ඔය පිරුණු කළේ දිය නොසැළේ කියලා කීමක් තියෙන්නේ. ඒකෙන් කියන්නේ ගොඩක්ම කථා කරන්නේ මොළේ හිස් මනුස්සයෙක්ය, මොළේ දේවල් තියෙන මනුස්සයෙක් කථා කරන්නේ අඩුවෙන්ය කියන කාරණාවනේ. හැබැයි ඔතන මෙන්න මෙහෙම කෑල්ලකුත් තියෙනවා. ඇත්තටම තමන්ට මොළේ තියෙනවා කියලා හිතාගෙන කථා කරන්න අවශ්‍ය තැනදිත් කථා නොකර ඉන්න එකෙන් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා අපිට කියන්න වෙනවා, ඥාණවන්ත මනුස්සයෙක් අනවශ්‍ය තැන කථා නොකළත්, අවශ්‍ය තැනදී අනිවාර්‍යයෙන්ම කථා කළ යුතුයි කියලා. එහෙම නැතුව කථා කරන්න ඕන තැනදී කට වහාගෙන ඉන්න එකෙන් තමන්ට වගේම සමහර විට අනුන්ටත් පාඩු සිද්ධ වෙන්න පුළුවන්.
ඇත්තටම අපි මේ කියන්නේ බොහොම ගැඹුරු දේවල් ගැන නෙවෙයි. එදිනෙදා ජීවිතේදී ඕනම කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන. අන්න ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන එක හොඳයි අපි මේ කියන අවස්ථාවන් ගැන.
1. හොටෙල් බුකින්
දැන් ඔන්න අපි කොහේ හරි ට්‍රිප් එකක් යන්න කියලා හිතලා, බුකින් වලට තියෙන සයිට් එකකින් බලනවා සර්ච් කරලා නවාතැනක්. ඔන්න අපේ බජට් එකට එකක් සෙට් වෙනවා. කෝකටත් කියලා කන්ෆර්ම් කරගන්න බුකින් එක දාන්න කලින් අදාළ නම්බර් එකට කතා කළාට පස්සේ ඒ පැත්තෙන් කියනවා, බුකින් සයිට් එකෙන් නොදා කෙලින්ම රිසවේෂන් දාන්නං, ගාණකුත් අඩු කරන්නං කියලා. මොකද නැත්තං බුකින් සයිට් එකටත් කොටහක් ගෙවන්න වෙනවනේ හොටෙල් කාරයට. අපිත් හරි සතුටින් හා කියලා යනවා. ට්‍රිප් එකත් ගිහින්, ආතල් එකත් අරන් හොටෙල් බිල් එක ගෙවන්න ආවට පස්සේ මෙන්න බොලේ ගාණ අර බුකින් සයිට් එකේ තිබ්බටත් වඩා දෙදහක් වැඩියි. මේ මොකද්ද වුනේ කියලා කෝකටත් බුකින් සයිට් එකටත් ගිහින් ආයෙමත් බැලුවහම ගාණ හරි. එතකොට මොකද්ද ඒ වුණේ?
මෙහෙමයි. බුකින් සයිට් වල ඔය ෆ්ලෑෂ් ඩීල්ස් එහෙම හැම වෙලේම කැරකෙනවා. අන්න එතකොට සයිට් එකෙන්ම නවාතැන වෙන් කරන එක වාසියි. කොහොමත් පිටින් රිසවේෂන් දාන්න කියපු ගමන් කට ඇරලා අහන්න ඕන එතකොට දවසකට කීයක්ද වැටෙන්නේ කියලා. අන්න ඒ ගාණ ඔය සයිට් එකේ තියෙන ගාණත් එක්ක සංසන්දනය කරලා තීරණේ කරන්න ඕන සයිට් එක හරහා යනවද, කෙලින්ම බුකින් එක දානවද කියලා.
