හිමි අහිමි – 7 කොටස

හිනාවෙලා සැහැල්ලුවෙන් රිප්ලයි කළාට නිතාරාගේ උදේ තිබ්බ වෙනස ගැන විමංගගෙ හිතට සැකයි. අනික එකපාරම අමායා හම්බෙන්න ගියේ නිකම්ම වෙන්නත් බැහැ. ආශ්‍රය කළේ පොඩි කාලයක් වුණත් විමංග නිතාරා ගැන සෑහෙන්න දැනගෙන හිටියා. හැබැයි තරහ වෙන්න තරම් වැරැද්දක් තමන් නොකරපු බවත් විමංගට හොඳටම විශ්වාසයි.

 “මේ කෙල්ලොනම් අනේ මන්ද අප්පා” විමංග තනියම එහෙම හිතුවා. කෙල්ලො කිව්වට ඔය විෂයේ අත්දැකීම්නම් විමංගට ඇත්තෙම නැති තරම්. ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය, ලොකු පවුලක, හොඳ පෙනුමක් තියෙන කොල්ලෙක් වෙච්ච විමංගට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳල නැහැ කිව්වමනම් කිසිම කෙනෙක් විශ්වාස කරන්නෙ නැහැ. ඉස්කෝලෙ කාලෙ ලාවට පුංචි පලහිලව් දෙක තුනක් තිබ්බත් ඒව නිකං ආදරය කොණකවත් නැති නිකං චැට් විතරයි. ඒ කෙල්ලො කොල්ලන්ට එහා සෙල්ලක්කාරයි. විමංග ගැන විශේෂයක් දක්වපු ඒ එක මිතුරියක් ගැන කතාකරපු දවසක අප්පච්චි දීපු ලෙක්චර් එක විමංගට අද වගේ මතකයි.

“ඉස්කෝලෙ කාලෙනම් ඔය කතන්දර බොහොම සාමාන්‍යයි පුතා. අපිත් ඉතින් ඔය වයස පහුකළානේ. අනික ඔයාලගෙ ඉස්කෝලෙට එන ළමයින්ගේ පවුල් පසුබිම්, එයාලගෙ සංස්කෘතිය, අද කාලෙ එක්ක බැලුවම ඒ ගැන කතාකරන්නත් දෙයක් නැතිතරම්. හැබැයි ඕවට හුඟක් ආයුෂ තියෙයිද කියල තමයි සැක. කොහොමවුණත් පුතා ජීවිත කාලෙටම සහකාරියක් හොයාගන්නකොට ඔයාට ටිකක් වැඩියෙන් පරිස්සම් වෙන්න වෙයි. ජයදේවගෙ ලොකු පුතාගෙ සල්ලි වලට ආදරේ කරන කෙල්ලො ඉන්න බැරි නෑ පුතා. අයි ඈම් ටෙලින් යූ විත් මයි පර්සනල් එක්ස්පීරියන්ස්” එහෙම කියල අප්පච්චි හයියෙන් හිනාවුණා විමංගට මතකයි… 

“අනේ එහෙම එකක් නෙමේ අප්පච්චි මේ” විමංග එදා ලැජ්ජාවෙන් ඔළුව කසමින් උත්තර දුන්නා.

අප්පච්චි විහිළුවෙන් වගේ කිව්වට ඒ කාරණාව විමංගගේ හිතට තදින්ම දැණුනා. නිතාරව ආශ්‍රය කරන්න ගත්ත මුල්කාලෙ ඉඳලම විමංග නිතාරගෙ දැකපු ලොකුම වෙනසත් ඒකයි. නිතාරට ලොකු පොඩි කියල මිනිස්සු ගැන භේදයක් තිබ්බෙ නැහැ. මුල්ම කාලෙ නොකිව්වත් පස්සෙ ටිකක් වැඩිපුර හිතවත් වෙද්දි විමංග අප්පච්චි ගැන, අප්පච්චිගෙ බිස්නස් ගැන කියද්දි ඒව හාර හාර අහන්න නිතාරට කවදාවත්ම උනන්දුවක් තිබුනෙත් නැහැ. කලින් මුණගැහුණ ගැහැණු යාළුවො හුඟක් දෙනෙක් විමංග යන එන වාහන ගැන එහෙම උනන්දු වුණාට නිතාරට ඒවගේ විශේෂයක් තිබුණේ නැහැ. හැබැයි අප්පච්චිගෙ දැනුම, එයා දෙන උපදෙස් ගැනනම් නිතාරා ආසාවෙන් අහගෙන හිටියා. ඒ නිසාමයි විමංගට ඕනවුණේ නිතාරව දවසක අප්පච්චිට මුණගස්වන්න. කොල්ලගෙ ප්ලෑන් එක ලඟ එන නිතූගෙ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් දෙන්න. හිතේ තියෙන හුඟක් දේවල් ගැනත් ඒ දවසකලින් හිතලා ඉවර කරන්නත් ඕනකම විමංගට තියෙනවා. ඒත් ඒ ඔක්කොම කිට්ටු වෙද්දි නිතූ හදිස්සියෙ ඇන්ග්‍රි මෝඩ් ඔන් කරගත්ත එකනෙ අවුල. නිතාරා ලේසියෙන් කේන්ති නොගන්න චරිතයක් නිසාම මේ වෙනස විමංගගෙ හිතට ටිකක් හරි මදි. 

නිතාරගේ වෙනස ගැන හිත හිත ඉන්න අතරේ හවස අප්පච්චි ඇවිල්ලා ටිකක් කතාකරන්න ඕන කිව්ව එක විමංගගෙ හිතට තවත් බරක්. විශේෂම හේතුවක් නැත්තම් අප්පච්චි එහෙම කියන්නෙත් නැහැ. කොහොමවුණත් මේ නිතූගෙ ප්‍රශ්නෙ විඳගෙනම අප්පච්චි එක්ක කතා කරනවා කියල විමංග හිතාගත්තා. 

“නිතාරා හම්බෙන්න ආවෙ ඇයි කියල අමායාගෙන් කෙලින්ම අහන්න බැහැ. එහෙම වුණොත් එකි අනික් පැත්තට නිතූගෙ කණේ තියනවා. හැබයි මේ ප්ලෑන් එකට උදව් ගන්න හොඳම කෙනා අමායා තමයි. ඒ ගැන කතාකරගෙන යද්දි අද වෙච්ච දේ ගැන කියන්නත් බැරි නැහැ එයාම”. එහෙම හිතපු විමංග වට්සැප් ගෲප් චැට් එකෙන් අමායාගෙ නම්බර් එක හොයාගෙන කෝල් එකක් ගත්තා. 

දෙපරක් රින්ග්ස් යද්දිම එහා පැත්තෙන් පිළිතුරු ලැබුණා. 

“හෙලෝ”

“හෙලෝ අමායා. විමංග හියර්”

“යස් විමංග”

“කතා කරන්න පුළුවන්ද?”

“කියන්න..”

“මේ පොඩි හෙල්ප් එකක් ඕන. නිතූගෙ වැඩක්”

“ඒ මොකක්ද? මේ අදත් මට හම්බෙලා මේකි එහෙම එකක් කිව්වෙ නෑනෙ”

“නෑ නෑ බං. එයා දන්නෑ. නෙක්ස්ට් තර්ස්ඩේ නිතූගෙ බර්ත්ඩේ එක.”

“ඔව්මයි නේන්නම්. කිට්ටු වෙද්දි කැලෙන්ඩර් රිමයින්ඩර් එනකොටනෙ මතක් වෙන්නෙ. ඉතින්?”

“පොඩි සප්‍රයිස් එකක් දෙමුද? දෙමුද කිව්වට මම ඔක්කොම රෙඩි කරන්නම්. ඔයාලගෙ පැත්තෙන් හෙල්ප් එක ඕන එයාව ගෙන්න ගන්න ශේප් එකේ”

“ශුවර් ශුවර්… මරු. ඉතින් මොනවද දැන් මම කරන්න ඕන? අපි කාවද සෙට් කරගන්නෙ?”

“මෙහෙම කරමුද අමා? මම වට්සැප් ගෲප් එකක් හදල මගේ කොල්ලො දෙතුන් දෙනයි ඔයාවයි ඇඩ්කරන්නම්. ඔයා හෙල්ප් එක ගන්න පුළුවන් ගර්ල්ස්ල දෙන්නෙක් වගේ බලල ඇඩ් කරන්න. කේක්, ගිෆ්ට් වැඩ ටික මං කරන්නම්. මට ඕන සෙටප් එකට හෙල්ප් එකක් තමයි”

“ඕකේ. දෙන් ලෙට්ස් ඩූ සෝ”

“හරි. මේ නිතූට කියන්න එපා හොඳේ”

“හරි හරි බං… එහෙනම් බායි” අමායා ෆෝන් එක තිබ්බෙ හිනාවෙමින්.

විමංග ලයින් එක කට් කරනකොටම වගේ තමයි නිතාරගේ චැට් එක ආවෙත්. තරහක් නැතිබව එයාගෙන්ම අහගත්ත එකත් ලොකු දෙයක්. හැබැයි උදේ පුපුරපු විදිහට අවුලක් නැතුවමත් වෙන්න බැහැ. බලමුකෝ. විමංග හිතුවා. “ගෑණු කවදද හිතේ තියෙන දේ කිව්වෙ” ටීවී එකේ ගිය ප්‍රසිද්ධ ඇඩ් එකක කතාවක් විමංගට මතක්වුණා. “ඕන එකක්… මේ ප්ලෑන් කරන වැඩේ ලස්සනට කරගන්නකම් ලොකු පිස්සුවක් නටන්නෙ නැතුව ඉන්නකො කෙල්ලේ” විමංග තනියම හිනාවෙමින් එහෙම හිතුවා.

 

 

හිමි අහිමි – 1 කොටස

 

හිමි අහිමි – 2 කොට​ස

 

 

හිමි අහිමි – 3 කොටස

 

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

 

හිමි අහිමි – 6 කොටස

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *