් එකක් කිව්ව. අපේ අප්පච්චි කියපු ටිකම තමා සාරාංශයක් ලෙස ගත්කළ. ආහ් තව ඔයා තාම චූටී කිව්වා…” විමංග අන්තිම ටික කිව්වෙ නිතාරාව අවුස්සන්න හිතාගෙන සිනහවක් එක්කමයි.
“ආහ් චූටී තමා ඉතින්…” නිතාරා හුරතල් විදිහට පිළිතුරු බැන්දා…
“ඔව් මම ඉතින් පුත්තලම් බූරුවො හැටක් විතර වයසනෙ. මට ඒත් මාමණ්ඩිගෙන් අහන්නත් හිතුණා ඇයි මට වයස කීයක් විතර පේනවද කියලා”
පිළිතුරු විදිහට නිතාර මුලින්ම හයියෙන් හිනාවුණා…
“වයසයි නේන්නම්… නැතුව චූටි එකෙක් කරන වැඩක්යෑ අද ඔය කළේ? මේ ඒක නෙමේ. දැන්ද ගෙදර ගියෙ”
“ඔව්. ඇවිල්ල විනාඩි පහළවක් නෑ තාම”
“හා එහෙනම්. ඔයා වොශ් දාල රෙස්ට් කරන්න. මම යනවා කන්න. ආයෙ බෙහෙතුත් තියෙනවා බොන්න”
“හරි බබා. පරිස්සමෙන්. දිගටම බෙඩ් රෙස්ට් කරන්න. මම රෑ වෙනකං චැට් එකක්වත් දාන්නෑ හොඳේ”
“හරි බායී…” ඊළඟට ඇහුනේ අනික් පසින් දුරකථනය විසන්ධි කරපු බීප් බීප් හඬ.
ගෙදර එනවට වඩා හිතේ සැනසීමෙන් විමංග දුරකථනය පැත්‍තකින් තිබ්බා. සතියේ දවසක දවල් වරුව නිසා අප්පච්චියි, මල්ලියි දෙන්නම කොහොමත් ගෙදර නැහැ. අම්මත් එළියට ගිය බව සුමනම්මා කියපු නිසා දවල් කෑම ගැන අහන්න විමංග කෙලින්ම කුස්සියටම ගියා.
“සුමනම්මා… ලන්ච් රෙඩීද?”
“අනේ ඔව් ලොකු බේබි… දැන් ගොඩක් වෙලා. කන්න කෙනෙක් නැතුවට මම මේ හිත හිත හිටියෙ. හොඳ වෙලාවට බේබිවත් ගෙදර ආවෙ”
“ඒකනෙ. මට තේරුණා ඔයා එහෙම හිතුවා කියලා. ඉතින් ආවා” විමංග සැහැල්ලුවෙන් හිනාවෙමින් කිව්වා. “එහෙනම් ටේබල් දාන්න ඕන නෑ. මට බත් බෙදලා තියනවද? මම වොෂ් එකක් දාගෙන එන්නම්. අපි දෙන්නම කමු”
විමංග ගෙදර කවුරුත් නැති මෙහෙම දවස්වලට සුමනම්මා එක්ක කුස්සියේ ටේබල් එකේම ඉඳගෙන කන්න පුරුදුවෙලා හිටියා. ඒ වෙලාවට සුමනම්මා කියන අතීත රසකතා අහන්න විමංග කොහොමත් ආස කළා. විමංග පුංචිම කාලෙ ගැන සුමනම්මා කතා කළේ හරිම සතුටින් දිළිසෙන ඇස් වලින්.
“බේබිගෙ අම්මගෙ ඇස් දෙකමයි බේබිට තියෙන්නෙ…” එහෙම දවසක සුමනම්මා කිව්වෙ අතීතයේ ගිලිලා ඉන්න තරම් බැරෑරුම් මූණකින්. ඒත් අම්මා වගේ කියනවට විමංග පොඩි කාලෙ ඉඳලම ආසවුණේ නැහැ.
“අයියෝ නෑ සුමනම්මා… මම පොඩ්ඩක්වත් අම්ම වගේ නෑ. අප්පච්චි වගේමයි. හැමෝම කියන්නෙ එහෙම. ඔයා විතරයි කියන්නෙ අම්ම වගේ කියල. මල්ලිනෙ අනේ අම්ම වගේ” එහෙම දවසට විමංග එසැණින් උත්තර දුන්නේ නෝක්කාඩු මුහුණක් මවාගෙන.
ඒත් හැමදාම ඒකට සුමනම්මා දුන්නේ එකම උත්තරයක්. ඒ ඇස් දෙකේ කඳුළු පුරවගෙන. “අනේ මම දන්නෙ නැද්ද ඉතින් බේබි” සුමනම්මා පුංචිකාලෙ ඉඳන්ම ඔහුට අසීමිතව ආදරේ බව විමංග හිතුවේ මෙහෙම කතාබහ අවසන් කරනකොට ලාවට තෙත්වෙන ඇගේ ඇස්දෙක නිසාමයි.
ඊළඟ සතියට…
බඩු හරි වගේ…
දෙවැනි කසාදය වෙන්ට ඕනේ ජයදේව ගේ…