2. ඉතුරු සල්ලි
මෙන්න මේක නම් කට වහගෙන ඉන්න නිසා පාඩු ලබන ජනප්‍රියතම ක්‍රමයක්. ඔන්න දැන් බස් එකට නැගලා කොන්දොස්තරට සල්ලි දෙනවා ටිකට් ගන්න. අපි සල්ලි දුන්නහම ටිකට් එක දෙන්න ඕනය කියන එක නීතියක්, හරිද. දැන් කොන්දොස්තර මහත්තයා අතේ මාරු සල්ලි නැතිනම් එයා කියනවා පස්සෙ දෙන්නං කියලා. හැබැයි හොඳ කොන්දොස්තර මහත්තයෙක් නම් ටිකට් එකේම ලියලා දෙනවා දෙන්න තියෙන ගාණ. අපි කියමු එහෙම නැතුව කට වචනෙට ඉතුරු දෙනවා කියලා යන කොන්දොස්තර මහත්තයෙක් කියලා. දැන් ඔන්න එක්කෝ ගමනාන්තයට ලං වෙනකොට අපිට ඉතුරු සල්ලි ඉල්ලන්න විචිකිච්ඡාවයි. කොන්දොස්තරටත් ඒක මතක නැති ගාණයි. අනේ ඉතින් ඉතුරු සල්ලි ඉල්ලන්න බයට හරි ලැජ්ජාවට හරි ඇඹරි ඇඹරි ඉඳලා, ගොඩක් දෙනෙක් ඉතුරු සල්ලිත් නැතුව බැහැලා එනවා බස් එකෙන්!
ඇත්තටම අපිට මෙතනදී මුලින්ම කට පණ තියෙන්න ඕන සල්ලි දුන්නහම ඒ ගාණට අදාළ ටිකට් එකක් ඉල්ලගන්න. ඒ වගේම ඉතුරු පස්සේ දෙන්නං කිවුවොත් ටිකට් එකේ ලියලා දෙන්න කියලා කට ඇරලා ඉල්ලා සිටින එකත් බොහොම හොඳ දෙයක්. අන්න එතකොට පස්සට ප්‍රශ්න නෑ.
3. මේකේ ගාණ කීයද?
ඔය සමාජේ තියෙන ස්ටීරියෝටයිප් මතයක් තමයි නෝනලා බඩු ගන්න ගියහම කේවෙල් කරනවාය, හැබැයි මහත්තුරු බඩුගන්න ගියපුවහම කේවෙල් නොකර කියන ගාණ දීලා බඩු අරන් එනවාය කියන එක. මුලින්ම කියන්න ඕන ඔය ස්ටීරියෝටයිප් කිරිල්ල වැරදියි කියලා. කියන ගාණ දීලා එන නෝනලත් ඉන්නවා, පැය ගණන් කේවෙල් කර කර ඉන්න මහත්තුරුත් ඉන්නවා. හැබැයි අපි කියන්න යන්නේ මෙහෙම දෙයක්. කේවෙල් කිරිල්ල පැත්තකින් තියමුකෝ. බඩුවක් ගන්න ගියහම වෙළඳ මහත්තයා කියන ගාණ ගෙවලා බහ් ගාලා බඩුවත් අරන් කට වහගෙන ගෙදර එන එක හපන් කමක් නෙවෙයි. මුලින් බලන්න ඕන තමන් ගන්න බඩුවේ පාලන මිලක් ගහලා තියෙනවද කියලා. අන්න එහෙමනම් ඒ පාලන මිලට වැඩියෙන් ඉල්ලුවොත්, සද්ද නැතුව ඒක අරන් ගෙදර ඉන්න තියාගන්නෙ නැතුව සද්දෙ දාන්න ඕන ඇයි පාලන මිලට වැඩියෙන් අලෙවි කරන්නේ කියලා. එහෙම පාලන මිල නැති බඩුවක් නම්, තමන්ට සාමාන්‍ය දැනීමක් තියෙන්න ඕන මේ බඩුවේ මිල සාමාන්‍යයෙන් කීයක් විතර වෙයිද කියලා. දැන් රුපියල් දහයකට පහළොවකට මරා ගන්න ඕන නෑ තමයි. හැබැයි බඩුවේ සාමාන්‍ය වටිනාකමට වඩා සැලකිය යුතු තරමකින් ගාණ වැඩියි නම් අන්න කෙලින් කතා කරන්න ඕන තැන.
