පහුගිය සතිය පුරාවටම ලංකාවේ සමාජ ජාලා පුරාවට රැවු දුන්න නමක් තිබ්බා. ඒ තමයි චන්දිමාල්ගෙ රෝයල් බර්ත්ඩේ පාටිය. මේ පාටි එක සම්බන්ධයෙන් ලංකාවෙ කීබෝඩ් හීරෝස්ලා හිරොයින්ලා දෙපිළක් බෙදිලා කෙස් පැළෙන තර්ක කරගත්තා. මේ තර්ක වලින් හරි කවුද, වැරදි කවුද? දිනුවේ කවුද කියලා නම් අපි දන්නෙ නැහැ. අපිට අදාළත් නැහැ. අපි මේ කියන්න කරන්න යන්නේ වෙන දෙයක්.
ඒ තමයි චන්දිමාල් අයියගෙ පාටියෙදි දාපු, ඒත් එළිසබත් නැන්දගෙ පාටියෙදි දාන්න බැරි රෝයල් වැඩ කිඩ ටිකක් ගැන ඔයාලව දැනුවත් කරන්න.
1. එනවනං එනවයි කියලා වර!

Source – cnn.com
දැන් චන්දිමාල් අයියනම් කියන්න ඇති ‘මල්ලි අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් තැන මගේ පාටිය. වරෙන්!’ කියල. එහෙම නැත්නම් ඉන්විටේෂන් එකක් එවන්න ඇති. ඉතින් ආරාධනා ලැබුව කෙනා එදා දවසෙ ඩූං කාල කෙලින්ම හෝටලේට සැපත් වෙන්නත් ඇති. හැබැයි එළිසබත් රැජිණිගෙ උත්සවේකට, විශේෂෙන්ම බ්‍රිතාන්‍ය මංගලෝත්සවේකට යද්දි එහෙම ආරාධනා ලැබුණ පළියට ඩෝං ගාල යන්න බෑ. මේ අයගෙ ආරාධනා පත්‍රය ලැබුණට පස්සේ අපි දන්වන්න ඕනෙ ඒ දවසට අපි උත්සවේට සහභාගි වෙනවද නැද්ද කියලා. කළින් ඒ ගැන දන්වන්නෙ නැතුව ගියොත් ඔයා මොන ලොක්කෙක් උනත් පාටියට ගන්නෙ නැහැ කියලයි කියන්නේ.
2. සෙල්ෆි වානා!

Source – mashable.com
එළිසබත් නෝනගේ පාටියට මොබයිල් ෆෝන් ගෙනියන්න අවසර තියනවා. හැබැයි ඒවා ක්‍රියා විරහිත කරල හරි සයිලන්ට් දාල හරි තියාගන්න ඕනෙ. සෙල්ෆි විතරක් නෙමෙයි උත්සවේ ෆොටෝ ගහන්නත් අවසර ලැබෙන්නේ නැහැ. එහෙම කළොත් ඒක රැජිණගේ ආරාධනාවට කරපු අගෞරවයක් හැටියට තමයි සැළකෙන්නේ. ‘ෆීලිං ඕසම් විත් ක්වීන් එළිසබෙත් ඇන්ඩ් 2639 අදර්ස්’ කියල ෆේස්බුක් ස්ටේටස් එහෙම දාන එකත් අගෞරව කිරීමක් හැටියටයි සැළකෙන්නේ. ඒ අතින් චන්දිමාල් අයියනම් ග්‍රේට් නේද? මොන රෝයල් පාටි උනත් වැඩක් තියනවැයි පොඩි සොබ්බයක්, ලොකු කමක් පෙන්නන්න බැරිනම්.
3. ළං වෙන්න තහනම්!

Source – bostonherald.com
යෝ බ්‍රෝ! තද තද කියලා චන්දිමාල් අයියව බදා වැළඳගෙන සෙල්ෆි ගහන්න ලැබුණට එළිසබත් රැජිණත් එක්කනම් ඒ සෙල්ලම් බෑ පුතේ. රෝයල් පාටියට ආරාධනා ලැබුණොත් එළිසබත් රැජිණ හෝ වෙනත් රාජකීයයෙක් ගාවට ගිහින් ඒ අයට ඇණ වෙන්න අතිශයින්ම තහනම්. රැජිණ තමන් දිහා බැලුවොත් පොඩි ආචාරයක් දක්වන්න විතරයි පුළුවන් වෙන්නෙ. ළඟට කතා කරෝතින්, ‘හායි ඉතින් කොහොමද ? මෙයා එන්න එන්න කෙල්ල වගේ වෙනවන ආ’ වගේ ටෝක්ස් දාමින් කතා පටන් ගන්න ඔට්ටු නෑ. ඒ රාජකීය උත්තමයො කතාබහ ආරම්භ කරනකම් ඉන්ට ඕනෙ. ඒ වගේම ළඟින් ඉද්දි තට්ටු බට්ටු දාන්නත් ඔට්ටු නෑ.
4. සෙක්සි උනොත් කේස්!

Source – shopakira.com
චන්දිමාල් අයියගෙ පාටියෙදි සෙක්සි ඩාන්ස් එකට දුන්නා අයි ෆෝන් එකක්. ඒත් එළිසබත් රැජිණගෙ රෝයල් පාටියෙදි නම් ඕනෑවට වඩා සරාගී ඇඳුම් ඇඳගෙන ගියොත් රැජිණගෙන් රැවුම් තමයි හම්බවෙන්නෙ. මේ විදිහටම වරෙල්ලා කියල ලොකු නීති නොපැණෙවුවට, යම් යම් සීමාවන් ගැන දැනුවත් කරලා තියනවා ඇඳුම් පැළඳුම් සම්බන්ධව. බොහෝ විට කාන්තාවන් දණහිස මට්ටමෙන් උඩට අඳින්නෙ නෑ ඒ උත්සව වලදී. ඒ වගේම තමයි උරහිස් නිරාවරණය වන විදිහේ ඇඳුම් අඳින එකත් ඒ තරම් සුදුසු නෑ කියලයි කියන්නේ. ඇඟිලි පෙනෙන විදිහේ සපත්තු දාන්නත් බැහැ. කාන්තාවො හිස් වැසුම් පැළඳිය යුතුයි. හැබැයි එක එක විච්ඡූරණ හිස්වැසුම් විලාසිතා පැළඳගෙන ඇවිත් රැජිණට අපහාස කරන්න ඔට්ටු නෑ.
5. කළින් එතෑකි… හැබැයි කළින් ගියොත් තරහයි

Source – coventrytelegraph.net
චන්දිමාල් අයියගෙ පාටියෙදි වගේ හිතූ මනාපෙට එන්ඩ, ඇවිත් යන්ඩ බැහැ එංගලන්තෙ රාජකීයයන්ගේ පාටි වලදි. පාටියට කළින් ආවට කිසිම අවුලක් නැහැ. හැබැයි මහ රැජිණ ආවට පස්සෙ එන්න තියාගන්න නාකයි කියලයි කියන්නේ. එතුමිය එන්න කළින් හැමෝම ඇවිත් ඉන්ඩෝනෙ එක තමයි චාරිත්තරේ. කන්ඩ ගියත් ඒ උත්තමාවිය කෑම ගන්නකම් බුෆේ එකට රිංගන්න බෑ. ඒ වගේම තමයි පහුවදාට වැඩ තියනවා කියලා කළින්ම ෂොට් එක දාගෙන පාටියෙන් මාරු වෙන්න බැහැ. රාජකීය උදවිය පිටත් වෙනකම් නිදි කිර කිර හරි උත්සව භූමියෙ රැඳිලා ඉන්න වෙනවා.
6. කානා බීනා ලිමිට් එකට

Source – costumersguide.com
බඩේ හිඟන්නෙක් පදිංචි වෙලා හිටියත් කමක් නෑ, එළිසබත් ඇන්ටිගෙ පාටියෙදි කෑම කද්දි හිමීට පිළිවෙලකට කන්න ඕනෙ. අපි හෙළයෝ බොලවු! කියලා හැඳි ගෑරප්පු ප්‍රතික්ෂේප කරන්නේ නැතිව ඒවත් නිසියාකාරව පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම තමයි බීම. සුමිහිරි පානේ පදමට ගහලා කැරකෙන ලෙවල් එකට එනකම් ආතල් ගන්න එක රජ පවුලට කරන මදි පුංචි කමක්. කුමටද කුසලට කම්මැලි වන්නේ? කියලා ගසලා අරින්න බෑ. බීම වීදුරුව උණත් ලස්සනට නිසියාකාරව ඇල්ලුවේ නැත්නම් ලකුණු කැපෙනවා.
7. අත් එක්ක සෙල්ලම් බෑ!

Source – youtube.com
යෝ බ්‍රෝ! තද තද! ෆිට් තමයි මචාන්! ෆා* යූ වගේ අදහස් ප්‍රකාශ කරද්දි අපේ අත් වලින් ඉබේටම සංඥා මැවෙනවනෙ. අන්න ඒ විදිහෙ අත් වලින් දාන සංඥා එංගලන්තෙ රෝයල් පාටි වලදි බැහැ. රැජිණට උනත් පැනගෙන ගිහින් අතට අත දෙන්න බැහැ කියල අපි කළින් කිවුවනෙ. ඒ වගේම සාක්කු වල අත් දෙක ඔබාගෙන වෝක්ස් ඇන්ඩ් ටෝක්ස් දාන එක මදි පුංචිකමක් හැටියටයි සලකන්නේ. ඒ වගේම හිටගෙන ඉද්දි අත් දෙක දෙපසින් තියාගෙන සංවර විදිහට ඉන්න ඕනෙලු. මොන කරුමද නේද?
ඔන්න ඔහොමයි නංගියේ මල්ලියේ ඔරිජිනල් රෝයල් පාටියේ වග විස්තරේ… දැන් තේරෙනව ඇතිනෙ කොච්චර දොස් කිවුවත් අපේ චන්දිමාල් අයියගෙ රෝයල් පාටිය මොන තරම් ඉස්තරම්ද කියලා. හරියට ඩෝපක් දාන්න බැරි, නිදහසේ හැසිරෙන්න බැරි, බියුටිය කැපිල පේන්න අඳින්න බැරි සුද්දොන්ගෙ රෝයල් පාටිත් පාටිද මචං?
Cover Image Source – lkmodelzone.com
Leave a Reply