අනේ ඉතින් මෙහෙමයි අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ජෝතිශ්‍යය කියන්නේ බොරුවක් කියලා නම් නෙමෙයි. මොකද ඒක බොරුවක්ද ඇත්තක්ද කියන්න තරම් දැනුමක් අපිට නෑ. හැබැයි අපිට අනාවැකි කියන්න ගිහින් ඇණ ගත්ත ජෝතිශ්‍ය ඩයල් ගැන නම් දැනුමක් තියෙනවා. අන්න ඒ නිසා අපි හිතුවා ඒ වගේ කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන නෝන්ඩි වෙච්ච ජ්යෝතිශඥයෝ කීප දෙනෙක්ගේ ගුණ ගායනාවක යෙදෙන්න.
1. ප්‍රියන්ත රත්නායක
කාලෙකට කලින් ලංකාවේ ජනප්‍රිය ජෝතිශ්‍යය පුවත්පතක් වුණේ “ඉරහඳ පුවත්පත”. ඒ පත්තරේ තේමා පාඨය විදිහට තිබුණේ “ඉරහඳ කිවු දෙයක් වැරදිලා නෑ” කියලා. ලංකාවේ දේශපාලන ක්ෂේත්රය ගැන ඉරහඳ කියන බොහෝ අනාවැකි නිවැරැදි වීමේ සම්භාවිතාවක් තිබ්බා. ඒකට හේතුවක් වුණේ ප්‍රියන්ත රත්නායක මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ සමීපතමයෙක් වීම. කොටින්ම කියනවා නම් මහින්ද රාජපක්ෂ මහතා චන්ද්‍රිකා මැතිනියගේ රජයේ තමන්ට ලැබෙන්නේ කම්කරු ඇමතිකම කියලා දැනගත්තේ ප්‍රියන්ත හරහා. පොදු ජන එක්සත් පෙරමුණු රජයේ කාල සීමාව පුරාවටම ඉරහඳ පත්‍රයේ බඹරේ වැල්ලේ වුණත් කැරකුණා. මේක වෙනස් වුණේ 2001 පාර්ලිමේන්තු මැතිවරණයෙන්. ඉරහඳ පුවත්පත පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රචාරණ යාන්ත්රයේ නොනිල කොටසක් විදිහට වැඩ කරමින් මැතිවරණයෙන් එම පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවට අනාවැකි පළ කළා. ඒත් ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය. ඒත් එක්කම ඉරහඳ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ සිදුවීම අරබයා දිනපතා පුවත්පතක කාටුන් එකක් පළවෙනවා, ලක්ෂ්මී දේවිය සූට්කේස් එකක් අරගෙන “ඉස්සෙල්ලා තමන්ගේ වෙලාව බලාගන්න” කියලා ඉරහඳ කාර්යාලයෙන් එළියට යන අවස්ථාවක් කාටුන් එකේ දානවා. මේ සිදුවීමත් එක්ක ඉරහඳ පුවත්පත වගේම ජෝතිශ්යයත් හාස්‍යයට ලක් වෙනවා. ඉරහඳ පුවත්පත ඊට පස්සේ තමන්ගේ තේමා පාඨය වෙනස් කරනවා. “අනාවැකි ලක්ෂයයි, වැරදුණේ එකයි” කියලා.
2. ඉන්දික තොටවත්ත
ඉන්දික තොටවත්ත කියන්නේ මේ ලැයිස්තුවට දැම්මට සුවිශේෂී පුද්ගලයෙක් බවට නම් විවාදයක් නෑ. විවිධ විෂයන් ගැන දැනුමෙන් සහ මුඛරිකමෙන් තොටවත්ත අසන්නාව පුදුමයට පත් කරනවා. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයට සමගාමීව ඉන්දික තොටවත්ත රූපවාහිනී මාධ්‍යය ඇතුළේ ඉතාම ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඔහු ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයගන්නා බවටත් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වෙන බවටත් දැඩිව සහ අත්මවිශ්වාසයෙන් යුතුව ප්‍රකාශයට පත් කළා. ඒ අනාවැකිය නිවැරදි වුණා. නමුත් ඊට පස්සේ ඔහු කළ ඇතැම් අනාවැකි සහ හේතුවාදී සංගමයේ අභියෝග ඉදිරියේ ඔහුගේ හැසීරීම් ඉතාම ප්රශ්නාකාරී මට්ටමට පත් වුණා. “සරත් ෆොන්සේකා මහතා දේශපාලනය අත් හැර විදේශ ගත වෙන බව” සහ “රාජපක්ෂලාගේ බල්ලෙකුටවත් ආපහු ලංකාවේ දේශපාලනයේ අනාගතයක් නෑ” කියලා ඔහු පළ කරපු අනාවැකි මේ වෙනකොට ඇස් පනාපිටම බොරු බවට පත්වෙලා තියෙනවා.