එපා නං පව් නොදී යන්න කිවුවොත්, ඊලඟට කතා කරන්න තියෙන්නේ පාරිභෝගික අධිකාරියට!
4. බොහොම හොඳ අදහසක්!
දැන් ඔන්න අපි ඔෆිස් එකේ මීටින් එකක වාඩි වෙලා ඉන්නවා. බොස් මීටින් එක මෙහෙයවනවා. බොස් අහනවා අපි මේ කරන ප්‍රොජෙක්ට් එක ගැන අදහස් මොනවද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මගේ පුංචි මොළේට එනවා අදහසක්. හැබැයි ඉතින් කියන්න බයයි. බයටත් වඩා ලැජ්ජයි බයයි දෙකම මික්ස් වෙච්ච මොකද්ද එකක්. ඒක මෝඩ අදහසක් වෙයිද? බොස් මට හිනාවෙයිද? ටීම් එකේ අනික් එවුන් මගේ දිහා කිණ්ඩියට බලයිද? ඔන්න ඔය වගේ අදහස් එක්ක මම කට පියාගෙන, මගේ අදහස මගෙ ගාවම තියාගෙන ඉන්නවා. ආන්න එතකොට එහා පැත්තේ ඉන්න එකා තමන්ගේ අදහස කියනවා. යකෝ, මූ කියන්නෙත් මගෙ අදහසමනේ! ඔන්න ඒ පාර බොස් කියනවා “ඉතාම හොඳ අයිඩියා එකක්” කියලත්!! මූට කලින් අයිඩියා එක හිතලා නොකියා ගිලගෙන හිටපු මම මූට නියව නියවා ඉන්නවා. ආන්න ඒ නිසා, හිතට එන අයිඩියා එක මොකක් වුනත් තාර්කිකව ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් එකක් නම්, කට පියාගෙන ඉන්නෙ නැතුව කියලා දාන්න.
ඕක ඔෆිස් එකේ විතරක් නෙවෙයි, ඉස්කෝලේ, කැම්පස් එකේ, ක්ලාස් එකේ එහෙමත් වෙන්න පුළුවන්!
5. මහත්තයා නගින්නකෝ, පස්සෙ බලල කීයක් හරි ගමු!
අපි හැමෝ ම ගොඩක් වෙලාවට ටුක් ටුක් නැතිනම් ත්‍රීවිල් පාවිච්චි කරනවනේ ගමන් බිමන් යන්න. ගොඩක් වෙලාවට දැන් ඇප් එකකින් කතා කර ගන්න පුළුවන් ටුක් ටුක් තියෙනවා. නැත්තං පාරට බැස්සහම වුනත් මීටර් හයි කරපු ත්‍රීවිල් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට ඔය ත්‍රීවිල් පාක් එකකින් ගන්න ටුක් එකකට මීටර් නෑ. රජමල්වත්තේ අහවල් තැනට යන්න තියෙනවා කිව්වහම හරි යමු කියලා හරවලා ගන්නවා. එතනට ගාණ කීයද කියලා ඇහුවොත් කියනවා “මහත්තයා නගින්නකෝ, පස්සෙ බලලා කීයක් හරි ගමු” කියලා. දැන් තැනට ගියාට පස්සේ සමහර හිත හොඳ ත්‍රීවිල් රියැදුරු මහත්තුරු ඉන්නවා ගාණක් කියන්නෙත් නෑ. වෙනද මෙතනට දෙන ගාණම මහත්තයා බලලා දෙන්න කියනවා. හැබැයි සමහර අයියලා ඉන්නවා කෙලින්ම කියන්නේ ඩබල් ගාණක්. දැන් හයර් එක ඇවිල්ලත් ඉවරයි. මොකද කරන්නේ? ආන්න ඒකට හොඳම විසඳුම තමයි නගින්න කලින්ම ගණන් කතා කරගන්න එක. පස්සේ බලලා ගමු ටයිප් කතාවක් කිවුවොත් කෙලින්ම කියන්න මගෙ ගාව ගාණට සල්ලි තියෙන්නේ, ඒ නිසා දැන්ම ගාණ කියන්න කියලා.
6. ප්‍රයිවසි කියන්නේ ප්‍රයිවසි
මේක මේ දවස් වල සෑහෙන්න වෙන දෙයක්. ඒ තමයි කොවිඩ්-19 ප්‍රශ්නත් එක්ක, ජනමාධ්‍ය වලින් මිනිස්සුන්ට සිද්ධ වෙන කරදර. ඒ කියන්නේ බැරිවෙලාවත් ගෙදර කොවිඩ්-19 පොසිටිව් එකෙක් හිටියොත්, මුළු ගෙදරම වීඩියෝ කරලා, මූණුත් එක්කලම අටේ ප්‍රවෘත්ති වලට දානවා. හැබැයි මතක තියාගන්න ඕන එකක්. කිසිම ජනමාධ්‍යයකට බැහැ මේ වගේ අවස්ථාවල එහෙම මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට බලපෑම් කරන්න. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කරන්නෙත් නෑ. අන්න ඒක වැරදියි. පුරවැසියෙක් විදියට තමන්ගේ පුද්ගලිකත්වයට බාධා එල්ල කෙරෙන මොහොතකදී තමන්ට කතා කරන්න අයිතිය තියෙනවා. අන්න ඒ අයිතිය පාවිච්චි කරන්න ඕන, කට පියාගෙන ඉන්නේ නැතුව.
7. අනේ හරි වුනත් වැරදි වුනත් මම නෑ ඕවට!
මේක තමයි අපිට කියන්න අවශ්‍ය වැදගත්ම කාරණාව. ඔය සමහරු ඉන්නවා හෙනම සාමකාමීයි. ඒ අය අනුන්ට කරදරේකුත් නැතුව, තමන්ට කරදරේකුත් නැතුව තමයි හැම තිස්සෙම ජීවත් වෙන්න හදන්නේ. ඒ ගතිගුණේ කොයි තරම්ද් කියනවා නම්, වැරැද්දක් දැක්කත් ඒවට කතා කරලා නැති ප්‍රශ්න හදාගන්න යන්නෙ නෑ. දෙයියනේ කියලා තමන්ගේ පාඩුවේ වැරැද්දක් වුනත් නෑසූ කන්ව, නොදුටුවන්ව ඉන්නවා. ආන්න ඒක සහතිකෙන්ම වැරදි දෙයක්. අපි වැරැද්දක් දැක දැක කට පියාගෙන ඉන්නවා කියන්නෙම ඒ වැරැද්දට අනුබල දීමක්. අපි මේ කියන්නේ මනුස්සයෙක් බඩු ගන්න පෝලිම පැනලා තග් පාට් එකෙන් බඩු ගත්තොත්, ඒක ගෙදර ඇවිත් ෆේස්බුක් එකේ ලියන්න කියලා නෙවෙයි. ඒ මොහොතේ, එතැනදීම ඒක කතා කරන්න. මනුස්සයාගේ තග් පාට් තමන්ට දරන්න බෑ වගේ නම් කෙලින්ම මුදලාලිගෙන් අහන්න ඇයි පෝලිම් පැනපු මරුසියාට ඉඩ දෙන්නේ කියලා. අන්න එහෙම එක්කෙනෙක් ඉදිරිපත් වුනොත්, අනික් මිනිස්සුත් අසාධාරණේට එරෙහිව කතා කරයි.
වැරැද්ද දැකලා කට පියාගෙන ඉන්නේ නැති මිනිස්සු තමයි ඇත්තටම අපිට මේ ලෝකෙට ඕනා!
Leave a Reply