හිමි අහිමි – 10 කොට​ස

එළියට පනින්න ඔන්න මෙන්න බලාගෙන ඉන්න කඳුළු වලින් පිරුණු නිතූගේ බෝල ඇස්දෙක දිහා තප්පර කිහිපයක් බලාගෙන හිටපු විමංග ආයෙමත් ඈත දියඹ දිහා බලාගෙන කල්පනාවට වැටුණා. ඇත්තටම නිතූ කවදා කොයි විදිහට තමන්ගේ හිත අයිතිකරගත්තද කියන්න විමංගට මතක නැහැ. ඒත් මුලින්ම දැකපු, කතාබහකරපු දවස්වල තිබුණ හැඟීම ටිකෙන් ටික වෙනස් වෙද්දි වුණත් විමංග ඒ ගැන හිතන්න පවා බයවුණා. නිතාරා කියන්නෙ වෙනස් කෙල්ලෙක්. හරිම කෙලින් කෙල්ලෙක්. තරුණියකට අවශ්‍ය සුකුමාල ගතිත් එක්කම ලෝකෙම අල්ලන්න තරම් හයිය හිතක් තියෙන කෙල්ලෙක්. ඕන තැනටයි එපා තැනටයි හැම එකටම නැලවෙන, මවාගත්ත ගැහැණු ප්‍රතිරූප ලඟ නොසෙල්වුණ විමංගගේ හිත නිතාරගේ පැත්තට හැරෙන්න ලොකුම හේතුවත් ඒකම බව ඔහු දැනගෙන හිටියා. නිතූගෙ පිළිතුර මොකක් වෙයිද කියල ලොකු දෙගිඩියාවක් හිතේ තිබුණත් හැමදාම හිතේ තියාගෙන ඉන්න බැරි නිසාමයි විමංග නිතූගේම දවස ලස්සනට සමරලා මේ ගැන අහන්න හිතුවේ. හැබැයි ඔක්කොම ඉවරවෙලා ප්‍රශ්නය අහන තැනටම ඇවිත් ඉද්දි වැඩේ පටන් ගද්දි තිබ්බ මොරාල් එක නැත්තටම නැතිවෙලා හැරිලා දුවන්න තරම් බයක් විමංගට නොදැනුනාම නෙමෙයි. ඔක්කොටමත් වඩා කවදාවත්ම නැතුව වචන ගලපගන්න බැරි හරිම අපහසු ගතියක් ඔහුට දැණුනා.

 

“නිතූ… “

 

“හ්ම්ම්…” නිතාරගේ පිළිතුර ඇහුණේ බොහොම සිහින් හඬින්. 

 

“මම ඔයාට මගේ අප්පච්චි ගැන හුඟක් දේවල් කියල තියෙනව නේද? හැබැයි අම්ම ගැන එහෙම කියල නැහැ. කියන්න තරම් ලොකූ දේවල් ඇත්තටම මම අම්මගෙන් දැකල නැහැ. අම්ම ඇත්තටම මට හොඳ අම්ම කෙනෙක්. ඒත් එයා අප්පච්චිට ආදරණීය බිරිඳක් නෙමෙයි කියල මට හිතුණ අවස්ථා හුඟක් තිබුණා. මගේ අප්පච්චි හරිම සංවේදී මනුස්සයෙක්. අම්ම ඊට හාත්පසින්ම වෙනස්. මට මේ මුහුදු රැලි දැක්කම මතක් වෙන්නෙ අප්පච්චි ගෙදරින් එළියට ගිහින් බියර් එකක් බීලා, බීච් එකට වෙලා ඉඳලා රෑ වෙලා ගෙදර ඇවිත් මාත් එක්ක මුහුද ගැන කතාකරන හැටි.”

 

නිතාරා නිහඬවම ඈත බලාගෙන අහගෙන හිටියා… කලින් ඇතිවුණු දරාගන්න අපහසු තිගැස්ම ටිකෙන් ටික අඩුවෙමින් යන බව ඇයට දැනුනා.