3. ගංගා මෑණියෝ
ධර්මාචාරිනී, ශාස්ත්රාචාරිනී, විශ්වදූහිතෘ ගංගා සුදර්ශනී මෑණියෝ කියන්නේ ජාත්‍යන්තරයට පවා ගිය පුංචි අපේ රටේ ජෝතිශවේදිනියක්. ඇය කරළියට එන්නේ දිනේෂ් චන්දිමාල් ඇගෙන් ආශිර්වාද ලබාගැනීම පිළිබඳව සටහනක් ඇය ෆේස්බුක් වෙත නිකුත් කිරීමත් එක්ක. ඇය ඒ සටහනේ කියපු විදිහට ඇය වෙත චන්දිමාල්ව යොමු කරන්නේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර. ජයසේකර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එය ප්‍රතික්ෂේප කළා. පළමු තරගයේදි චන්දිමාල් යම් දියුණුවක් පෙන්නුවත් ඊළඟ තරගවලදි නැවත පසුබෑමට ලක්වුණා. මේත් එක්ක ෆේස්බුක් හරහා ඉල ඇදෙන පෝස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා. චන්දිමාල් ගුප්ත ශාස්ත්රවලින් පිහිටක් ලබා ගත්තාද කියලත් විදේශ මාධ්‍යවේදින් පවා ප්‍රශ්න කළා. ඒ අවස්ථාවල ආරක්ෂිත ප්‍රහාර එල්ල කරන්න චන්දිමාල් වග බලා ගත්තා
4. විජිත රෝහණ
විජිත රෝහණ කියන්නේ ෆේස්බුක් නැති කාලේ අපේ රට ජාත්‍යන්තරයට ගෙනියන්න ලොකු දායකත්වයක් දීපු කෙනෙක්. ඒ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න ලංකාවට ආපු රජීව් ගාන්ධි මහතාට පහර දීමෙන්. මේ සිදුවීමෙදි සමහරු රෝහණව වීරයෙක් විදිහට සලකද්දි සමහර කියන්නේ පාර පොඩ්ඩක් එහා මෙහා වුණා නම් ලංකාව සුන් කියලා. ඊට පස්සේ සිරදඬුවම් විඳලා ඊට පස්සේ දේශපාලකයෙක් විදිහටත් කටයුතු කරලා රෝහණ ජෝතිශ්‍යයට බැස්සා. රෝහණත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙනවා කියලා අනාවැකි කිව්වා. හැබැයි ජනාධිපතිවරණයෙන් පස්සේ රෝහණ ඉතාම දරුණු විදිහට සිරිසේනව විවේචනය කරන්න ගත්තා. ඒ තමන්ගේ ජෝතිශ්‍ය උපදෙස් පිළිගන්නේ නෑ කියලා. එක්තරා අවස්ථාවක දිනයක් සඳහන් කරලා එදිනට පෙර ජනාධිපතිවරයා මිය යන බවටත් ඔහු ප්‍රකාශ කළා. ඒ නිසා ඔහු සමාජ මාධ්‍ය ජාලාවල හාස්‍යයට ලක් වුණා. මෑතකදි ඔහු ආපහු කරලියට ආවේ පසුගිය අවුරුද්දේ වුණු තාවකාලික ආණ්ඩු පෙරළියත් එක්ක. අධිකරණයෙන් ලැබෙන තීන්දුව ගැන කිසිදු බියක් තියා ගන්නේ නැතුව රතිඤ්ඤා රැස්කරගන්න කියපු රෝහණ තීන්දුව ලැබුණට පස්සේ විනිසුරුවරුන්ට පහත් විදිහට බණින්න ගත්තා.
5. කීර්ති දිසානායක
මේ ලිස්ට් එකට ඇතුළත් කරන ජ්යෝතිශඥයකු නොවන එකම කෙනා තමයි කීර්ති දිසානායක. හේතුව තමයි මෑත කාලයේ බොරුවක් කරන බවට ඔප්පු වෙලා අත්අඩංගුවට පත් වුණ ගුප්ත වැඩ කරනවා කියන ඩයල් එකක් වීම නිසා. නමෝ නාරායන වාලම්පුරියක් ගෙදර තියාගත්තොත් සින් සින් ගාලා සෞභාග්‍යය බලන් ඉද්දි මේම මේම එනවා කිව්ව කීර්ති දිසානායකට බෝහෝ දෙනෙක් රැවටුණා. සමහරු වාලම්පුරිය ඒක අයිති සතාටත් අවාසනාව ගෙනාව නම් වෙන කෙනෙක්ට වාසනාව ගේන්නේ කොහොමද කියලත් ප්‍රශ්න කෙරුවා. පසුගිය දවසක NARA ආයතනය කරපු පැමිණිල්ලක් උඩ කීර්තී දිසානායකව අත් අඩංගුවට ගැනුණේ ව්‍යාජ වාලම්පුරි විකුණන බවට චෝදනා කරමින්. ඒත් එක්කම ඔහු සම්බන්ධ වුණු විවිධ වංචා රැසක් පිළිබඳව තොරතුරු හෙළි වුණා.
6. චන්ද්‍රසිරි බණ්ඩාර
චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අසන්නන්ගේ හිත් ඇඳ බැඳ ගන්න ආකාරයට කතා කරන්න දක්ෂ ජ්යෝතිශඥයෙක්. ඔහු මහින්ද රාජපක්ෂ මහතාට මාරක අපල ඇති බවට කරපු ප්‍රකාශයක් එක්ක රහස් පොලීසිය මගින් අත්අඩංගුවට පත්වුණා. අත්අඩංගුවෙන් නිදහස් බවට පත් වුණු බණ්ඩාර ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතාට හිතෛෂී ලෙස අනාවැකි කියන්න පටන් ගත්තා. පසුගිය ජනාධිපතිවරණය සමයේ “මහින්ද රාජපක්ෂ පරාජයට පත් වුණොත් තමන් තුවක්කුවකින් හිසට වෙඩි තබා ගෙන සිය දිවි හානි කරගන්නවා” කියලා පවා කිව්වා. ජනාධිපතිවරණයෙන් පස්සේ තමන් ඒ කිව්වේ විහිළුවක් බව කියලා බණ්ඩාර ෂේප් වුණා.
7. සුමනදාස අබේගුණවර්ධන
මේ මහත්තයා තරම් ලංකාවේ මෑත ඉතිහාසයේ හාස්‍යයට ලක් වුණු වෙන ජෝතිශඥයෙක් වෙන නැද්ද මන්දා? ඒ නිසා වැඩි විස්තරයක් වුවමනාත් නෑ. පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ “Thank you Sumane” කියලා පෝස්ට් පවා හැදුණා. ගොඩක් අය මහින්ද රාජපක්ෂට වැරදි ජෝතිශ්‍ය උපදෙස් දීලා විනාශ කළා කිව්වට ඇත්තටම සුමනදාස නිසා දේශපාලන ජීවිතය විනාශ කරගත්තේ තිස්ස අත්තනායක මහත්තයා. ඒ වසර ගණනක තමන් ගොඩ නගන්න කැපවුණු පක්ෂය ඇත් ඇරලා සුමනදාසගේ උපදෙස් මත මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කළ නිසා.
හරි ඔන්න අපි හත් දෙනෙක් ගැන කතා කළා. මෙයාලා ලංකාවෙම ප්‍රසිද්ධම අයනේ. ඔයාලටත් ඇතිනේ මේ වගේ අනාවැකි සම්බන්ධ අත්දැකීම්. ඒ ගැන කමෙන්ට් එකකින් කතා කරමු. ආහ් ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරලා සපෝර්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා
Leave a Reply