කොරෝනා කාලේ ගෙදරටම හිර වෙලා ඉන්නකොට මානසික සෞඛ්‍යය හොඳින් තියාගන්නේ මෙහෙමයි!

දැන් මේ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතය තියෙනවනේ. ලෝකේ හැම රටක්ම පාහේ මේ වසංගතේට ගොදුරු වෙලා තියෙන්නේ. එතකොට මේ වසංගතේ පැතිරිලා යන වේගයත් එක්ක බලනකොට සෑහෙන්න රටවල් ලොක් ඩවුන් කරලා, ඇඳිරි නීතිය දාලා තියෙන්නේ. කොටින්ම ලෝකේ ලෝකේ තුළම, මිනිස්සු ගෙවල් තුළම හුදෙකලා වෙලා තියෙන්නේ. මේ වසංගතේ මැඩපවත්වන්න වෙන ක්‍රමේකුත් දැනට නෑ.

දැන් කෙනෙක්ට එක පාරටම හිතෙන්න පුළුවන්, මාසයක් දෙකක් වැඩට යන්නෙත් නැතුව ගෙදරට වෙලා ඉන්න එක පට්ට ආතල් නිවාඩුවක්නේ කියලා. හැබැයි ඇත්තටම එහෙම නෑ. විශේෂයෙන්ම අපේ මානසික සෞඛ්‍යයට මේ සමස්ත තත්ත්වය ඒ තරම් හොඳ නෑ. ආන්න ඒ නිසා කොරෝනා වලින් බේරෙන්න අත් හෝදන ගමන්, මීටරේ දුර තියාගන්න ගමන් හිතන්න ඕන තමන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම ගැනත්. ආන්න ඒක කරන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ කියන්න යන්නේ.

 

1. ලෝක විනාසෙද මේ?

කොවිඩ්-19 ගැන ඇත්තටම හිතාගෙන හිතාගෙන යනකොට හිතෙනවා මේ ලෝක විනාසෙද කියලා. දැන් ඔන්න සීඑන්එන් නිව්ස් වලට කියනවා කොටියෙක්ටත් කොවිඩ්-19 හැදිලා කියලා. ඒ නිව්ස් එක බලනකොට අපිට හිතෙනවා දැන් මිනිස්සුන්ටයි සත්තුන්ටයි හැමෝටම මේක හැදෙනවා කියන්නේ, ඇත්තටම මේ ඇපොකැලිප්ස් එකද, ඒ කියන්නේ ලෝක විනාසෙද කියලා. ඇත්තටම කොවිඩ්-19 කියන්නේ අපි පරම්පරා කීපයක් තුළ නොදැකපු විදියේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන වසංගතයක් තමයි. හැබැයි අතිශයින්ම මාරාන්තික එකක් නෙවෙයි. ආන්න ඒ නිසා ලෝක විනාසේ ගැන හිතලා හිත කලබල කරගන්න එපා. හොඳම දේ තමයි, දකින දකින නිව්ස් එක විශ්වාස නොකරන එක. අච්චර මළා, මෙච්චර මළා කියන නිව්ස් විශ්වාස නොකරන එක. එක්කෝ යන්න සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශේ වෙබ් අඩවියට. එහෙම නැතිනම් යන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියට. මේවායින් විතරක් තොරතුරු ගන්න.

 

2. සල්ලි නෑ!

මේක ඇත්තටම ප්‍රශ්නයක් මේ වෙලාවේ. ගොඩක් රජයේ ආයතන වලින් එහෙම නම් සම්පූර්ණ පඩියම මේ වෙලාවේ ගෙවනවා. පුද්ගලික ආයතන වලින් පඩි බාගයක් හරි ගෙවනවා. ආන්න ඒ නිසා හොඳම දේ තමයි රැකියා කරන අය තම තමන්ගේ ආයතන ප්‍රධානීන්, මානව සම්පත් අංශය එක්ක එහෙම කතා කරලා හරියටම දැනගෙන ඉන්න එක තත්ත්වය. ඉන් පස්සේ මූල්‍යමය සැලසුමක් හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාලේ තමන්ගේ හුරුපුරුදු ජීවන රටාවන් පොඩ්ඩක් වෙනස් කරන්න වෙයි. ඒකට කමක් නෑ. ඒක අවශ්‍ය දෙයක්. අනික, එදා වේල ටුවර්ස් දුවන අයට තමයි මේ ඇඳිරි නීතිය තදටම දැනෙන්නේ. අන්න ඒ අයට යම් යම් සහන රජයෙන් සලසලා තියෙනවා. ඒ නිසා තමන් ඉන්න වසමේ ග්‍රාමසේවා නිලධාරී මහතාට/නෝනට නැතිනම් සමෘද්ධි නිලධාරී මහතාට/නෝනට එහෙම පොඩ්ඩක් කතා කරලා බලන්න. 