 

“යන එන හැම තැනකම අම්ම එයාගෙ ලඟින් හිටියට හිතින් අප්පච්චි තනිවෙලා බව මට දැනෙනවා. ඇත්තටම අම්මගෙයි අප්පච්චිගෙයි ගැටළු මට, අපිට අදාළම නැහැ තමයි. මොකද ඒ දෙන්නම මටයි මල්ලිටයි හොඳම දෙමව්පියො. ඒත් ඇත්තටම මට ඒ ගැන නොහිතාම බැරි තැනකට ජීවිතේ මුහුණ දෙන්න වුණා නිතූ. මං ආස නෑ අප්පච්චි වගේ මනසින් තනිවෙන්න. මට ඕන වයසට ගිහිල්ලා හැරමිටියෙන් යන කාලෙකත් මගේ අතේ එල්ලිලා මුහුදු රැල්ල පාගන්න, ඔහේ ඈත ක්ෂිතිජය දිහා බලාගෙන ඉන්න ජීවන සහකාරියක්” අන්තිම වචන ටික බර කරලා කියද්දි විමංගගෙ මුහුණේ සිහින් සිනාවක් නැගුණා. 

 

තව තප්පර කිහිපයක නිහැඬියාවකින් පස්සෙ විමංඟ නැවතත් හඬ අවදි කළා.

 

“නිතූ, ඔයාට පුළුවන්ද හැමදාම, මැරෙනකන්ම මගේ ලඟින් ඒ විදිහට ඉන්න?” නිතූගේ මුහුණ දිහා කෙලින්ම බලපු විමංග ස්ථිර හඬකින් ඇහුවා.

 

මේ තරම්ම සෘජු ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවුණත් කොයි මොහොතක හරි මේ විදිහේ ප්‍රශ්නයකට උත්තර දෙන්න සිදුවෙන බව නිතාරට මීට මොහොතකට කලින් දැනුනා. ඒ නිසාම කම්මුල් දිගේ ගලාගෙන ගිය කඳුළු පේළි දෙකක් එක්ක වුණත් නිතාරගේ මුවගේ රැඳුණේ සිහින් මදහසක්. හිත හිතන්න බයම වුණු කාරණාව මේක වුණත් පහුගිය කාලය පුරාවටම ඇගේ හිතට වැඩිපුරම හිතුණෙත් ඔහු ගැනම නේද කියන කාරණාව නිතාරා සිනහව අතරින්ම සිහිපත් කළා. ඒත් විමංගගේ හිතේ එහෙම අදහසක් තියෙන බව නිතාරාට ඉරියව්වකින්වත් අඟවන්න ඔහු බයවුණු නිසාම විනාඩි කිහිපයකට පෙර ගෙවුණු මොහොත වෙනකල්ම විමංගගේ හිතේ මොනවගේ අදහසක් තිබුණාද කියන එක නිතාරා දැනගෙන හිටියේ නැහැ. ඇගේ හිත සැණකෙළියක් තරම් ප්‍රීතියෙන් වගේම කලබලයෙන් පිරිලා තිබුණා. ඒත් එක්කම ජීවිතේ ලොකුම දිනුමක් ලබපු තරම් හරිම සැනසිලිදායක හැඟීමකුත් ඇයට දැනුනා.

 

විමංගට කියන්න තිබුණු කතාවට වඩා නිතාරාට දෙන්න තිබුණ පිළිතුර සම්පූර්ණයෙන්ම වෙනස් වුණත් ඒ කතාන්දර දෙකේම ගමනාන්තයන් හරිම ලස්සනට එකතුවුණා.

