අපිටම දේවල් හදන්න උනන්දුව ඇති කරවන DIY යූටියුබ් චැනල් කීපයක්!

ඔය ඩූ ඉට් යුවර්සෙල්ෆ් නැතිනම් DIY කියන සංකල්පේ දැන් මාරම ෆැන්සි දෙයක් වුනාට මොකෝ, ඉස්සර අපේ ආතලගෙ මුත්තලගෙ කාලේ නං තිබ්බෙම DIY දේවල් තමයි. මොකද, දැන් වගේ හැමදේම කඩෙන් ගත්තෙ නැහැනේ ඒ කාලේ. ඒත් දැන් ඒක වෙනස්. පුටුවක් ගෙදර හදාගන්නවාට වඩා ඉතාම ලාබෙට කඩෙන් ගන්න පුළුවන්. හැබැයි නිකමට හිතන්න, ඔය පුටුව ගෙදරම හදාගන්න අපිට පුළුවන් නම්, ඒකේ බොහොම සුවිශේෂී කමක් නැද්ද කියලා. ඒ කියන්නේ එහෙම හදන පුටුව අපේම ඩිසයින් එකකට හදාගන්න පුළුවන්. ලොට් විදියට ෆැක්ටරි වල හදලා, ගම් වලින් අලවලා එවන ලාබ පුටුවලට වඩා කොලිටිය සහ කල් පැවැත්ම ඉතාම වැඩියි. ඔය හෑන්ඩ් මේඩ් බඩු මුට්ටු වලට විශේෂ වෙළඳපොළක්, ඉහළ මිලක් තියෙන්නේ නිකම්ම නෙවෙයිනේ.

 

ඒ විතරක් නෙවෙයි, ඔය හෑන්ඩ් මේඩ් බඩු මුට්ටු, විසිතුරු දේවල් අනං මනං තමන්ගේ ප්‍රයෝජනයට හදන්න පටන් ගත්තත්, ඕන නං ඒක වෙනම බිස්නස් එකක් විදියට ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්. එහෙම විකුණන්න බැරි DIY ප්‍රොජෙක්ට්ස් වුනත් ඇත්තටම හිත රිලැක්ස් කරවන හොබී එකක්, විනෝදාංශයක් කරගන්න ලේසියෙන්ම පුළුවන්.

 

අන්න ඒ නිසා අපි හිතුවා අද DIY ප්‍රොජෙක්ට්ස් කරන හැටි පෙන්නලා දෙන ආතල් යූටියුබ් චැනල් සෙට් එකක් හඳුන්වලා දෙන්න.

 

 

1. Little King Goods

 

කොලිටි හෑන්ඩ්මේඩ් ලෙදර් බඩු හදන හැටි ඉගෙන ගන්න නම් මෙන්න මනුස්සයා. ඇත්තටම මෙයා ඉස්සර ෆොටෝග්‍රැෆර් කෙනෙක්. කැමරා බෑග් එකට පටියක් ඕන වෙලා, ඒක තනියෙන් හදාගන්න හිතලා පටන් ගත්තු ගැම්ම තමයි අද වෙනකොට කොලිටි හෑන්ඩ්මේඩ් ලෙදර් බඩු විකුණන කැනඩාවේ පොඩි ෂොප් එකක් දක්වා ඇවිත් තියෙන්නේ. මෙයාගේ චැනල් එකේ එක එක විදියේ ලෙදර් අයිටම්ස් හදන හැටි පෙන්නනවා වගේම, ලෙදර් ක්‍රාෆ්ටින් පටන් ගන්න ආධුනිකයෙක්ට ප්‍රයෝජනවත් වෙන ටිප්ස්, උපදෙස් එහෙමත් ලබාදෙනවා. එතකොට හොඳ ලෙදර් තෝරගන්න හැටි, ලෙදර් ක්‍රාෆ්ටින් වලට ඕන ටූල්ස් එහෙම ගැනත් මේ චැනල් එකෙන් කියලා දෙනවා.

 

 

2. DIY Perks

 

හිතන්න ඔන්න අපිට හදන්න ඕන මේසයක්. හැබැයි මේක නිකම්ම නිකම් මේසයක් නෙවෙයි, මේක ඇතුළේ ඇත්තටම තියෙන්නේ කම්පියුටරයක්. එතකොට ඇත්තටම මේ මේසේ උඩ තියෙන්නේ මොනිටරේකුයි, වයර්ලස් මවුස් එකකුයි, වයර්ලස් කීබෝඩ් එකකුයි විතරයි. කොහොමද වැඩේ? හැබැයි ඕක අපිට හිතෙන්න කලින්ම DIY Perks කරන මැට් කියන හාදයට හිතිලා, හදලත් තියෙන්නේ. සාමාන්‍යයෙන් මැට්ගෙ DIY Perks චැනල් එකේ වැඩිහරියක්ම තියෙන්නේ ඔය කම්පියුටර් සම්බන්ධ වැඩ කෑලි තමයි. එක්කෝ බාත්රූම් එකට ටච්ස්ක්‍රීන් කණ්ණාඩියක් හදයි. එක්කෝ ලැප්ටොප් එකට අමතර ස්ක්‍රීන් එකක් සෙට් කරයි. එක්කෝ පරණ ස්මාට්ෆෝන් එකෙන් පෝටබල් කම්පියුටරයක් හදයි! හැබැයි ඔය ඇරෙන්න LED ලයිට් වලින් කාමරේට, ගෙදරට ඕන විවිධ නිර්මාණ කරන හැටි, ෆවුන්ටන් ලයිට් එකක් හදන හැටි වගේ වෙනස් වෙනස් වැඩත් මේ චැනල් එකේ තියෙනවා. හැබැයි ආතල්ම වැඩේ තමයි, මේ මැට් හාදයා විස්තර කරලා දෙන හැම එකක්ම අපිටත් හදන්න පුළුවන් වීම.

 

කොහොමත් මැට්ගේ චැනල් එක බැලුවට පස්සේ හිතෙන දෙයක් තියෙනවා. මුන්දැගෙ ගෙදර හැමතැනම අමතක වෙලා හදපු කම්පියුටර්ස් එහෙම ඇති. නැද්ද හා? ඔන්න පොතක් ගන්න කබඩ් එකක් අරිනවා. මේං ඒක ඇතුළෙත් කම්පියුටරයක්!

 

3. Homedit

 

Homedit කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරට අවශ්‍ය සෑහෙන්න දේවල් නිර්මාණශීලී විදියට තමන්ටම හදාගන්න කියලා දෙන යූටියුබ් චැනල් එකක්. උදාහරණයක් විදියට ගත්තොත්, කොහොමද ලේසියෙන් යතුරු එල්ලන ගැජට් එකක් හදාගන්නේ? එහෙම නැතිනම් මල් පැළ තියන්න ලස්සන ලී රාක්කයක් හදාගන්නේ කොහොමද? එතකොට තමන්ගේ ගෙදරට හයි ටෙක් කිචන් එකක් තමන්ම ඩිසයින් කරගන්නේ කොහොමද? ලණු වලින් විතරක් පාට පාට එල්ලෙන ලෑම්ප් ෂේඩ්ස් හදමුද? මෙන්න මේ ආකාරයේ නොයෙක් DIY ප්‍රොජෙක්ට්ස් මේ චැනල් එකේ ඉදිරිපත් කෙරෙනවා. විශේෂත්වය වෙන්නේ, මේ ප්‍රොජෙක්ට්ස් වැඩි හරියක් ආධුනිකයන්ව ඉලක්ක කරලා තියෙන එක. වෙන විදියකට කිවුවොත්, ජීවිතේට දෑතේ වැඩක් කරලා නැති මනුස්සයෙක්ට වුනත් මේ චැනල් එකේ පෙන්නන සරල ප්‍රොජෙක්ට්ස් සාර්ථකව සම්පූර්ණ කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය ගොඩක් කට්ට කන්නෙ නැතුව, ලොකු ලොකු උපකරණ පාවිච්චි නොකර සරලව ගෙදරදොරේ අවශ්‍ය දේවල් හදාගන්න කැමති අයට මේක කියාපු චැනල් එක.

 

 

4. Get Hands Dirty

 

ක්‍රිස්ටියානා කියන්නේ කොල්ලෙක්ගේ ලුක් එක තියෙන ගෑල්ලමයෙක්. දෑතේ වැඩ ක්‍රිස්ටියානට ගේමක්ම නෑ. සාමාන්‍යයෙන් ගෙදරකට තියෙන එක වටිනවා කියන්න පුළුවන් ලීබඩු එහෙම හදන එක ක්‍රිස්ටියානාට ටොයිස්. හැබැයි මෙතන තියෙන ආතල්ම වැඩේ ඒක නෙවෙයි. ක්‍රිස්ටියානා හදන සමහර පිස්සු හැදෙන ගෘහ භාණ්ඩ දැක්කහම අපිටත් ඒවා හදන්න ඕන වෙනවා. තමන්ට වැඩ කරන්න නියමෙටම ගැලපෙන මේසයක් තිබුණත්, ක්‍රිස්ටියානා හදන බිල්ඩ්-ඉන් පවර් අවුට්ලට්ස් තියෙන ඩෙස්ක් වර්ක්ෂොප් එකක් දැක්කාම ගෙදර තියෙන මේසේ පැත්තකට දාලා, ක්‍රිස්ටියානා හදන විදියේ මේසයක් හදන්න අපිටත් ඕන වෙනවා! ක්‍රිස්ටියානා සම්පූර්ණයෙන්ම මුල ඉඳන් ගෘහ භාණ්ඩ හදන ඒවා වගේම, රීමොඩ්ල් කරන ප්‍රොජෙක්ට්ස් එහෙමත් චැනල් එකේ දාලා තියෙනවා.

 

බලාගෙන යනකොට ක්‍රිස්ටියානාට හිස් ඉඩමක් දුන්නොත්, එකේ සම්පූර්ණයෙන්ම ලී වලින් ගෙයක් වුනත් ගේමක් නැතුව හදයි!

 

 

5. The Samurai Carpenter

 

දැන් ඔය වුඩ්වර්කින්ග් කියලා කියන්නේ, ඒ කිව්වේ වඩු වැඩ එහෙම ලංකාවේ වෙනම උගන්නන්නෙ නෑනේ ඉස්කෝල වල එහෙම. ජීවන කුසලතා, ජීවන නිපුණතා එහෙම විෂයන් තිබ්බට ඒ වල ඔය වඩු වැඩ වල බේසික් හැමදේම වත් අපිට නං උගන්නලා නෑ. හැබැයි එහෙම වුනාට විනෝදාංශයක් විදියට ලී වලින් අනං මනං හදන සාස්තරේ ඉගෙන ගන්න ආස අයට දැන් යූටියුබ් එක බලලා වැඩ පටන් ගන්න උපදෙස්, උදවු දෙන, ප්‍රොජෙක්ට්ස් ඉදිරිපත් කරන යූටියුබ් චැනල්ස් තියෙනවා දැන්. ඒකෙන් එකක් තමයි The Samurai Carpenter

කියන්නේ. මේ චැනල් එක ඔය සීරියස් වුඩ් ක්‍රාෆ්ටින් වැඩ වලට අත ගහන්න කැමති ආධුනිකයන්ට බොහොම හොඳ උපදෙස් සහ ආදර්ශයක් ලබාදෙනවා. ආයෙ මනුස්සයා බාත්රූම් එකක් වුනත් නවීකරණය කරයි ලී වලින්ම!

 

ඇත්තටම මේ හාදයා හදන බඩු මුට්ටු ආයෙ සමුරායි කෙනෙක් කටානා එකක් පාවිච්චි කරනවා වගේ තමයි. ඒ තරම් සූක්ෂම, කොලිටි නිමාවක් තියෙන්නේ!

 

 

6. Essential Craftsman

 

ඇත්තටම වුඩ්වර්කින් DIY ප්‍රොජෙක්ට්ස් කීපයක් බලන්න කියලා තමයි අපි මේ චැනල් එකට ගියේ. හැබැයි ඇත්තටම මේකේ තියෙන්නේ ලී වලින් කරන වැඩ විතරක් නෙවෙයි. බ්ලැක්ස්මිතින් – ඒ කිව්වේ කම්මල් වැඩ, ලී වැඩ, කොන්ක්‍රීට් වැඩ, සිමෙන්ති වැඩ සහ පොදුවේ ඔය ගොඩනැංවීම් වගේම විවිධ ප්‍රොජෙක්ට් කරන කොට, පවර් ටූල්ස්, වෙනත් ටූල්ස් එහෙම පාවිච්චි කරන ආකාරය, ටූල්ස් පාවිච්චි කරන කොට ආරක්ෂාව ගැන බලාකියා ගන්නා ආකාරය වගේ ගොඩක් ඒරියාස් මේ චැනල් එකේ කවර් වෙනවා. ඇත්තටම DIY ප්‍රොජෙක්ට්ස් කරන්න ආස කරන ආධුනිකයෙක්ට අපි මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා රෙකමන්ඩ් කරනවා, හෑන්ඩ් මේඩ් වැඩක් වුනත් හරියට, ප්‍රොෆෙෂනල් ලෙවල් එකට සහ ආරක්ෂිතව කරන හැටි ඉගෙන ගන්න.

 

 

7. I Like To Make Stuff

 

මේක නම් ආධුනිකයන්ට හරි යන DIY යූටියුබ් චැනල් එකක් නෙවෙයි කියලා මුලින්ම කියන්න ඕන. මොකද, මේ I Like To Make Stuff චැනල් එකේ පෙන්නන්නේම බොහොම අභියෝගාත්මක, ගොඩක් වෙලාවට හෙවි ඩියුටි සයිස් ප්‍රොජෙක්ට්ස්. හැබැයි ඉතින් මේ ප්‍රොජෙක්ට්ස් වල තියෙන ආතල් එක නිසාම, අපිටත් මේකේ පෙන්නන එව්වා හදලා බලන්න හිතෙනවා. උදාහරණයක් විදියට ගෙදර තියෙන සාමාන්‍ය ඇඳකට කොහොමද ස්ටෝරේජ් යුනිට්ස් හදලා සෙට් කරන්නේ? එතකොට කෙලින්ම කැනෝපි ඇඳක් නිර්මාණය කරන්නේ කොහොමද? එතකොට කොහොමද අර ස්ටාර් වෝර්ස් එකේ එන R2D2 රොබෝව ගෙදරම හදාගන්නේ? ඔන්න ඔය වගේ අතිශයින්ම ප්‍රායෝගික ප්‍රොජෙක්ට්‍ස්, අතිශයින්ම නිර්මාණශීලී ප්‍රොජෙක්ට්ස් වගේම අතිශයින්ම මොළේ මඤ්ඤං වෙන ප්‍රොජෙක්ට්ස් මේ චැනල් එකෙන් දැකබලා ගන්න පුළුවන්.

 

කොහොමද? ආතල් නේ? එහෙමනම් දැන් තමන් කැමති ප්‍රොජෙක්ට් එකක් තෝරගෙන තමන්ටම හදන්න පටන් ගන්නයි තියෙන්නේ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *