හිමි අහිමි – 8 කොට​ස

නිතාරගෙ බර්ත්ඩේ එක සතියේ දවසක වැටිල තිබුණ නිසා සර්ප්‍රයිස් පාර්ටි එකක් දෙන්න විමංගට වෙනමම ප්ලෑන් එකක් ගහන්න වුණා. සෙනසුරාද වගේනම් කොහොමත් නිතූ අමා හරි විමංග හරි එක්ක ලයිබ්‍රි ගිහිල්ල හවසට රවුමක් යනවම තමයි. ඒත් ලෙක්චර්ස් තියෙන දවසක කැම්පස් එකට නොයා වෙන තැනකට එන්න කියනව කියන්නෙ වැඩේ කලින්ම මීටර් වෙනවා. විමංගට ඕන කෙල්ලට අමතක නොවෙන ලස්සන සර්ප්‍රයිස් එකක් දෙන්න. ඒ නිසාම තමයි විමංග අමායව වැඩේට සම්බන්ධ කරගත්තෙත්. අමාත් කියපු ගමන් වැඩේට බැහැලම සපෝර්ට් කරපු නිසා විමංගට වැඩේ ලේසිවුණා.

ඒ අතරේ නිතාරගෙ ගෙදර වෙනමම සැමරුමක්. ලොකු අක්කලා උදෙන්ම කේක් අරගෙන ගෙදර ඇවිල්ලා. අම්ම කිරිබත් හදලා. ගෙදර චූටි කෙල්ලගෙ උපන්දිනය කියන්නෙ හැමෝම ආසාවෙන් සමරන දවසක්. සැමරුම් කොහොම වෙතත් අමා වෙලාවට මගට එනබව දන්න නිසාම නිතූ ගෙදර අයගෙන් සමු අරගෙන පාරට ආවා. නිතාරා හැමදාම ත්‍රීවීලර් එකකට නැගලා මඟින් අමාව නග්ග ගන්න එක තමයි දෙන්නගෙම පුරුද්ද. හන්දියේ ඉස්සරහම තිබ්බ ත්‍රීවීලර් එකට නැග්ග නිතූ අමාට කෝල් එකක් ගත්තා.

“ආහ් කෙල්ල.. මෝනින්” ඒ අමා…

“මෝනින් මෝනින්… මොකෝ නිකං අමුතුවට ඒක කිව්වෙ?” නිතූ හිනාවෙමින් ඇහුවා..

“ටුක් එකට නැග්ගද? වරෙන්කො වරෙන්කො” හයියෙන් හිනාවෙලාම අමා උත්තර දුන්නා…

“අන්කල්, ඉස්සරහ හෝල්ට් එකෙන් යාළුවව ගන්න ඕන” ෆෝන් එක තියමින්ම නිතූ රියදුරාට කිව්වා…

ත්‍රීවීලර් එකට නැග්ග ගමන් අමා කළේ පැනලා නිතූගෙ කම්මුලට කිස් එකක් දීපු එක. 

“හැපී බර්ත්ඩේ කෙල්ල” නිතූ පුදුමෙන් බලන් ඉද්දි අමායා කිව්වා. 

“ඒ… උඹට මතක තිබ්බද? තෑන්ක් යූ අමා” නිතාරා පුදුමෙන් වුණත් එහෙම කිව්වෙ අමා දිහා ස්තූති පූර්වකව බලමින්…

අමා කියන්නෙ නිතාරට යුනිවර්සිටි එකේදි හමුවුණ මිතුරියක්. ඒත් ඉස්කෝලෙ ලඟින්ම හිටපු යාළුවො එක එක පැති වලට බෙදිලා යද්දි කැම්පස් එකේදි ළංවුණ අමා ටිකෙන් ටික නිතූගේ ළඟම මිතුරිය බවට පත්වුණා. 

“නැතුව. හිතේ ඇති උඹ මට ට්‍රීට් නොදී මඟාරින්න” 

“අනේ පලයන් යන්න. මම එහෙම හිතල ඇහුව නෙමේ”

“හරි හරි. මේ… අද ලෙක්චර්ස් යන්න බෑ. මට පාර්ටි ඕන” කලින් ප්ලෑන් කරගත්ත විදිහටම නිතූට සැක නොහිතෙන්න අමා කිව්වා. උපන්දිනය අමතක බව අඟවලා නිතාරව පුදුම කරවන්න මුලින් අමා යෝජනා කළත් විශ් කරලා ට්‍රීට් එකක් ඉල්ලල රෙස්ටුරන්ට් එකට එක්කන් එන ප්ලෑන් එක යෝජනා කලේ විමංග.

“අම්මෝ… මෙයා බලන්නකෝ… මහ දවල් මංකොල්ල කන්නද හදන්නෙ?”

“අනේ නිතූ… කේක් කෑල්ලක්වත් අරන් දීපන්කො. උදේටත් කාල ආවෙ නෑ උඹට දඩයක් දාන්න ඕන නිසා”

“පාප මිත්‍රයො කියන්නෙ උඹලට තමා. හරි හරි… දැන් කොහෙටද යන්න ඕන?” නිතාරා හිනාවෙමින්ම ඇහුවා.

“ආහ් හිටපන්… දෙන්නම් දඩේ… අන්කල් ඔතනින් වමට දාන්න” හිනාවෙමින් රියදුරුට මග කිව්වේ අමායා

නිතාරට වෙනසක් නොදැනෙන්න හරි තැනට එක්කන් එන්න පුළුවන් වෙච්ච එකම අමායට සහනයක්. නැත්තම් අර යකා මගේ ඔළුව කයි. අමායා තනියම හිනහවෙමින් හිතුවා.

“ඒයි… මොකෝ තනියම හිනාවෙන්නෙ? පිස්සු උඹටනම්”

“නෑ නෑ… මේ මොනාද දැන් මට දෙන්නෙ ට්‍රීට් එකට?” අමා හිනාවෙමින්ම ඇහුවා..

“දැන් උඹ ලොක්ක වගේ මෙතන බහින්න කලින් මගෙන් බජට් එක ඇහුවද? හිටපන් ඉස්සෙල්ලා ආර්ථික තත්ත්වය බලන්න” නිතාරා එහෙම කිව්වෙ හිනාවෙමින් පර්ස් එක අතට ගන්න ගමන්. 

“හරි හරි. ඒක මොනාහරි කරගමුකෝ. බඩගිනී නිතූ.. ඔන්න ඕක ගන්න මෙහෙට” කෑම වියදම විමංග දරන බව දන්න නිසාම අමා එහෙම කිව්වෙ මෙනූ කාර්ඩ් එක දිහාට අත දික්කරමින්. 

“නිතූ, මොනාද කන්නෙ?”

“කැමැත්තක්… බලල ඕඩර් කරන්නකො” නිතූ පිළිතුරු දුන්නා…

“අපිට චීස් සැන්විචස් දෙකයි, චොකලට් මිල්ක් ශේක් දෙකයි” මෙනූ කාර්ඩ් එක වහමින් එහෙම කියපු අමා නිතාරා දිහාවට හැරුණා…

“කෝ උබේ ප්‍රේම රාජයා කතා කළේ නැද්ද විශ් කරන්න?” අමා ඇහැක් ගහමින් නිතාරගෙන් ඇහුවා

“මොකා? පිස්සුද අනේ. කව්ද? විමංගද?”

“නැත්..ත..ම්..” අමායා තාලෙට ඇදලා කියපු විදිහට නිතාරට හිනාගියා..

“නෑ නෑ… මම එයාට පොඩි සද්දයක් දාලනෙ ඉන්නෙ. තරහ ඇති” එහෙම කියද්දි නිතූගේ මූණෙ ඉරියව් වෙනස් වෙන හැටි අමා හොඳටම දැක්කා… 

ප්ලෑන් කරපු විදිහටම වැඩේ වෙන බව අමා හිතුවා. වැඩිය කතා නොකර තරහ බව පෙන්නන එකත් විමංගගෙ ප්ලෑන් එකේම කොටසක්. ඒ විදිහට නිශ්ශබ්දවම විනාඩි කිහිපයක් ගතවුණා. නිතූ ඉන්නෙ අප්සට් එකෙන් බව අමා හොඳටම දැක්කා. තව විනාඩි දෙක තුනයි කෙල්ලේ… අමා හිතින් හිනාවෙමින් එහෙම හිතුවා.

