අෆෙයාර් එක පටන් ගත්ත මුල් දවස්වලම තාත්තා ගැන බය විමංගට කියලා, කෙලින්ම තාත්ත එක්ක කතා කරන්න එනවනම් හොඳ බව කිව්වට මෙහෙම කඩාගෙන බිඳගෙන නොහිතූ වෙලාවක විමංග ගෙදර එයි කියල නිතාරා ඇත්තටම හිතුවෙ නැහැ. ඒ අතීත මතකයන් නිතාරා සිහිපත් කළේ හරිම සතුටකින්. කොහොම වුණත් විමංග ඇවිල්ල ගියපු එකෙන් වුණේ හොඳක් බව නිතාරා හැම වෙලාවෙම හිතුවා. අද වෙද්දී ඒ හැමදෙයක්ම වෙලා දිග කාලයක් ගතවෙලා තිබුණත් අදක ඊයෙක වගේ ඒ හැමදෙයක්ම නිතාරගෙ මතකයේ තිබුණා.
විමංගගේ අප්පච්චියි, නිතාරයි මුලින්ම හමුවෙලා කතාබහ කළේ එළියෙ කොෆී ශොප් එකකදී.
“නිතූ… මේ අපේ අප්පච්චිට ලේලි බලන්නම ඕනලු. මහ කරදරේ අනේ” හදිස්සියෙම ෆෝන් කෝල් එකක් අරන් විමංග එහෙම කියපු විදිහට විමංගගෙ අප්පච්චිත් ඒ වෙලාවේ ලඟම ඇති බව නිතාරට හිතුණා.
“අනේ… මේ අප්පච්චිත් ඉන්නවද ඔතන? බය හිතෙන ඒව කියන්න එපා මෝඩයෝ” නිතාරා එහෙම කිව්වෙ ඇත්තටම ලැජ්ජාව මුසුවුණ බයකින්.
“නෑ නෑ. එයා ඔයාව කන්නෙ නෑලු…” හැමදාම වගේ සැහැල්ලුවෙන් හිනාවෙමින් විමංග එහෙම කිව්වට නිතාරටනම් ඇත්තටම තිබුණේ බයක්.
කොහොම වුණත් ඒ හමුවීමත් හරිම සරලව ලස්සනට සිදුවුණා නේද කියලා නිතාරා සතුටින් හිතුවා. එදා ඉඳන් අද වෙනකන් අප්පච්චි නිතූට සැලකුවෙත් එයාගෙම දුවෙකුට වගේ.
“මට ඉතින් කෙල්ලො නෑනෙ දූ… කෝකටත් ඉන්නෙ මේ ගොන් නාම්බො දෙන්න තමයි. හොඳ වෙලාවට ඔයාව හම්බුණේ. මේකා කරපු එකම බුද්ධිමත් වැඩේ ඒකද කොහෙද” අප්පච්චි විමංගටත් එහා විහිළුකාරයෙක් බව නිතූ මුල් දවස්වලම දැනගත්තෙ ඒ කතා වලින්. හැමදේම සැහැල්ලුවට අරගෙන හිනාවෙන පුරුද්ද විමංගට ලැබුණේ කොහොමද කියන එක එතනින් පස්සෙ නම් නිතාරට ප්‍රශ්නයක් වුණේ නෑ. අප්පච්චි ගතකළේ ඒ තරම්ම සැහැල්ලු ජීවිතයක්. අර තරම් බිස්නස් ගොඩක් මේ සරල මනුස්සයා හැදුවද කියල හිතෙන තරමටම ඔහු හරිම සරල සාමාන්‍ය ජීවිතයක් ගතකළා. හැබැයි විමංගත්, ඔහුගේ අප්පච්චිත්, නිතාරත් අතරේ ලොකු බැඳීමක් ටික ටික ගොඩනැගුනත් ඒ කිසිම හමුවීමකට විමංගගේ අම්මා සම්බන්ධ වුණේනම් නැහැ.
“අම්ම ඇයි විමංග එන්නෙ නැත්තෙ? එයා මං ගැන දන්නෙ නැද්ද?” නිතූ දවසක් එහෙම ඇහුවේ කුතුහලය වැඩි නිසාමයි.
“නෑ අනේ. දන්නවා. අප්පච්චි කියලා. මගෙන් ඇහුවෙනම් නැහැ හැබැයි.” විමංග පිළිතුරු දුන්න විදිහට ඒ බොරුවක් නොවෙන බව නිතූට හිතුණා.
“අපි එක්කො ඔෆිස් වැඩකට, නැත්තම් වාහනේ වැඩකට වගේ එළියට ආපු දවසටනෙ බබා ඔයාව හම්බවෙන්නෙ අප්පච්චි. අම්ම එනවනම් ඉතින් ප්ලෑන් කරලම එන්න එපැයි. ඒක නිසා වෙන්නැති. ඒකෙ එච්චර හිතන්න දෙයක් නෑ අනේ. ඔයාට ඕනමනම් මම අම්මගෙන් අහන්නම්” විමංග අන්තිමේදි කිව්වෙ ටිකක් කල්පනා කරමින්.
“නෑ නෑ එපා. මම නිකං කිව්වෙ” නිතාරා ක්ෂණිකව පිළිතුරු දුන්නා. හිතේ සැකේට ඇහුවට ඇත්තටම විමංගගේ අම්මට මුහුණ දෙන්න නිතාරට තිබුණේ බයක්. එකම එක දවසක් විතරක් මුණගැහිලා තිබුණ ඇය නපුරු එහෙමත් නැත්තම් අහංකාර කාන්තාවක් විදිහටයි නිතාරහෙ හිතේ ඇඳිලා තිබුණේ. නමුත් විමංග අම්මා ගැන කලාතුරකින් කියන කතා අනුවනම් ඇය නපුරු බවක් දැනුණේ නැහැ. ඒත් මොන හේතුවකට හරි නිතාරා අම්මව හමුවෙන්න බයවුණා. විමංගගෙ අම්මත්, අප්පච්චිත් සම්පූර්ණයෙන්ම වෙනස් චරිත දෙකක් නේද කියලා ඇය නිතරම හිතුවා.
යුනිවර්සිටි එකට එන්න යන්න පහසු නිසාම විමංග සතියේ දවස්වල අපාර්ට්මන්ට් එකේ නවතින්න පුරුදු වුණා. ගෙදර ගෙවුණේ සති අන්තය විතරයි.
නිතාරගෙත් විමංගගෙත් සැහැල්ලුවෙන් ගලාගෙන යන ජීවිතවලට කණකොකා හඬලන ඒ සිදුවීම වුණේ එහෙම සති අන්තයේ දවසක.
ඉරිදා රෑ 9 ට විතර එකවරම නිතූගේ ජංගම දුරකථනය නාදවෙන්න ගත්තෙ රවිඳුගේ නම දුරකථන මුහුණතේ සටහන් කරමින්. පැය දෙක තුනක ඉඳලා විමංගගෙ ෆෝන් එක වැඩ නොකරපු නිසාම නිතාරා ක්ෂණිකව ඒ ඇමතුමට පිළිතුරු දුන්නා.
“හෙලෝ.. රවිඳු”
“හෙලෝ… නිතාරා… පොඩි පණිවිඩයක් කියන්න ගත්තෙ” ඒ රවිඳුගේ හඬ.
යාළුවො ටික එකතුවෙලා කොහේහරි ගිහින් බව නිතාරා මුලින් හිතුවත් එහෙම සැහැල්ලුවක් රවිඳුගෙ හඬේ තිබුණේ නැහැ.
“ඔව්. කියන්න. කෝ විමංග. ඔතන ඉන්නවද?”
“මචං අපි හොස්පිටල් එකේ ඉන්නෙ. විමංගගෙ තාත්තට පොඩ්ඩක් අසනීප වුණා…”
“අනේ ඇයි? අප්පච්චිට මොකද? එයා මට කිව්වෙවත් නෑනෙ”
“නෑ නෑ නිතූ… කළබලේ ආවෙ හොස්පිටල්. ඌ මට කතා කළේ ඩ්‍රයිව් කරන්න බැහැ කියල. දැන් පැය දෙක තුනක් වෙනව ඇවිල්ල. කොල්ල තාත්ත ලඟ. මට කියල ගියෙ උඹට පණිවිඩේ කියන්න කියල”
“හරි… මට කියන්නකො අප්පච්චිට මොකද කියල” නිතාරා ඇහුවේ ඇත්තටම හිතට දැනුන බය නිසා. තමන්ගෙම තාත්තා අසනීප වුණ තරම්ම බයක්, දුකක් නිතාරගෙ හිතට දැනෙමින් තිබුණා.
“දන්නෑ බං. චෙස්ට් පේන් එකකට තමා ආවෙ. තාම ඉමර්ජන්සි ට්‍රීට්මන්ට්ස්. මුකුත් කියන්නෙත් නැහැ. ආන්ටිල ඔක්කොම මෙතන ඉන්නව. විමංග විතරයි අන්කල් ගාව”
“එහෙමද? හරි රවිඳු. ඔයා බලල මට අප්ඩේට් එකක් දෙනවද?”
“ශුවර්. මම කෝල් කරන්නම්. දැන් ඇහැරිලා ඉන්න එපා. නිදාගන්න” රවිඳු එහෙම කියලා දුරකථනය විසන්ධි කළා.
මේ ගැන අම්මලාට කියනවද නැත්තම් තව පණිවිඩයක් ලැබෙනකන් ඉන්නවද කියලා හිතාගන්න බැරුව නිතාරා කල්පනා කළා. කිව්වත් මේ මහ රෑ ගිහිල්ල වැඩක් නැහැනේ. හෙට උදේම කියනව හරියට මොකද වෙලා තියෙන්නෙ කියල බලලම. නිතූ හිතුවේ එහෙම.
ඊළඟ සතියට…
Leave a Reply