ලංකාවේ විතරක් නෙවෙයි, දකුණු ආසියාවේ විතරක් නෙවෙයි, සමස්ත ලෝකෙම තියෙන සමහර ප්‍රශ්න තියෙනවා. ඒකෙන් එකක් තමයි කාන්තා පාර්ශවයට වැඩිවිය පැමිණුනාට පස්සේ ආර්ථවහරණය වෙනකල්ම අත්දකින්නට ලැබෙන ආර්ථවය, එහෙම නැතිනම් ඔසප් වීම, එහෙම නැතිනම් මෙන්සස් වීම, එහෙම නැතිනම් පීරියඩ්ස් ගැන ලෝකේ තියෙන පසුගාමී අදහස. මේ පීරියඩ්ස් හැදෙන කාලෙදී කාන්තාවක් අපවිත්‍ර, අපිරිසිදු ලෙසින් සැලකීම ලෝකේ බොහෝමයක් රටවල දකින්න ලැබෙන දෙයක්. ඒ වගේම පීරියඩ්ස් කියන්නේ බොහොම රහසිගතව තියාගන්න ඕන, ලැජ්ජා හිතෙන කාරණයක් කියන එකත් ගොඩක් මිනිස්සුන්ගේ ඔලුවට තියෙනවා. ඒකනේ පෑඩ්ස් පැකට් එකක් ඉල්ලුවත් ඒක බෝම්බයක් වගේ හොයාගන්න බැරි වෙන්න පාර්සල් කරලා, බ්‍රවුන් පේපර් වල ඔතලා දෙන්නේ!
මේක ඇත්තටම කතා කළ යුතු මාතෘකාවක්. ඒත් අපි කතා කරන්න යන්නේ ඒ ගැනම නෙවෙයි. ඇත්තටම ඇයි කාන්තාවන්ට විතරක් ඔසප් වෙන්නේ? පිරිමින්ටත් ඔසප් වෙන්න බැරිද?
1. මොකද්ද ඇත්තටම ඔසප් වෙනවා කියන්නේ?
සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකුගේ පළමු ඔසප් වීම නැතිනම් මල්වර වීම කියන්නේ ගැහැණු ළමයෙක් දරුවන් බිහිකරන්නට යෝග්‍ය ලෙසින් වැඩිවිය පැමිණිලාය කියන කාරණයයි. ඔසප් වීම ඇත්තටම සම්බන්ධ වෙන්නේ ප්‍රජනන කාර්යයට තමයි. වැඩිවිය පැමිණි ගැහැණු දරුවෙකුගේ ශරීරය තුළ නිර්මාණය වෙන ඩිම්බයක් පරිණත වුනාට පස්සේ පිටතට පැමිණිලා පැලෝපීය නාලයට ඇතුළු වෙනවා. එහෙම ඇවිත් ඒ ඔස්සේ ගර්භාෂය දෙසට පැමිණෙනවා. දැන් මේ ඩිම්බයක් ශුක්රානුවක් එක්ක සංසේචනය වුනොත්, ඒකෙන් හැදෙන යුක්තානුව තමයි ගර්භාෂයේ තැන්පත් වෙලා දරුවෙකු බවට වර්ධනය වෙන්නේ. එතකොට මේ සිදුවීමට පෙර කාලය තුළදී පිළිසිඳගැනීමකට යෝග්‍ය වෙන විදියට ගර්භාෂයේ ඇතුළත බිත්ති ඝන වෙන්න පටන් ගන්නවා. හැබැයි පරිණත ඩිම්බයක් ශුක්රානුවක් එක්ක සංසේචනය නොවුණොත්, ඉන් පස්සේ ගර්භාෂයේ ඇතුළත බිත්ති කැඩිලා ඒ කොටස් සහ ඩිම්බය රුධිරය එක්ක යෝනි මාර්ගය ඔස්සේ පිටතට පැමිණෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඔසප් වීම කියලා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් යෝනි මාර්ගයෙන් මේ විදියට රුධිරය පිටවීම නැතිනම් ඔසප් වීම දින 2-6 ත් අතර කාලයක් තියෙන්න පුළුවන්. එතකොට ඔසප් චක්‍රයක් නැතිනම් ඔසප් වීම් දෙකක් අතර කාලය සාමාන්‍යයෙන් දින 26-32 ත් අතර වගේ තමයි වෙන්නේ. හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්.
2. කාන්තාවන්ට ඔසප් කාලෙදි අත්දකින්න වෙන වෙනස්කම් මොනවද?
Premenstrual syndrome නැතිනම් PMS කියන්නේ, කාන්තාවන් බොහෝ දෙනෙක්ට ඔසප් කාලයට සතියකට හෝ දෙකකට පෙර අත්දකින්න සිද්ධ වෙන කායික සහ මානසික ලක්ෂණ එකතුවකට. හැමෝටම මේක අදාළ වෙන්නෙ නැති වුනත්, එක්ස්පර්ට්ස්ලා කියන්නේ සාමාන්‍යයෙන් 90% විතරම කාන්තාවන් PMS තත්ත්වය අත්විඳිනවා කියලා තමයි. මේ PMS තත්ත්වයත් කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. යම් කාන්තාවක් බොහොම බරපතළ විදියට PMS ලක්ෂණ අත්විඳිනකොට, තවත් කෙනෙක්ට ඒ තරම් සීරියස් විදියට මේක බල නොපාන්න පුළුවන්.
3. මොනවගේ ලක්ෂණද?
සාමාන්‍යයෙන් කාන්තාවන්ට PMS තත්ත්වයේදී මූණ දෙන්න වෙන භෞතික ලක්ෂණ වෙන්නේ, ඉදිමුණු හෝ මෘදු බවට පත්වුණු පියයුරු, මළබද්ධය හෝ බඩ බුරුල් වීම, ගෑස් ගතිය, කෙණ්ඩා පෙරලීම, කොන්ද රිදීම හෝ හිසරදය, කුසීත භාවය වගේ දේවල්. හැබැයි ඊට වඩා වැදගත් මානසිකව සිදුවන වෙනස්කම්. බොහොමයක් වෙලාවට PMS තත්ත්වයට මුහුණ දෙන කාන්තාවකට නිතර තරහ යෑම, නුරුස්නා ස්වභාවයෙන් යුක්ත වීම වෙන්න පුළුවන්. එතකොට කොතෙකුත් වෙහෙස ගතිය දැනීම, නින්ද වැඩිපුර යෑම හෝ නින්ද නොයාම සිද්ධ වෙන්න පුළුවන්. කෑම අරුචිය වගේම යම් යම් කෑම සඳහා දැඩි වුවමනාවක් ඇතිවීමත් වෙන්න පුළුවන්. ඒකාග්‍රතාවයෙන් වැඩ කරන්න අසීරු වීම, මතකයේ ගැටළු එහෙමත් ඇතිවෙන්න පුළුවන්. මානසික ආතතිය සහ කැළඹිලි ගතියත් ඇතිවිය හැකි ලක්ෂණය. සමහර කෙනෙක්ට ඉතාමත් දුක්බර වීම, විශාද තත්ත්වය සහ නිතර හඬන්නට සිතීමත් විය හැකියි. බොහෝමයක් වෙලාවට මූඩ් මාරු වීම, ඒ කිව්වේ මනෝභාවයන් ඉක්මනින් වෙනස් වීමත් PMS තත්වයේදී දකින්නට පුළුවන්.
4. එතකොට පිරිමින්ට ජීවවිද්‍යාත්මකව ඔසප් වෙන්න පුළුවන්ද?
මේකට උත්තරය සරලයි. පිරිමි ජීවවිද්‍යාත්මකව ඔසප් වීමේ අත්දැකීමකට මුහුණ පාන්නේ නැහැ. අපි කතාකරන්නේ සංක්‍රාන්ති ලිංගිකයන් හෝ වෙනත් එවැනි අය ගැන නෙවෙයි හැබැයි. ඒ කියන්නේ කොටින්ම පිරිමියෙකුගේ ප්‍රජනන පද්ධතිය කාන්තාවකගේ ප්‍රජනන පද්ධතියෙන් වෙනස්. ඒ නිසා කාන්තාවගේ සිදුවන විදියේ ඔසප් චක්‍රයක් පිරිමියෙක්ගේ ශරීරයේ සිද්ධ වෙන්න ඉඩක් නෑ. ඒ නිසා භෞතිකව මාසෙකට වරක් රුධිරය පිටවීමක් පිරිමියෙක්ට අත්දකින්න සිද්ධ වෙන්නෙ නෑ!
5. මානසිකව පිරිමින්ට ඊට සමාන අත්දැකීමකට මුහුණ දෙන්න ලැබෙනවද?
ඇත්තම කිවුවොත් දැන් දැන් විද්‍යාඥයෝ කියනවා, කාන්තාවන්ගේ ඔසප් වීමට කලින් සමහර වෙලාවට අත්විඳින්න ලැබෙන ලක්ෂණ නැතිනම් PMS තත්ත්වය යම් විදියකට පිරිමින්ටත් අත්විඳින්න ලැබෙනවා කියලා. ඒ කියන්නේ අර උඩින් කියලා තියෙන විදියට භෞතිකව ඔසප් වීමක් පිරිමින්ට සිද්ධ නොවුණත්, PMS තත්ත්වයක් සමහර පිරිමින්ට අත්විඳින්නට ලැබෙනවාලු. මේකට නමකුත් තියෙනවා. IMS නැතිනම් Irritable Male Syndrome කියලා තමයි ඒකට කියන්නේ. මේකත් හෝමෝනමය තත්ත්වයක් තමයි. මේ සිදුවීමේදී පිරිමින්ගේත් මානසික වෙනස්කම් දකින්න පුළුවන්. ඒ කියන්නේ තරහ යෑම, නුරුස්නා සුළු බව, මූඩ් ඉක්මනින්ම වෙනස් වීම වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි, දුකින් පසුවීම, විශාදීමය තත්ත්වය, සිතේ කැළඹිලි සහගත බව වගේම අඩු ආත්ම විශ්වාසය සහ ආත්ම සම්මානයත් මේ IMS තත්ත්වයත් එක්ක දකින්න ලැබෙනවා.
6. මොකද්ද හේතුව පිරිමින්ට මානසිකව එහෙම තත්ත්වයක් ඇතිවෙන්න?
පිරිමියෙක්ගේ පිරිමි භාවයට වගකියන්න ඕන ප්‍රධානතම හෝමෝනය ටෙස්ටොස්ටෙරෝන්නේ. හැබැයි පිරිමියෙක්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම හැම වෙලාවකම එකම විදියට තියෙන්නේ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, විද්‍යාඥයෝ කියන විදියට පිරිමියෙක්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම උදේ වරුවේ ඉහළ නගින්න සහ හවස් වරුවේ පහළ බහින්න පුළුවන් ලු. ඒ වගේම දවස් අනුවත් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ පහළ යන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ කියනවා. ඉතින් එතකොට මේ පිරිමි ආර්ථව ලක්ෂණ නැතිනම් IMS තත්ත්වය ඇතිවෙන්නත් ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ ටෙස්ටොස්ටෙරෝන් විචලතාවයන්, හරියටම කිවුවොත් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහළ බැසීම කියලා සමහරු කියනවා. ඒකත් වෙන්න පුළුවන් දෙයක්නේ, නැද්ද?
7. ඉතින් ඇයි අපි මේ ගැන කතා කරන්නේ?
අපි මේ ගැන කතාකරන්නේ ඉතාමත්ම සරල කාරණාවක් නිසා. අපි කාන්තාවන්ට මාසිකව අත්විඳින්න සිද්ධ වෙන ඔසප් වීම ගැන කොයි තරම් අවධානයක් යොමු කරනවද? ඔසප් වීම කියන්නේ කාන්තාවකට සෑම මාසෙකටම වරක් අත්විඳින්න වෙන බොහොම අසීරු දින කීපයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එතකොට අපි උඩින් කියපු විදියට PMS තත්ත්වයේ ශාරීරික සහ මානසික තත්ත්වයන්ටත් මුහුණ දෙන්න කාන්තාවකට සිද්ධ වුනහම තත්ත්වය කොහොමද? හැබැයි ගොඩක් කාන්තාවන් කිසිම පැමිණිල්ලක් නැතුව, තමන්ට ශාරීරික සහ මානසික අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙන මේ අසීරු කාලය විඳදරා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ වැඩ කටයුතු සහ වගකීමුත් ඉෂ්ට කරනවා.
ගොඩක් වෙලාවට පිරිමි කාන්තාවන්ගේ මේ අසීරුතාවය ගැන අවිඥාණිකයි කියන එක අමුත්තක් නෙවෙයිනේ. ගොඩක් වෙලාවට මේ දවස් වලට කාන්තාවකට පොඩ්ඩ බැරිවුනහම කේන්ති ගියත්, පිරිමි ඒකට එකට එක කරන්න, අනික් පැත්තට කේන්ති ගන්න යනවා මිසක් ඇත්තටම ඇය ඉන්න තත්ත්වය ගැන හිතන්නේ නෑ.
හැබැයි ඒක වෙනස් වෙන්න ඕන. දැන් කාලය හරි කාන්තාවකගේ ඔසප් වීම සහ ඒ එක්ක සිද්ධ වෙන ශාරීරික හා මානසික සංකූලතාවයන් ගැන පිරිමි මීට වඩා හිතන්න. ඔසප් වීම කියන්නේ කිලිටි, අශුද්ධ දෙයක් විදියට දකින හණමිටි අදහස් බැහැර කරන්න. ආන්න ඒකට හොඳ ප්‍රවේශයක්, පිරිමින්ටත් අඩු තරමින් මානසිකව හරි මේ වගේ තත්ත්වයක් අත්විඳින්න වෙනවාය කියන එක තේරුම් ගන්න එක.
Leave a Reply