“එක්ස්කියුස් මී මිස්” නිතූ පිටිපස්ස හැරුණේ වේටර්ගේ හඬට… 

ඕඩර් කරපු චීස් සැන්විච් එක වෙනුවට ඉටිපන්දම් ගහපු කේක් එකක් අතින් අරගෙන හිටගෙනන ඉන්න වේටර් දැක්කම නිතාරා ඇත්තටම පුදුමවුණා. හැබැයි කෙල්ල හිතුවෙම මේක අමාගෙ ප්ලෑන් එකක් බව.

“අමා… උඹනම්…” එහෙම කියමින් අමා දිහා බලපු නිතාරා ආපහු පිටිපස්ස හැරුණේ එකපාරටම ඇහුණු ගිටාර් සද්දෙත් එක්ක…

“හැපී බර්ත්ඩේ ටූ යූ… හැපී බර්ත්ඩේ ටූ යූ… හැපි බර්ත්ඩේ ඩියර් නිතාරා… හැපි බර්ත්ඩේ ටූ යූ…” විමංගගේ ගිටාර් තාලයට හැපි බර්ත්ඩේ ගීතය ගායනා කරපු යාළුවො සෙට් එකම දැක්කම නිතාරට අදහාගන්න බැරිවුණා. හැමෝගෙම අතේ හැපී බර්ත්ඩේ අකුරු ගහපු ෆොයිල් බැලුන්ස්, මල් වගේම බැලුන් බෝල තිබුණා… කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ මේ සුභ පැතුම් වලින් පුදුමවුණ නිතාරා මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව බලාගෙන ඉද්දිම විමංග හෙමිහිට ඉස්සරහට ඇවිදගෙන ආවා. 

“හැපි බර්ත්ඩේ ප්‍රින්සස්. නිතාරව අතකින් අල්ලලා නැගිට්ටවලා හග් කරන ගමන් විමංග කිව්වා. ඔන්න අපිටත් එක්කම ට්‍රීට් දෙන්න වෙයි”

“තැන්ක් යූ විමංග… මං හිතුවෙම ඔයා තරහ වෙලා කියල”

“ඔන්න කොල්ලගෙ තමා ප්ලෑන් එක” එච්චර වෙලා නිශ්ශබ්දව හිටපු අමා හයියෙන් හිනාවෙමින් කිව්වා. 

යාළුවො ඔක්කොගෙම සුභ පැතුම්, තෑගි එක්ක නිතාරා හිටියෙ පුදුම සතුටකින්. මේ තරම් යාළුවො පිරිසක් වටකරගෙන නිතූ සමරන මුල්ම උපන්දිනය මේක. කේක්, ශෝර්ට් ඊට්ස් එක්ක බීම ඔක්කොම කලින්ම විමංග ඕඩර් කරලා තිබුණා. කට්ටියට තිබුණේ කාල බීල විනෝද වෙන්න. 

කෑමෙන් බීමෙන් පස්සෙ සෙල්ෆි ගහන අතරේ හදිස්සියේම ආපු ටෙලිෆෝන් කෝල් එකෙන් පස්සෙ අමා කෙලින්ම දුවගෙන ආවෙ නිතාරා ළඟට.

“නිතූ, ගෙදරින් ගත්තෙ. අම්ම ටිකක් කළබලෙන් ගෙදර එන්න කිව්ව. ඇයි දන්නෑ. මට යන්න වෙනව කෙල්ලෙ” අමා කිව්වෙ ලොකු කළබලයකින්.

“මාත් එන්නද? මොකද දන්නෑ” නිතාරා ඇහුවෙ අවංකවම බයෙන්.

“එපා. මුන් ටික මෙතන දාල උඹ එන එක හරිනෑ. මම ගිහින් කෝල් එකක් දෙන්නම්” එහෙම කියපු අමා ඒ කළබලෙන්ම පාරට දිව්වා.

ආපහු යාළුවන්ගේ දිහාට ගියත් නිතූගෙ හිතට කරදරයි. අමා ලේසියෙන් කළබල නොවෙන චරිතයක් නිසායි නිතූට වැඩියෙන්ම බය. මොකක්ද දන්නෑ ප්‍රශ්නෙ. නිතූ තනියම හිතුවා.

ලබන සතියට…

 

හිමි අහිමි – 1 කොටස

හිමි අහිමි – 2 කොට​ස

හිමි අහිමි – 3 කොටස

 

හිමි අහිමි – 4 කොටස

 

 

හිමි අහිමි – 5 කොට​ස

 

හිමි අහිමි – 6 කොටස

 

හිමි අහිමි – 7 කොටස

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *