පරණ ටෙලිනාට්‍යවලින් අයිකන් වුණ චරිත 7ක්

දැන් ආයෙත් සුභාවිත ටෙලිනාට්‍ය කලාවක් ගැන කතාවක් ඇති වෙලා. එතකොට අපි පුංචි කාලේ බලපු පරණ ටෙලිනාට්‍ය ගැන කතා කෙරෙන්නෙත් ඉබේමයි. ඒවයේ හිටපු සමහර චරිත ඒ නළුවන්ගේ නම්වලින් අඳුරගන්නවටත් වඩා චරිතයෙන් අපිට සමීප වුණ අවස්ථා වැඩියි. ඉතින් අන්න ඒ වගේ චරිත කීපයක් ගැන මතකය අවදි කරගමු.



1.සූරසේන


පට් පට් ගාලා සම්තින් හොයන්න ලෑස්ති සූරසේන චරිතය නිරූපණය කළේ ශ්‍රියන්ත මෙන්ඩිස්. පළිඟු මැණිකේ ටෙලිනාට්‍යය තුළින් ජනප්‍රිය වුණ මේ චරිතය විවෘත ආර්ථික ක්‍රමයේ පැමිණීම පෙන්වන සංකේතාත්මක චරිතයක්. මේ ටෙලිනාට්‍යයේ තව විශේෂ චරිත කීපයක් ම තිබුණත් අදටත් හිට් වෙලා තියෙන්නේ සූරසේන. ඒකට හේතුව සමහරවිට අවුරුදු ගාණකට කලින් සූරසේනලා ගැන හරි ම පින්තූරය ඔහු විසින් පෙන්නපු නිසා වෙන්නත් ඇති.

 


2. චාපා


රතුරෝස ටෙලිනාට්‍යය කියන්නේ ඒ කාලේ පිස්සුවක්. ඒකෙත් ආදරණීය ම චරිතය චාපා. ඒ චරිතයට ඇති ආදරයට ගැහැනු පිරිමි භේදයක් නෑ. ඒ දවස්වල චාපා ගවුම්, චාපා හෙයාර් කට් පවා තිබුණා. චරිතයට පණ දුන්නේ වන්දනා ලියනාරච්චි. මේ ටෙලියේ හොඳ තේමා වාදනයක් එහෙමත් තිබුණා. අපි වන්දනාව චාපා විදියට විතරමයි ටෙලි කතා මාලාවකින් මේ තරම් ජනප්‍රියත්වයකින් දැක්කේ. ඊට පස්සේ ඈ රඟ නොපෑ තරම්.



3. පිංපොං


තට්ටු ගෙවල් කියන්නේ ස්වර්ණවාහිනියේ ස්වර්ණමය යුගය නියෝජනය කරපු වෙනස් ම විදියක කතාවක්නේ. ඕකේ ඉන්නෙත් එක එක විදියේ මිනිස්සු. ඒ අතරේ අයිකන් එක තමයි පිංපොං. රජිත හිරාන් තමයි චරිතයේ හැබෑ අයිතිකාරයා. එයා කතාබහ කරපු විදිය, දාන ඇක්ෂන් ටික තමයි ගාණට චරිතය නග්ගලා ගත්තේ. ගොඩක් අය කියන විදියට රජිත හිරාන්ගේ හොඳ ම රඟපෑමත් පිංපොං.



4. අහිංසා


නාලන් මෙන්ඩිස්ගේ සත්පුරවැසියෝ චිත්‍රපටයේ යශෝධා විමලධර්මගේ චරිතය තමයි අහිංසා. යශෝධා දැන් දීප්තගේ යශෝදරා අක්කා විදියට ප්‍රසිද්ධ වෙලා හිටියට මොකෝ පරම්පරාවක් ම ඇයව දන්නේ අහිංසා විදියට. මේ අහිංසා ව අන්තිමේ හැම තැන ම කියවුණ නමක් බවට පත්වෙන්නේ ඇඩ් එකක පන්ච් ලයින් එක විදියට “අහිංසා ඔයා” ආවට පස්සේ.



5. මුතුමිණ


යථා කාලයේ තථා අයුරින් යමක් සිද්ධ වෙනවා කියලා හැම වෙලේ ම කිය කියා ඉඳලා අන්තිමට වැලේ වැල් නැති වුණ මුතුමිණ ජ්‍යොතිෂය මහත්තයා මතක ඇති. ජයලාල් රෝහණ තමයි මේ චරිතය කරේ. ඔහුගේ තවත් සුපිරි චරිතයක් වුණා සඳගලතැන්න එකේ ග්‍රාමසේවක චරිතය. ඒත් ඒකට වඩා මේක සෙට් වෙන්න හේතුව ටෙලියේ ප්‍රධාන චරිතයක් වීම කියලා හිතනවා  ඕකෙන් මේකෙන් නාට්‍යයේ නම අමතක වුණා. ඒ තමයි ඉසුරු යෝගය.



6. ඕලු

මංජුලා කුමාරි මේ චරිතයත් එක්ක කොච්චර පෑහුණද කියනවා නම්, ඒ චරිතය මිනිස්සුන්ට කොච්චර පිස්සුවක් වුණා ද කියනවා නම්, ඒ නිළියගේ ඇත්තම නම වෙනුවට අදටත් පාවිච්චි කරන්නේ “ඕලු” කියන නම. සුරාජ් මාපා එක්ක ඕලු චරිතය එළියට එන්නේ ස්වර්ණවාහිනියේ ඒ නමින් ම තිබුණ ටෙලිනාට්‍යයෙන්. මංජුලාට මේ තරම් ජනප්‍රියතාවක් උරුම කරලා දුන්න වෙනත් ටෙලියක් නැති තරම්. 



7. ප්‍රේමචන්ද්‍ර


ලෝකයේ ජනප්‍රිය ටීවී සීරිස් ශානරයක් වන සිට්කොම් එකක හොඳම අත්දැකීම අපි ලැබගත්තේ නෝනාවරුනි මහත්වරුනි ටෙලියෙන් කියල කිව්වොත් ඒකේ ඇති වැරැද්දක් නෑ. එතනත් ප්‍රේමචන්ද්‍රගේ විහිළු තමයි ගාණට ම කතාව ඉස්සරහට අරගෙන ගියේ. ප්‍රේමචන්ද්‍රට පණ පෙව්වේ නැසීගිය විජය නන්දසිරි. ප්‍රේමචන්ද්‍ර එදා සල්ලි ගැනපු විදියෙන් ම මේ ලියමන ඉවර කරන්නම්.

තවුසන් තවුසන් ටූ තවුසන්
ටූ තවුසන් වන් ත්‍රි තවුසන්
ත්‍රී තවුසන් ටූ ෆයිව් තවුසන්
​කොඩියා නටයි ජවුසන්‍


Leave a Reply

Your email address will not be published. Required fields are marked *