 

3. ප්‍රායෝගික සැලසුම් ඕන

ඉස්සර වගේ සතියකට සැරයක් පොලේ ගිහිල්ලා බඩු ගේන්න විදියකුත් නෑ. එහෙම නැතිනම් හිතුණු ගමන් ෆුඩ්සිටියට දුවලා බඩු අරන් එන්නත් බෑ. දැන් ෆුඩ්සිටි, කීල්ස් වල ඩිලිවරි කළත්, වෙනදා වගේ හිතුණු හිතුණු වෙලාවට, හිතුණු හිතුණු බඩු ගෙන්නගන්නත් බෑ. ඒ වගේම තමයි ඇඳිරි නීතිය කවදද අයින් කරන්නේ කියලා ෂුවර් එකට කියන්නත් තාම බෑ. ඒ නිසා හොඳම දේ තමයි ප්‍රායෝගික සැලසුමක් හදාගන්න එක. අත්‍යාවශ්‍ය කන බොන දේවල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වගේ දේවල් අඩුම ගාණේ සති දෙකකට වත් සෑහෙන්න ගන්න එක, ඒ සති දෙකේ කන බොන විදිය ගැන ප්ලෑනක් ගහගන්න එක තමයි හොඳම දේ. එහෙම කළාට පස්සේ ඔන්න හිත නිදහස්.

 

4. කනවා, නිදියනවා, කනවා, නිදියනවා!

මේ දවස් වල වැඩි දෙනෙක්ගේ ගෙදර ඉන්න දින චරියාව මේක තමයි. කනවා, නිදියනවා, ෆේස්බුක් එනවා, ආයෙ කනවා, නිදියනවා. හැබැයි ඉතින් මේක ශාරීරික සුවතාවයටවත්, මානසික සෞඛ්‍යයටවත් හොඳ දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා, කරුණාකරලා ඇඳිරි නීතිය නිසා ගෙදර හිටියට පස්ස පැත්තට ඉර පායනකල් නිදාගන්න එපා. දවල්ට කාලා අනික් පැත්තට නිදාගන්නත් එපා. සාමාන්‍ය දවසක නිදාගනන් පැය ගාණ විතරක් නිදාගෙන ඇහැරෙන්න. ගෙදර දොර වැඩ පල කරලා, අනික් කාලය ඵලදායී විදියට ගත කරන්න ක්‍රම සහ විධි හොයාගන්න. අන්න ඒ ගැන අපි ඊලඟට කියනවා.

 

5. වර්කින් ෆ්‍රොම් හෝම්

ගොඩක් වෙලාවට හැමෝටම වර්කින් ෆ්‍රොම් හෝම් කියලා ගෙදර ඉඳන් රස්සාව කරන්න බෑ. කරන්න පුළුවන් අය ඔෆිස් දවසක් විදියටම හිතලා ගාණට සැලසුම් කරලා ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කරන්න. ඒ වෙලාවට ගෙදර ඉන්න අනෙක් අයගෙන් බාධා නොවෙන විදියට සෙටප් එකක් හදාගන්න. ඇඳේ ඉඳන් වැඩ කරන්නේ නැතුව වැඩ කරන්න නියමිත තැනකුත් හදාගන්න. එතකොට ඔෆිස් වැඩ නැතුව නිකම් ඉන්න අය? ඒ අයටත් වර්කින් ෆ්‍රොම් හෝම් වැඩසටහනක් හදාගන්න පුළුවන්. මේ කාලය තමන්ගේ කුසලතා, හැකියාවන් දියුණු කරන්න යොදාගන්න පුළුවන්. ඒකට ඔන්ලයින් අධ්‍යයන වැඩසටහන් තියෙනවා Alison, edX, Academic Earth, Coursera කියන්නේ එයින් කීපයක්.

 

6. විනෝදාංශ වටින්නේ මේ වෙලාවට!

ඇත්තටම විනෝදාංශ කියලා දැන් කාලේ ගොඩක් අය කරන්නේ නිදාගන්න එක සහ ටීවී බලන එක. හැබැයි ඊට වඩා සෑහෙන්න ඵලදායී විනෝදාංශ තියෙනවා. ගොඩක් වෙලාවට තමන්ට ගෙදර ඉඳලම කරන්න පුළුවන් විනෝදාංශ තියෙනවා. පොත් කියවීම, මල් වගාව, චිත්‍ර ඇඳීම, පොඩ්කාස්ට් වලට සවන් දීම වගේ ඒවා එතැනින් කීපයක්. අන්න ඒ නිසා මේ ගෙදර ඉන්න කාලය විනෝදාංශ වල යෙදෙන්නත් යොදාගන්න එක වටිනවා. ඒ වගේම ගෙදර ඉන්න අනික් සාමාජිකයින්වත් ඒවලට සම්බන්ධ කරගන්න පුළුවන්.

 

7. ගතින් දුරස් වුනත්, තාක්ෂණයෙන් ලං වෙලා ඉමු!

මේක වර්තමාන නවීන ලෝකේ තියෙන වාසියක්. අපි ගෙවල් වල හිරවෙලා හිටියට ඇත්තටම අපිට මුළු ලෝකෙමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ අතේ තියෙන ස්මාට්ෆෝන් එක හොඳටම ප්‍රමාණවත්. අන්න ඒ නිසා තාක්ෂණේ භාවිතා කරලා පරණ යාලුවෝ එක්ක කතාබහ කරන්න. වඩාත් සාර්ථකයි ඔන්ලයින් වීඩියෝ කොන්ෆරන්ස් කෝල් එකක් එහෙම අරගෙන යාලුවෝ සෙට් එකට කයියක් ගහන්න පුළුවන් නම්. ඒ වගේම අවශ්‍ය නම් තමන්ගේ අධ්‍යයන කටයුතු සම්බන්ධව වුනත් මේ විදියටම කතාබස් කරන්න පුළුවන්. මේවලට Zoom වගේ ඇප් එකක් හොඳයි.

 

8. හිතේ අවුල කතා කරන්න

මේක ප්‍රධානම කාරණයක්. මේ කාලේ තියෙන අවිනිශ්චිත භාවය ගැන හිතට දැනෙන බය, අවිනිශ්චිත භාවය, ඉච්ඡා භංගත්වය, කලකිරීම ගැන කතා කරන එක. එහෙම කතා කරන්න තෝරගන්න පුළුවන් දැනුම් තේරුම් තියෙන ගෙදර සාමාජිකයෙක්. එහෙම නැතිනම් දැනුම් තේරුම් තියෙන මිතුරෙක්. එහෙම නැතිනම් ෆෝන් එක අරගෙන 1333 ගහලා CCCLine එකට කතා කළත්, 0112696666 නොම්බරේ ගහලා ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එකට කතා කළත්, 1926 ගහලා ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට කථා කළත් කමක් නෑ. මේ කොතනට කථා කළත්, ඒ අය අපිට උපකාර කරනවා.

 

9. ශරීර සුවතාවයත් අනිවාර්යයි

මානසික සුවතාවය තියාගන්න අනිවාර්ය දෙයක් තමයි ශරීර සුවතාවය හොඳින් තියාගන්න එක. ඒකට ඉතින් ජොගින් යන්නවත්, ජිම් එකට යන්නවත් බැහැනේ මේ කාලේ. හැබැයි එහෙමයි කියලා ගෙදරට වෙලා කකා බිබී ඉන්න ඕන නෑ. උදේ නැගිටලා සරල ව්‍යායාම කරන්න. ඕන නම් සූර්ය නමස්කාරය වගේ දේවල් කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් යෝග ව්‍යායාම එහෙමත් කරන්න පුළුවන්. ගතේ සුවය ඒ විදියට වෙනකොට හිතේ සුවයත් දන්නෙම නැතුව ලැබෙනවා.

 

10. මනස සුවපත් කරන විවිධ දේවල්

මනස සුවපත් කරන්න පුළුවන්, චිත්ත ඒකාග්‍රතාවය රැකගන්න පුළුවන් ඕන තරම් දේවල් තියෙනවා. සරලම දේ තමයි භාවනාව. හැබැයි මේ කියන්නේ එරමිණිය ගොතාගෙන එක තැනක වාඩිවෙලා කරන භාවනාව විතරක් නෙවෙයි. තමන් කරන දේ​ට විතරක් හිත යොමු කරලා කරන ඕනම දෙයක්. ඒක මල් ගහකට සාත්තු කිරීම වෙන්න පුළුවන්. සංගීතයට සවන් දීම වෙන්නත් පුළුවන්. එක තැනක වාඩි වෙලා භාවනා කිරීම වෙන්නත් පුළුවන්. මේ දේවලින් එකක් හෝ කීපයක් මේ කාලේ ඇතුළත කරන්න පටන් ගන්න. හිතට අපූරු සුවයක් දැනෙයි.

 

11. ගෙදර අයත් එක්කත් කාලය ගතකරමු

ඇත්තටම ඇඳිරි නීතිය නිසා ගෙදර හිරවෙලා ඉන්න කාලෙත් කාමරෙන් එලියට එන්නෙ නැති අය ඉන්නවා. අන්න ඒක නම් ඇත්තටම දුකක් විතරක් නෙවෙයි, මානසික සෞඛ්‍යයටත් බොහොම නරක දෙයක්. පොඩ්ඩක් කාමරෙන් එලියට එන්න. අපි උඩින් කියපු විදියේ තමන්ගේ විනෝදාංශයකට ගෙදර අයවත් එකතු කරගන්න. ගෙදර කරන්න පුළුවන් කැරම්, දාම්, චෙස්, මොනොපොලි වගේ සෙල්ලමක් එහෙම කරන්න. බැරි නම් කාඩ් අතක් හරි ගහන්න. ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න.

 

මෙන්න මේ විදියට අපිට හොඳ මානසික සෞඛ්‍යයකින්, ධනාත්මක හැඟීමකින් ඇඳිරි නීතිය කාලේ ගෙවාගන්න බැරි නැහැ.