 

“විමංග… “

 

“මගේ කතාව ඔයාට වඩා වෙනස්. ඔයා දන්නවා. මගේ අම්මයි තාත්තයි කියන්නෙ හරිම ලඟින් ඉන්න දෙන්නෙක්. ගෙදර සමහර ප්‍රශ්න වලදි අක්කලා, මම දරණ අදහස් අම්මලාගෙ අදහස් එක්ක ගැටුණත් අම්මයි තාත්තයි හැමදාම පුදුම විදිහට එකම මතය දැරුවා. ඒ දෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳටම ගැළපෙන ජෝඩුවක් විමංග. මම ආදරේ දැක්කෙ, ආදරේ ඉගෙන ගත්තෙ අම්මයි තාත්තයි ආදරේ කරන හැටි බලාගෙන ඉඳලා. මට හැමදාමත් ඕන වුණේ ජීවිතේ පුරාවටම ඒ විදිහේ සැනසීමක් විඳින්න පුළුවන් තැනක නතරවෙන්න.” 

 

ඔහු තවමත් එක එල්ලේ ඇගේ මුහුණ දෙසම බලාගෙන හිටියා. පුංචි තිගැස්මක් දැනුණත් නිතාරාත් ඔහුගේ ඇස් දිහා සෘජුව බලාගෙන කතාකළා. ඒ හැඟීම ගැන, මේ ගතවෙන මොහොත ගැන ඇයට හරිම ආශාවක්, ලෝභ කමක් දැනුනා.

 

“ඔයා ලඟ මට ඒ සැනසීම විඳින්න පුළුවන් බව මට දවසින් දවස දැනුනා”

 

“ඒ කියන්නෙ හාද?” විමංග ඇහුවේ පුංචි දරුවෙක් වගේ හුරතලයෙන්. 

 

නිතාරා ආයෙමත් ඈත මුහුද දිහා බලාගෙන හිනාවෙමින් පිටි අත්ලෙන් කඳුළු පිහදැම්මා. 

 

“අඬන්නෙ සතුටට නිසා මම කඳුළු පිහින්නෙ නෑ නිතූ. ඇරත් ඔයා හයිය කෙල්ලෙක් බව මම දන්නවා. ඉස්සරහට කවදාවත්ම ඔයාට මම නිසා අඬන්න නොවෙන බව මට විශ්වාසයි. ඒ වගේම මොකක්ම හරි හේතුවකට ඔයාගෙ ඇස් දෙකෙන් කඳුලක් වැටෙනවනම් ඒ කඳුළු පිහදාන්න මම ලඟ ඉන්න බවත් මට ඒ වගේම විශ්වාසයි. ඒක පොරොන්දුවක්.” 

 

නිතාර තවමත් හිටියේ ඈත මුහුද දිහා බලාගෙන. විමංග කියපු හැම වචනයක්ම ඇය තදින් ඇගේ හදවතේ සටහන් කරගන්න බව මුහුණේ රැඳුණු සිහින් සිනහවෙන්ම පෙනුනා.

 

“හරි… එහෙනම් යමුද රැල්ල පාගන්න?” විමංග ඇහුවේ පුරුදු සැහැල්ලු මුහුණ ආයෙත් හදාගෙන නිතාරගෙ දිහාට අතක් දික්කරන ගමන්.

 

“හා..” නිතාරා කවදාවත්ම අතහරින්නේ නැහැ කියන අධිෂ්ඨානයෙන් විමංගගේ අත උඩින් ඇගේ අත තිබ්බා.

 

 

ඊළඟ සතියට… 

 

 

හිමි අහිමි – 1 කොටස

හිමි අහිමි – 2 කොට​ස

 

 

හිමි අහිමි – 3 කොටස

හිමි අහිමි – 4 කොටස

 

හිමි අහිමි – 5 කොට​ස

හිමි අහිමි – 6 කොටස

 

හිමි අහිමි – 7 කොටස

හිමි අහිමි – 8 කොට​ස

 

හිමි අහිමි – 9 කොටස

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *