ඒ විදිහට පටන් ගත්ත නිතූගෙත් විමංගගෙත් ආදර කතාව ගලාගෙන ගියේ බොහොම සාමකාමී විදිහට. එදා බර්ත්ඩේ සප්‍රයිස් එක වගේම අමා හදිස්සියේ ගෙදර දුවපු එකත් කලින් කට්ටියම කලින් ප්ලෑන් කරලා කරපු දේවල් බව නිතූ දැනගත්තේ පහුවදා ලෙක්චර්ස් ගියහම. හැබැයි හැමදේම සිදුවුණ විදිහ ගැන නිතූ හිටියේ හරිම සතුටින්.
ඒ අතරේ විමංගගේ ඔළුවේ තිබ්බෙ වෙනස්ම දෙයක්. විමංගට ඕනවුණා මේ හැමදෙයක්ම අප්පච්චිත් එක්ක කියන්න. විමංග අප්පච්චිට හංගපු දෙයක් නැති තරම්. විශේෂයෙන්ම ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සෙ විමංගත් අප්පච්චිත් අතරේ තිබ්බ බැඳීම හුඟක් වැඩිවුණා. දැන් දෙන්නා හරියට යාළුවො දෙන්නෙක් වගේ. නිතාරා විමංගගෙ හොඳම යාළුවෙක් බවනම් අප්පච්චි දැනගෙන හිටියා. අප්පච්චි එක්ක කතා කරන සමහර වෙලාවල් වලදී විමංග නිතාරා ගැන ටිකක් වැඩිපුර කතාකරලා තිබුණා. ඒත් කෙලින්ම මේ කාරණාව කියන්න බැරි මහ අමුතු ලැජ්ජාවකුත් බයකුත් විමංගගේ හිතේ තිබුණා. අද අප්පච්චි උදේ ඉඳල ගෙදර. ඒ නිසාම විමංග හිතුවෙ කොහොමහරි හිතට හයිය අරගෙන ඔන්න ඔහේ කියල දානව කියලා.
ඊට කලින් නිතූටත් කියල ඉන්න ඕන කියල හිතලයි විමංග නිතූට චැට් එකක් දැම්මේ.
“ගුඩ් මෝනින් බබා…”
“ගුඩ් මෝනින්.. මම බලාගෙන හිටියෙ කෝ කියල” හැරෙන තැපෑලෙන් පිළිතුරු ආවෙ එහෙම. නැගිටපු වෙලාවේ ඉඳල අප්පච්චි එක්ක මේ ගැන කියන ක්‍රමයක් කල්පනා කළා මිසක් නිතූට චැට් එකක් දැම්මෙත් නෑ නේද කියල විමංගට මතක් වුණේ ඒ වෙලාවෙ.
“අනේ සොරි බබා… ඇත්තටම අමතකවුණා… මම පොඩි ප්‍රශ්නෙක” විමංග රිප්ලයි කළේ එහෙම.
“අනේ ඇයි? මොකක ප්‍රශ්නෙ?” නිතාර බයවෙලා බව ඇගේ පිළිතුරෙන් විමංගට තේරුණා.
“නෑ නෑ.. බයවෙන්න දෙයක් නෙමේ.
“එහෙනම්. බය නොකර කියනවකො වදේ”
විමංග හිනා මූණක් පිළිතුරු විදිහට යැව්වා…
“මේ… හිනා නෙමෙයි මැට්ටො. මොකක්ද ප්‍රශ්නෙ කියන්නකො. බලමු විසඳුමක්” නිතාර හරිම සීරියස් විදිහට ප්‍රශ්නය අරගෙන බව විමංගට තේරුණා.
“නෑ නෑ බං… ප්‍රශ්නයක් නෙමේ” විමංග වෙලාවකට පරණ පුරුදු භාෂාවෙන්ම නිතාරාව ඇමතුවා. නිතාරත් ඒකට අකමැති වුණේ නැහැ.
“අනේ තියාගන්න එහෙනම් මහලොකු ප්‍රශ්නෙ. යකෝ ඒක අහගන්න තියෙන අමාරුවක් මෙයාගෙන්”
“නෑ නිතූ… මම ඔයාට එදා කිව්ව නේද අප්පච්චිට ඔයා ගැන කියන්න ඕන කියල? අද අම්මත් නෑ. අප්පච්චි ගෙදර. අද තමා කතාකරන්න හොඳම දවස. ඒ වුණාට මට මාර බයයිනේ”.
මුලින්ම පිළිතුරු විදිහට ආවේ හිනා මූණක්.
“හිනාවුණාට මටත් බයයි විමංග. අප්පච්චි මොනව කියයිද?”
“කියලම තමා බලන්න ඕන. බනින්නෙනම් නෑ. එක්කො හිනාවෙයි. නැත්තම් සීරියස් අවවාද දෙයි. මට ලැජ්ජයි ඔක්කොටම වඩා”
“සමයන්…” නිතාරා පිළිතුරු එව්වේ ආයෙමත් හිනා මූණක් එක්ක.
“මේ මම යනවා. අප්පච්චිට කියල මට කතාකරන්න එහෙනම්”
ඔන්න ඔහේ ඕන එකක් වෙච්චදෙන් කියලා විමංග ඇඳෙන් නැගිටලා අප්පච්චි හොයාගෙන යන්න ලෑස්තිවුණා.
“අප්පච්චි…” විමංග කතාකළේ ජයදේවගේ කාමරය ලඟට ගිහිල්ලා.
“එන්න පුතා”
විමංග දොර ඇරගෙන කාමරය ඇතුලට ඇතුල්වුණා.
“ගුඩ් මෝනින් පුතා. ඔයා බ්‍රෙක්ෆස්ට් ගත්තද?”
“තාම නෑ අප්පච්චි. මම ටිකක් කතා කරන්න කියල ආවෙ”
“ආහ් ගුඩ්.. මටත් පුතාට කතා කරන්න ඕන. මම එදා කිව්වෙ.”
නිතාරගේ උපන්දින සැමරුම සැලසුම් කරන අස්සෙ අප්පච්චි කතාකරන්න ඕන කියලා කිව්ව බව විමංගට සම්පූර්ණයෙන්ම අමතක වෙලා තිබුණේ.
“අනේ සොරි අප්පච්චි. මට ඇත්තටම අමතක වුණා. කැම්පස් එකේ වැඩ වගයක් තිබ්බා. අනික මම මේ.. අප්පච්චිට.. කියන්න යන කතාව නි..සා..” විමංග අන්තිම හරිය කිව්වෙ වචන පැටලි පැටලි බොහොම හෙමීට.
“හරි.. කොල්ලො.. අපි එළියට යමුද? මට ඔයාට පෙන්නන්න දෙයක් තමා තියෙන්නෙ. අද බිසී නැද්ද? ලෙක්චර්ස් නැද්ද? “
” නෑ අප්පච්චි. අපි යමු”
“හරි පුතා ලෑස්තිවෙලා එන්නකො. ඔයාගෙ කාර් එකේ යමු”
විමංගගෙ වාහනය අප්පච්චිම විමංගට අරන් දුන්න එකක්. ඒ විමංගගෙ 20 වෙනි උපන්දිනයට. ඒක ඉතාම මිල අඩු, නමුත් සැපපහසු හුරුබුහුටි වාහනයක්. වාහනය තෑගි දීපු දවසේ අප්පච්චි විමංගට කිව්වෙ මෙහෙම කතාවක්.
“පුතා, ඔයා හිතන්න එපා මට ඔයාට මීට වඩා ලොකු වාහනයක් අරන් දෙන්න බැහැ කියලා. මම මේක ගත්තෙ අරමුණක් ඇතුව. මට ඕන ඔයාම දවසක ලොකු වාහනයක් ගන්නව දකින්න. මම ආවෙ එහෙම අමාරු ගමනක්. ඔයාත් යන්න ඕන එහෙම අමාරුවෙන්, තනියම යන ගමනක් පුතා.”
“මම දන්නව අප්පච්චි. මට කාර් එකක් ඕන නෑ ඇත්තටම දැන්ම.”
“නෑ පුතා. ඔයාට ඕනවෙයි දවසක. මම දන්නවා. මේක ඇති දැනට. අපි ඉස්සරහට බලමුකෝ. වැඩිය නොහිතා මේක පැදපන් දැනට” අප්පච්චි සිනහවෙමින් කියපු හැටි විමංගගේ හිතේ තදින්ම ඇඳුණා.
*******************************
අප්පච්චි කියපු පාරේ වාහනය පදවගෙන ගිහින් අවසානයේ නතරවුණේ නගරාසන්න නිවාස සංකීර්ණයක් ලඟ. බැලූ බැල්මට හරිම ලස්සන තැනක්.
“ඇතුලටම දාන්න පුතා.”
“කොහෙද අප්පච්චි යන්නෙ අපි? කාව හම්බෙන්නද?” විමංගට තිබුණේ කුතුහලයක්.
“යමුකො ළමයො ඉස්සෙල්ලා” ජයදේව කිව්වෙ සිනහ වෙමින්.
පාර්කින් එකේ නවත්තපු වාහනෙන් බැස්ස ජයදේව, විදුලි සෝපානයෙන් හයවෙනි මහල දක්වා ගිහින් අපාර්ට්මන්ට් එකක දොරක් ඉස්සරහා නැවතුනා. සාක්කුවට අත දාලා යතුරක් ගත්ත ඔහු කෙලින්ම දොර ඇරියා. විමංග බලන් හිටියේ පුදුමයකින්.
ඒක ඇත්තටම හුරුබුහුටි ලස්සන අපාර්ට්මන්ට් එකක්. ගෘහ භාණ්ඩ හැමදේම ලස්සනට ගළපලා තියල තිබුණා. ජයදේව නිහඬතාවය බිඳිමින් කතාකළා.
“විමංග…”
අප්පච්චි තමන්ට නම කියලම කතාකරන්නෙ බොහොම වැදගත් අවස්ථාවන් වලදී බව විමංග අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. උදේ හිතේ තිබ්බ බය දැන් දෙගුණ තෙගුණ වෙලා වගේ විමංගට දැනුනා.
“ඔව් අප්පච්චි කියන්න…” විමංග අසීරුවෙන් කෙළ ගිලිමින් පිළිතුරු දුන්නා.
ඊළඟ සතියට
Leave a Reply