කතාවක් තියනවා අසාර්ථකත්වයට වඩා මිනිස්සුන්ව විනාශ කරන්න සාර්ථකත්වයට පුළුවන් වෙලා තියනවාය කියලා. ඒ කතාව හරි ද වැරදිද කියන්න තරම් විශ්ලේෂණයක් අපි කරල නැති වුණත්, සමහර ජනප්‍රිය චරිතවල ජීවිත කතා දිහා බැලුවහම ඒ කතාවෙත් යම්කිසි ඇත්තක් තියනවාය කියලත් හිතෙන අවස්ථා තියනව. අපි මේ කියන්නේ ලෝ පුරා දහසක් රසිකයින්ගේ ආදරය දිනපු නමුත්, තමන්ගේ ජීවිතයට ආදරය නොකරපු නිසා මත් රකුසාට යටවුණු ජනප්‍රිය බොලිවුඩ් චරිත කීපයක් ගැන. මේ අයගෙන් සමහරු මේ වෙද්දි තමන්ගේ ඇබ්බැහියන් වලක්වාගෙන ජීවිතේ විඳින්න උත්සාහ කරමින් සිටීමම සතුටට කරුණක්.
1. සංජේ දත්
සංජේ දත් තරම් බොලිවුඩයේ ආන්දෝලනයක් මැවූ නළුවෙක් සමහරවිට නැතුව ඇති. මේ ආන්දෝලනයන් ඔහු මැවුවෙ ඔහු රඟපෑ චරිත හින්දා නම් නෙමෙයි, ඔහුගේ සැබෑ ජීවන චරිතය නිසයි (මේ සම්බන්ධයෙන් චිත්‍රපටයකුත් හැදුනනෙ ‘සංජු’ කියලා). සංජේ දත් කියන්නේ මත් පැන් වලට විතරක් නෙමෙයි, නොයෙකුත් මත් ද්‍රව්‍ය වලටත් තදින්ම ඇබ්බැහි වෙලා හිටපු පුද්ගලයෙක්. ලෝකේ තියන මත් ද්‍රව්‍ය වලින් සංජේ පාවිච්චි නොකරපු මත් ද්‍රව්‍යයක් නැහැ කියලයි ඔහු කියන්නෙ. සංජේගේ සිනමා ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් නොයෙකුත් අසාර්ථකත්වයන් සහ විනාශයන්ට මූලික වෙන්නෙ මේ ඇබ්බැහිය තමයි. ඔහුගේ ප්‍රේම සම්බන්ධතා බිඳී යනව, හිරේ විලංගුවේ පවා වැටෙනවා වෙනත් වැරදි නිසා. සංජේ දත්ගේ පියා වෙච්ච සුනිල් දත් සංජේගේ ඇබ්බැහියෙන් මුදවන්න විදෙස් ප්‍රතිකාර පවා ලබා දෙනව.
කොහොම වෙතත් සංජේ දත් මේ වෙද්දි මත් ද්‍රව්‍ය වලින් මිදුණු ජීවිතයක් ගත කරනව කියලයි ඔහු කියන්නෙ. තමන්ගේ පවුලට, වෘත්තියට සහ ජීවිතයට ආදරය කරන එක කොකේන් වලට වඩා ආශ්වාදජනකයි කියලයි සංජේ දත් වර්තමාන තරුණ පරපුරට අවවාද කරන්නෙ.
2. රාජේෂ් ඛන්නා
බොහෝ සිනමා විචාරකයන් රාජේෂ් ඛන්නාව හඳුන්වන්නේ බොලිවුඩයෙන් බිහිවුණු පළමු සහ එකම සුපිරි තරුව කියලයි. එක දිගට අති සාර්ථක චිත්‍රපටි 15ක් රඟපාලා රාජේෂ් තිබ්බ වාර්තාව කඩන්න අනාගතේදිවත් බොලිවුඩ් නළුවෙක්ට බැරිවෙයි කියලයි ඒ අය කියන්නෙ. රාජේෂ් ඛන්නාගේ ජීවිතයේ අසාර්ථකත්වයට මුල පිරුවෙත් ඔහුගේ මේ අති සාර්ථකකමයි. තරුණියන්ගේ ආකර්ෂණය, නොනවතින ප්‍රේක්ෂක ප්‍රතිචාර, මිල මුදල් වගේම නිම කරන්න බැරි තරම් චිත්‍රපට ගොඩකුත් රාජේෂ් ඛන්නාට ලැබෙනවා රඟපාන්න. මේ සියල්ල අතරේ අතිශය කාර්යබහුල වෙන ජීවිතයේ වෙහෙස නිවාගෙන හිතවතුන් එක්ක සතුටු සාමිචියක යෙදිලා සැහැල්ලු වෙන්න ඔහු තෝරාගන්නේ මත්පැන් පානයයි. රාත්‍රී එළිවෙනකම් දිනපතා සිදු කෙරුණ මේ මධු සාද නිසා රාජේෂ් ඛන්නාට සමහරවිට පසුදා රූගත කිරීම් වලට යන්න වෙන්නේ පැය ගණන් ප්‍රමාද වෙලයි. ඒත් එක්කම ටිකෙන් ටික ඔහුගේ චිත්‍රපටි අසාර්ථක වෙන්නත් පටන් ගන්නවා, කාලයක් ඔහුත් එක්ක හිටපු පෙම්වතිය ඔහුගෙන් ඈත් වෙනවා. ඩිම්පල් කපාඩියා එක්ක සිද්ධ වෙන විවාහෙත් හැල හැප්පිලි ගොඩක් වෙනවා. පසු කාලෙක සිනමාවට ආපු අමිතාබ් බච්චන් හින්දි සිනමාවෙ අංක එකට නගිනවා.
බොලිවුඩයෙන් බිහිවෙච්ච ප්‍රේමාන්විතම නළුවා වෙච්ච රාජේෂ් ඛන්නාට තමන්ගේ ජීවිතයට ප්‍රේම කරලා, තමන් ඇබ්බැහිවෙලා හිටපු මධු පානයෙන් කවදාවත් ගැලවෙන්න ලැබෙන්නෙ නැහැ. ඔහු අවසායේදි මිය යන්නෙත් මත්පැන් පානය නිසාම වැළඳුණු අක්මා රෝගයකින්.
3. පූජා භාත්
පූජා භාත් කියන්නේ 90 දශකයේ බොලිවුඩයේ හිටපු අතිශයින් සුරූපී නිළියක් වගේම ප්‍රසිද්ධ මෝස්තර නිරූපිකාවක්. යුරෝපීය පෙනුමකට සමාන පෙනුමත් එක්ක ඇයට තිබුණ අහිංසක බව සහ සරාගී බව මුසු වුණ පෙනුම ඒ කාලේ බොලිවුඩ් නිළියන් අතර දකින්නට නොලැබුණු පෙනුමක්. බොහොම නිදහස්කාමී පවුල් පරිසරයක් හැදුණු වැඩුණු පූජා භාත්ට සහ පවුලේ අයට වයින්, බියර් වගේ මධ්‍යසාර කියන්නේ බොහොම සාමාන්‍ය දේවල් බවට පත්වෙලයි තිබුණේ. ඇය වයස අවුරුදු 16 විතර පටන් මත්පැන් පානය කරල තියනවා. අන්තිමේදි බොලිවුඩයේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඇගේ මේ පුරුද්ද තවත් වර්ධනය වෙනවා. සාර්ථකත්වයේදි මෙන්ම අසාර්ථකත්වයේදිත් ඇගේ සතුට සමරන්නත් දුක නිවාගන්නත් පිහිටට එන්නේ ෂැම්පේන්, විස්කි වගේ මත්පැනුයි. වයස 40 ගණන් වලට ලං වෙද්දිත් බොහෝ බොලිවුඩ් නිළියන් කෙල්ලො වගේ හිඳිද්දි පූජා භාත්ගේ සුන්දර පෙනුම එන්න එන්නම වියැකෙන්න පටන් ගන්නව. අවසානෙදි ඇගේ පියා එවපු කෙටි පණිවුඩයක් නොවන්නට ඇගේ ජීවිතය වුවත් මත්පැනේ ගොදුරක් වෙන්න තිබුණා කියලයි ඇය කියන්නෙ.
‘මට ආදරේ නම් ඔයාගෙ ජීවිතේට ආදරේ කරගන්න, මොකද ඔයා ඇතුළේ මම ජීවත් වෙන නිසා’
ඒ තමයි පූජා ගේ ජීවිතය වෙනස් කරපු කෙටි පණිවුඩය. මේක කියවපු පූජා තමන්ගේ ජීවිතේ ගැන ගැඹුරින් කල්පනා කරල බලන්න පෙළඹෙනව. 2016 අවුරුද්දේ ඉඳන් මේ වෙනකන් ඇය මත්පැන් වලින් වැළකිලා ජීවිතේ අලුතින් විඳින්න පටන් අරන් තියනවා.
4. යෝ යෝ හනී සිං
ලංකාවෙත් අතිශයින් ජනප්‍රිය වෙච්ච ‘ලුංගි ඩාන්ස්’ ඇතුළු ගීත රැසක නිර්මාණකරුවා තමයි යෝ යෝ හනී සිංග්. මීට අවුරුදු හත අටකට එපිට බොලිවුඩයේ හිටපු සුපිරිම ගායන තරුව වෙච්ච හනී සිං කරන කරන නිර්මාණය සුපර් හිට් එකක් වුණා. ඔහු තරම් ඉක්මනට සාර්ථකත්වයේ ඉහළටම නැග්ග ගායන සුපිරි තරුවක් හිටියාද කියලත් සැකයි. සාර්ථකත්වය සොයාගෙන ගමනක් ගිය හනී සිං අවසානේදී ඒකෙම ගොදුරක් වෙනවා. ඔහු අධික විදිහට මත්පැනට ඇබ්බැහි වෙනවා. මත්පැන් හින්දම ඔහුගේ සැඟවිලා තිබ්බ මානසික දුර්වලතාවයකුත් එන්න එන්නම වර්ධනය වෙන්න පටන් ගන්නවා. ද්විධ්‍රැව අක්‍රමය, එහෙමත් නැත්නම් බයිපෝලාර් ඩිස්ඕඩර් නම් මානසික රෝගයේ දරුණු ගොදුරක් බවට ඔහු පත්වෙනවා. දස දහස් ගණන් රසිකයෝ ඉදිරියේ රඟ දක්වමින් ගායනයන් කරපු හනී සිං ට මිනිස්සු හතර පස් දෙනෙක්ටවත් මුහුණ දෙන්න බැරි තරම් මානසික අපහසුවක් ඇති වෙනවා. අන්තිමේදි ඔහු තීරණය කරනවා සියල්ලෙන් ඈත් වෙලා රහසිගතව ජීවත් වෙන්න. 2014 අවුරුද්දෙදි මේ තීරණය අරගත්තට පස්සේ ගෙවුණු කාලය බොහොම අඳුරු කාල පරිච්ඡේදයක් කියලයි හනී සිං කියන්නෙ.
‘මට බය හිතුනෙ මගේ සුපිරි තරු ජනප්‍රියතාවය නැති වෙයි කියල නෙමෙයි, මට මාව නැතිවෙයි කියලයි’
හනී සිං එහෙම කියනව. මේ වෙද්ද වසර දෙකක පමණ නිහැඬියාවකින් පස්සෙ ඔහු නැවත ක්ෂේත්‍රයට පිවිසිලා ජනප්‍රිය නිර්මාණ කීපයකටම දායක වෙලා තියනවා.
5. දිව්‍යා භාරතී
අවුරුදු 19ක් වගේ ලාබාල වයසකදී සියල්ල ලබාගෙන සියල්ල අතහැරපු දිව්‍යා භාරතීගේ මරණය අදටත් අභිරහසක්. අහිංසක හුරුබුහුටි පෙනුම නිසා ඉතාම කෙටි කලකින් බොලිවුඩයේ වැඩිම ගෙවීමක් ලබන නිළිය බවට පත්වුණු දිව්‍යා මිය යන්නේ ඇය ජීවත් වූ නිවාස සංකීර්ණයේ 5 වෙනි මහලේ බැල්කනියෙන් ඇද වැටීමෙන්. ඇගේ මරණය මිනීමැරුමක් හෝ සිය දිවි නසා ගැනීමක් යැයි බොහෝ පිරිස් අදටත් විශ්වාස කරනවා. නමුත් මරණයට හේතුව හැටියට වඩාත් විශ්වාසනීය කාරණය වෙන්නේ ඇය බීමත්ව සිට බැල්කනියෙන් පහළට ඇද වැටුනාය කියන එකයි. දිව්‍යා භාරතී මත්පැනට ඇබ්බැහි වෙලා හිටි බවක් ඈව ආශ්‍රය කරපු බොහෝ දෙනෙක් දැන ගන්නෙත් ඇගේ මරණයෙන් පස්සෙයි. දරා ගැනීමට නොහැකි තරමට ලැබුණු අසීමිත ජනප්‍රියතාවත් එක්ක සමහර විට ඇය මත්පැනට යොමු වෙන්නට ඇති. ඒත් එක්කම ඉතා තරුණ වියේදීම ඇය සිනමා අධ්‍යක්ෂක සජීඩ් නදියාවාලා එක්ක විවාහ වෙනවා. ඒ විවාහ ජීවිතයත් හැල හැප්පිලි සහිත එකක් බවයි පැවසෙන්නේ. ඒ වගේම අවසාන කාලයේදී දිව්‍යා භාරතී තමන්ටම නොයෙකුත් හානි කරගන්න පෙළඹිලා තිබ්බා කියලා ඇගේ සමීපතමයන් කියනවා. මේ සියල්ල ඇගේ මත්පැන් ඇබ්බැහිය නිසා වර්ධනය වෙච්ච ඒවාද නැද්ද කියන එක ඇගේ මරණයත් එක්ක වැළලුණු අභිරහසක්.
6. මනීෂා කොයිරාල
‘1942 අ ලවු ස්ටෝරි’ චිත්‍රපටය හින්දි සිනමාවට පෙම්වතියගේ අලුත් ස්වරූපයක් තෑගි කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය මනීෂා කොයිරාලගේ පළමු චිත්‍රපටය නොවුණත් ඇගේ ජනප්‍රියත්වයට පාර කපපු චිත්‍රපටය වුණේ එයයි. මනීෂා කියන්නේ තමන්ට ලැබෙන හැම චරිතයටම උපරිම සාධාරණත්වයක් ඉටු කරපු නිළියක්. ඒ හින්දාම ඇයට නොයෙකුත් සම්මාන වගේම ප්‍රේක්ෂක ආදරයත් හිමිවුණා. ඇය කොයිතරම් කාර්බහුල වුණාද කියනවනම් ඇගේ සැබෑ ජීවිතය සහ කැමරාව ඉදිරියේ ජීවිතය බෙදා වෙන්කර තේරුම් ගැනීමට අපහසු තරම් වියවුලකට ඇය පත්වුණා. ඒත් එක්කම ස්වභාවයෙන් ඈ තුළ තිබුණ ලැජ්ජාශීලී ගතියත් එක්ක සමාජශීලී වෙන්න ඇයට මත්පැන් යම් උදවුවක් වෙලා තිබුණ බවයි ඇය කියන්නේ. පූජා භාත් වගේම මනීෂා කොයිරාලත් ක්‍රම ක්‍රමයෙන් සාර්ථකත්වයේදී මෙන්ම අසාර්ථකත්වයේදීත් එය විඳදරාගැනීමට මත්පැන් ළංකර ගත්ත කෙනෙක්. ඇගේ ප්‍රේම සම්බන්ධතාවයන් එකින් එක අසාර්ථක වීමත් එක්ක මත්පැන්, දුම්වැටි එක්ක ඇගේ තිබුණ සම්බන්ධතාවය එන්න එන්නම දැඩි වුණා. ඇගේ විවාහ දිවිය අසාර්ථක වීම මේ මධුලෝලීත්වය වෙනත්ම මට්ටමකට ඉහළ දමන්න සමත් වුණා. අවසානයේ ඇය දරුණු පිළිකා රෝගයකිනුත් බැට කෑවා.
මනීෂාගේ ජීවිතය වෙනස් කරන්න සමත් වුණෙත් මේ පිළිකා තත්ත්වයමයි. ඒකත් එක්ක දරුණු සටනක නිරත වෙච්ච මනීෂා අවසානයේ ජයගත්තා. ඒ වගේම මත් පැනුත් තමන්ගේ ජීවිතෙන් ඈත් කරන්න ඇය සමත් වෙලා තියනවා. මේ වෙද්දී මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට ඇය ක්‍රියාකාරී වැඩ කොටසක් සිදු කරනවා.
7. මීනා කුමාරි
1960 දශකයේ බොලිවුඩය තුළ අති සාර්ථක නිළියක් වුණු මීනා කුමාරිව මෙරට රසිකයින් හැඳින්වුවේ ‘බොලිවුඩයේ කඳුළු බින්දුව’ නමින්. මීනා කුමාරිට බොහෝ විට තිරය මත රඟන්නට සිද්ධ වුණේ ශෝකාන්විත චරිත තමයි. තිරයේ චරිත වලින් එපිටට ගොස් ඇගේ ජීවිත කතාවට අවධානය යොමු කළොත් එහිත් එම ශෝකී රසය ඊට වඩා කිහිප ගුණයකින් තිබුණ බව තමයි දැන ගන්නට ලැබෙන්නේ. කුඩා කාලයේ පටන් දුෂ්කර සහ දුක්ඛිත අත්දැකීම්වලට මුහුණු දීමෙන් ඇගේ ජීවිතයේ පැළපදියම් වුණු ශෝකී ස්වභාවය 38 වියැතිව ඇය අකාලයේ මිය යන තුරුම ඇගේ ජීවිතයෙන් ඈත්ව තිබුණේ නැහැ. මීනා කුමාරි දැඩි ලෙස මත්පැන්වලට ඇබ්බහිව සිටි තැනැත්තියක්. නින්ද නොයාමේ අපහසුතාවයකින් පෙළුණු මීනා කුමාරිට ඇගේ වෛද්‍යවරයා විසින් රාත්‍රියේදී බ්‍රැන්ඩි ස්වල්පයක් පානය කිරීමට නිර්දේශ කිරීම ඇයගේ මේ ඇබ්බැහියට මුල් වුණු කරුණ හැටියටයි පැවසෙන්නේ. මීනාගේ පෞද්ගලික ජීවිතයේ සම්බන්ධතාවල බිඳ වැටීමත් සමගම ඇගේ මත් ලෝලීත්වයත් දිනෙන් දිනම වැඩි වර්ධනය වුණා. අවසානයේ 1972 මාර්තු 31 වැනිදා ඇය මරණයට පත් වනවා. ඇගේ මරණයට හේතුව වන්නේ උග්‍ර මත්පැන් පානය නිසා ඇති වූ සිරෝසීස් රෝගී තත්ත්වයක්.
Leave a Reply