ලොකු වැඩි වීම නිසා කොල්ලන්ට කරදර සිදුවෙන දේවල් 7ක්

ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියනවනෙ. අපි මේ කියන්න යන්නෙ අන්න ඒ විදියෙ දේවල් ටිකක්. මෙන්න මේ දේවල් සයිස් එකෙන් ලොකු වුනොත් කොල්ලොන්ට කරදරෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙ. මේ කියන දේවල් ලොකුවට නැති සමහරු හිතාගෙන ඉන්නව ඇති මේක ෂෝක් කියල. හැබැයි මේවා ලොකු අය තමයි දන්නෙ ලොකුවට තියෙද්දි රඟේ. අන්න ඒ නිසායි අපි මේ ලැයිස්තුව ලියන්නෙ. ඇත්තටම මේ දේවල් ප්‍රමාණයෙන් විශාල වුනාම ඒක කොල්ලන්ගෙ ජීවිතය අපහසු කරවනවා.

 

1. පර්ස් එක

Image Source – handbags.lovetoknow.com

සයිස් එක වැඩි වීම නිසා කරදර සිද්ධ වෙන දේවල් අතරින් කොල්ලෙකුට වැඩිම ප්‍රශ්නයක් සිද්ධ වෙන දෙයක් තමයි පර්ස් එක කියන්නෙ. කෙල්ලොන්ගෙ හෑන්ඩ් බෑග්වලට විහිළු කරාට මොකද කොල්ලොන්ගෙ පර්ස්වලත් ඕලෙවෙල්වලට කොපි කරන්න ගෙදරින් ලියාගෙන ගිය චිට්, මුලින්ම බීපු දවසෙ බෝතලේ ගත්තු බිල, ඔෆිස් එකේ අපොයින්ට්මන්ට් ලෙටර් එක, ගංගා‌රාමෙන් අලුත් අවුරුද්දට දීපු ඩොලර් කොළ ටික, පුංචි කාලෙ දාපු පංචායුධේ, මුලින්ම කෙල්ල එක්ක රූම් ගිහිල්ල කඩපු බිල ආදී නොයෙක් දේ පුරවලා තියනව. අහිකුන්ඨකයන්ගෙ නයි ගෙනියන පෙට්ටිය තරං ලොකු පෙට්ටියක් පිටිපස්සෙ සාක්කුවෙ දාගෙන වගෙයි. ඕක ලොකු වුනාම හෙන ප්‍රශ්න. හදිස්සියට ගන්න බෑ. හදිස්සියට දාන්න බෑ. ඕක දාගෙන ඉඳගෙන යන්න බෑ. බස් එකේ ටිකට් එකක් ගන්න පර්ස් එක ඇද්දම සල්ලි ඇරෙන්න අනිත් ඔක්කොම වැටෙනවා.

 

2. බෑග් එක

Image Source – blog-assets.busbud.com

බෑග් එක ලොකු වීමත් කොල්ලෙකුට ප්‍රශ්නයක්. ලොකු බෑග් එකක් තිබුනම බඩු ගොඩක් ගෙනියන්න පුළුවන් කියලා හිතෙනවා තමයි. හැබැයි ගත්තමයි තේරෙන්නෙ එච්චර ගෙනියන්න බඩු නෑ කියල. ඒ වගේම බස් එකට නැග්ග වෙලේ ඉඳන් හැරෙන හැරෙන අත මිනිස්සුන්ගෙ ඇඟේ වදින විත්තිය. බස් එකේ සීට් එකක වාඩි වෙලා නින්දක් ගහන්න හැදුවත් අල්ලගන්න බැරි තරමට බෑග් එක ලොකු විත්තිය. මේ ප්‍රශ්නවලට උත්තර නෑ මහත්තයො ලොකු බෑග් හිමිකරුවොන්ට.

 

3. ෆෝන් එක

Image Source – techspot.com

ෆෝන් එක ලොකු වීමේ වාසිය තියෙන්නෙ රෑට පුළුල් තිරේ ගෙදරට හොරෙන් චිත්‍රපටි දර්ශනයක් නරඹද්දි විතරයි. ඒ ඇරෙන්න ලොකු ෆෝන්වල හෙන ප්‍රශ්න. ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එක හොයාගන්න පිටිපස්ස පදාසෙ පුරාම ඇඟිල්ල යවන්න ඕන. සෙල්ෆියක් ගන්නනං එක අතකින් අල්ලගෙන අනිත් අතින් ෂටර් නොකළොත් ෆෝන් එක බිම.  බස් එකකට නැගලවත් තනි අතින් අල්ලගෙන ගේම ගොඩදාගන්න බෑ.  සාක්කුවට දැම්මම බත් එකක් දැම්ම වගේ සයිස්. ෆෝන් එක කැඩෙනවට කවරයක් දැම්මොත් බඩුම පැකට්. ඉතිං ෆෝන් ලොකු වුනාමත් ළමයි ලොකු වුනාම වගේම අමාරුයි මහත්තයො.

 

4. ඇඳුම

Image Source – popfashiontrends.com

කලිසම් ලොකු වුනාම සාක්කු තියෙන්නෙ දනිස්ස අඩියෙ. කෝල් එකක් ආවොත් ෆෝන් එක අතදාලා ගනිද්දි ඒ මනුස්සයාගෙන් මිස්ඩ් කෝල් තුනක් තියෙනවා. බෙල්ට් එක දාලා හිර කරගත්තට මොකද නාකි ඇන්ටිලාගෙ සායවල් වගේ ඩෙනිම ඇකිලිලා. බිම දිගේ ඇතිල්ලෙනවා. ගෙදරට එද්දි එහා ගමේ එවුන් කාපු චුවින්ගම් මෙහා ගමේ. ෂර්ට් ලොකු වුනාමත් එහෙමයි. බස්වලදි ගෑණුන්ගෙ කෙහෙවලුවල පැටලිලා ඇදිලා යනව. පොඩි හුලඟටත් සරුංගලේ වගේ රෙද්ද උඩ යනවා. යට ඇඳුමක් ලොකු වුනාම තියෙන ප්‍රශ්න පිරිමි සංහතියට නව නිංගිරාවක් නිසා නොකියා ඉන්නං මං මෙතන.

 

5. සයිස් ගර්ල්ෆ්‍රෙන්ඩ්

Image Source – alamy.com

හම්මා! උඩ කියපු ඔක්කොම සයිස්වලට වඩා සයිස් ප්‍රශ්නයක් තමයි මේ. ඒ තමයි සයිස් ගර්ල්ෆ්‍රෙන්ඩ්. හදිස්සි ආශාවන් ඉස්මතු වී ෆිල්ම් හෝල් බොක්ස් එකකට ගියාම බොක්ස් එකෙන් එකයි කෙල්ල. බස් එකේ තනි සීට් එක කෙල්ලට දීලා හිටගෙන යන්න වෙන්නෙ නැත්තෙ පිටිපස්සෙ සීට් එකේ වාඩි වුනොත් විතරයි.  උම්ම එකක් හොරාට දෙන්නත් බෑ. තෑග්ගක් විදියට ඇඳුමක් අරන් දුන්නොත් ළමා නිවාසෙකට දෙන රෙදි වියදම යනව ඇඳුමට. නිකමටවත් ආදරේට උකුල උඩ වාඩි වුනොත්, හායි ගාලා ටොයිලට් එකකට වැදිලා ෆ්ලැට්ද නැද්ද කියලා බලාගන්න වෙනවා. මෙහෙම කිවුවැයි කියල කළු කැත වොන්ඩර්වුමන්ලා වගේ නටාගෙන එන්නෙපා. කර්වුස් තියෙද්දි තමයි ඒයි ලස්සන. ඔය ඇටකෝටු දන්නෙ නෑ ඔවුව. අපි කිවුවෙ කොල්ලෙකුට කන්න වෙන අමතර කට්ට ගැන විතරයි. මහත කෙල්ලෙක් ඉන්න එකේ වාසි ගොඩකුත් තියෙනවා.

 

6. ඔරලෝසුව

Image Source – alamy.com

හම්මේ ඔයාලගෙ ඔෆිස් එකෙත් ඉන්නවද බිත්ති ඔරලෝසුවක් වගේ ඔරලෝසුවක් බඳින එකෙක්. ඌ ඔෆිස් එකට ආපු ගමන් ඔරලෝසුව ගලවල මේසෙ උඩින් තියලා හති අරිනව දකිද්දි දෙන්න හිතෙනව සීතල වතුර වීදුරුවක්. ඒ තරමට පවක්. කලිසං සාක්කුව ඇතුළට අත දාගන්න බෑ, ඔරලෝසුව යන්නෙ නෑ සාක්කුව ඇතුළට. ටකං ටකං ගගා හැම තැනම වදිනව. ඔරලෝසුව ලොකු වෙනවා කියන්නෙ නං මහම වාතයක්.

 

7. ගෙදර බල්ලා

Image Source – pinterest.com

ඉස්සර ගෙදරට ගේනකොට, ඉස්සර මෙසීගෙ බල්ලා වගේ චූටියට හිටියට මොකද දැන් හැරිලා බලද්දි දැන් මෙසීගෙ බල්ල වගේ සයිස්. ඉස්සර පුරුදු කරගෙන තිබ්බෙ ගෙදරට ආපු ගමන් ඇඟට පනින්න දීලා හුරතල් වෙන්න. දැන් මූ ඇඟට පැන්නම හුස්ම යනව සාන්ත. මිරිස් ගලට යටවුනා වගේ හැඟීමක් එන්නෙ. බල්ලැයි කියල කියන්න හිතෙන්නෑ, ගෙදරට මිනිහෙක් එන්නෑ. මුංට වැස්සට ඉන්න කූඩු හදන වියදමෙන් සජිත් මහත්තය ගෙවල් හදයි පවුල් පහකට විතර.

 

ඔයාලත් ඔයාල‌ගෙ හරි ලොකුයි කියලා හිතාගෙන නටාගෙන එන්නැති මේක කියවන්න. එහෙමනං ෂේප් එකේ ඉන්න. අවංකවම මේ දේවල් ලොකු වීමෙන් ඔබත් පීඩා විඳිනවා නම් මේක ෂෙයා කරන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් මහතයිනං ගර්ල්ෆ්‍රෙන්ඩ්ව ටැග් කරන්න කියල මේකට ස්පොන්සර් කරපු ජයරත්න එකෙන් විශේෂ පණිවුඩයක් ලැබිලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *