හිමි අහිමි – 2 කොට​ස

පළමු කොටස මෙතන ක්ලික් කර කියවන්න!

 

නිතාරාට තිබුණේ කලබලයක් නැතුව ගලාගෙන ගියපු ජීවිතයක්. ඒ වගේම නිදහස් ආදරයක්. විමංග කියන්නෙ ලොකු වයසක් නැතිවුණත් ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබුණ පිරිමි ළමයෙක් කියල නිතාර දන්නවා.

 

“ඔක්කොමත් හොඳයි මේ මනුස්සය හදිස්සියට ෆෝන් එකත් ආන්ස්වර් කරානම්” ජංගම දුරකථනයේ තිරයට ඔරවමින් තමන්ටම කියාගත්ත නිතාරා ආයෙමත් විමංගගෙ නම්බර් එක ඩයල් කරා. 

 

“මේ  පස්වෙනි කෝල් එක… දෙන්නම්කො මම අද උන්දැට කන පිරෙන්න” එහෙම හිතුවට නිතූ ඇත්තටම හිතින් වද වුණා. නිතාරව ගෙදරින් බස්සල අම්මලාටත් කතා කරල විමංග පිටත්වුණේ දැන් පැය දෙකකටත් කලින්. ඒ වෙලාවේ ඉඳල තාම කෝල් එකක් නෑ. නිතාරගේ කෝල්ස් වලට ආන්ස්වර් කරන්නෙත් නැහැ. “මේ වෙලාවට තමා මේ ඔක්කොම දමල ගහල පාඩම් වැඩක් කරගෙන හිටියනම් ඉවරයි හිතෙන්නෙ”. නිතාරට එහෙම හිතුණා. පුංචි කාලෙ ඉඳලම නිදහසේ හැදුණ නිසාම හිතින් වුණත් නිතර කරදර වෙන්න නිතාරා කැමති නෑ. 

 

“චූටි… කන්නෙ නැද්ද ළමයෝ?” ඒ නිතාරගේ අම්මා.

 

ගෙදර ඉන්නෙ තුන්දෙනෙක් නිසා කෑම මේසෙට යවපු වෙලාවෙ ඉඳලම අම්මගෙ කරදරේ කාල ඉවර කරනකම්ම. බඩගින්නක් නැති වුණත් නොකා බැරිකමට නිතාරා අම්මගෙ පස්සෙන් කුස්සියට ගියා.

 

කෑම කාල කාමරේට එද්දි චාර්ජර් එකට ගහපු ෆෝන් එකේ මිස්ඩ් කෝල්ස් හයක්. ඔක්කොම විමංගගෙන්. ආපහු විමංගගෙ අංකය ඩයල් කරපු නිතාරා හෙඩ් සෙට් එක කන් දෙකට ගහගත්තා. 

 

“හෙලෝ… හරී හරී..  බනින්න එපා… දැන් ඔයාගෙ මිස්ඩ් කෝල්ස් වලට මගේ මිස්ඩ් කෝල්ස් කැපුණම වරද සමානයි. හරිනේ” නිතාරා හෙලෝ කියන්නත් කලින් විමංග කියාගෙන ගියා. බනින්න හිටපු මූඩ් එක පැත්තක තියෙද්දි නිතාරට තනියම හිනා.

 

“හරි හරි… කොහෙද ගියෙ. මං බයවුණා…”

 

“හෙට අප්පච්චිගෙ බර්ත්ඩේ එකනෙ නිතූ… එයාට ගිෆ්ට් එකක් ගන්න ගියා. උදේම දුන්නොත්නෙ හොඳ”

විමංගගෙ අප්පච්චිගේ උපන්දිනය අමතකවීම ගැන නිතාරා තමන්ටම දොස් කියාගත්තා.

 

“අනේ මට ඇත්තටම අමතකවුණා බබා… ඔයා වෙනදට කලින් ඉඳලම කියවනවනෙ අප්පච්චිගෙ බර්ත්ඩේ එක ලංවෙද්දි. මේ පාර සද්දයක්වත් නැති නිසා මටත් මතක් වුණේ නෑ. මම මුකුත් ගත්තෙත් නෑනෙ”

 

“හරි හරි කෙල්ල. මම දන්නවා. මේ කාර් වොශ් කළබල අස්සෙ තව පොඩ්ඩෙන් මටත් අමතක වෙනවා”.

 

එහෙම කිව්වට විමංගට කාගෙවත්ම උපන්දිනයක්නම් අමතක නොවෙන බව නිතාරා හොඳටම දැනගෙන හිටියා. ඒක හරි පුදුම වැඩක්. වෙන කොල්ලො උපන්දින අමතක කළා කියල යාළුවො කම්ප්ලේන් කරද්දි නිතාරට යාළුවන්ගේ උපන්දිනත් මතක් කළේ විමංග. එයා ලඟ වෙනම බර්ත්ඩේ ඩේටා බේස් එකක්ම තිබුණා.

 

“ඔන්න මම ඔයාටත් එක්කම ගිෆ්ට් එකක් ගත්ත. ලේලි පොඩ්ඩට ලකුණු ටිකක් දාගන්න එපැයි” 

 

“අනේ යනව යන්න. මොනවද ගත්තෙ?”

 

“ඔයාගෙ ගාණෙ ශර්ට්ස් දෙකක්. මගේ ගාණෙ වොච් එකක්. කොච්චර තිබ්බත් අප්පච්චි ආසයි ඔරලෝසු වලට. තව ඔය පොඩි පොඩි කෆ්ලින්ක්ස්, ඉයර් ෆෝන්ස් වගේ ගැජට් දෙක තුනකුත් ගත්ත”. 

විමංග කියන්නෙ සල්ලිකාර පවුලක කොල්ලෙක්. හැබැයි හිතාගන්නවත් බැරිතරම් නිරහංකාර කොල්ලෙක්. ඒ හුඟක්ම විමංගගේ අප්පච්චිගෙ ගතිගුණ. විමංගගෙ අප්පච්චිට ගාමන්ට් ෆැක්ට්‍රීස් දෙකක් අයිති වෙලා තිබුණා. තව කුරුණෑගල පැත්තෙ පොල්වතු, ගෙස්ට් හවුස් වගේ බිස්නස් කිහිපයක්ම තියෙන බවත් විමංග කියල තිබුණා. ඒ ගැන හාර අවුස්සා අහන්න උවමනාවක් නිතාරට තිබ්බෙ නෑ වගේම වත්කම් ගැන කියවන්න උවමනාවක් විමංගට තිබ්බෙත් නැහැ. 

 

විමංග බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක කළෙත් අප්පච්චිගෙ උවමනාවට. බිස්නස් වල පාලනය විමංගට හුරු කරන්න අප්පච්චි ලොකු කැමැත්තකින් හිටියා. විමංගගෙ මල්ලි තාම ඒ ලෙවල් කරන වයසේ. කොල්ලා විමංගට වඩා ටිකක් සෙල්ලක්කාරයි. අම්මගෙ හුරතලේ. ඒ නිසාම අප්පච්චි වැඩි බලාපොරොත්තු තිබ්බෙ විමංග ගැන. නිතාරා ගැන කිව්වමත් අප්පච්චි කියල තිබ්බෙ “ආහ් එහෙනම් පුතාට බැරියෑ වයිෆ් එක්කම බිස්නස් බලාගන්න” කියලා.

 

“මං තියනව නිතූ.. කාල වොශ් එකක් දාගන්නත් ඕන. නිදාගන්න කලින් කෝල් එකක් ගන්නම් හොඳේ..”

 

“හාකො..”

 

“ආහ් මේ.. උදේම අප්පච්චිට කෝල් කරනව නේ?”

 

“අනේ මේ මෝඩයො. ඒක අහන්නත් දෙයක්ද? මම කෝල් කරනව තමා… මේ… හවසට පන්සල් යමුද?”

 

දෙන්නගේ ලව් අෆෙයාර් එක හීනියට පටන් අරන් අවුරුදු දෙකකටත් වැඩිවුණාට ගෙවල්වල මැදිහත්වීම වැඩිවුණේ විමංගගෙ අප්පච්චි නිතූලගෙ ගෙදර ඇවිල්ල ගියාටත් පස්සෙ. කලින් කතා කරල විශ් කළාට, පුංචි ගිෆ්ට් එකක් යැව්වට විමංගගෙ අප්පච්චි එක්ක නිතාරා ගමන් ගිහිල්ල නෑ. පන්සල් යන්න ඇහුවට එයා එයිදෝ කියල සැකයකුත් නිතූට නොතිබ්බම නෙමෙයි. 

 

“යං යං. අප්පච්චි ආසවෙයි.. ඉන්න මම කාල ඇවිත් ගන්නම්කො ඔයාට”

 

“හරි… බායි” නිතාරා ඉතුරු ටිකත් කියන්න කට ඇරියට විමංග එහා කොනෙන් කෝල් එක කට් කරලත් ඉවරයි. “ඔහොම්මමයි මේ මෝඩයා” හිතින් බනිමින් නිතාරා ෆෝන් එක පැත්තකින් තිබ්බා. 

 

කොළඹම හැදුණ වැඩුණ නිතාරගෙ කටට අප්පච්චි කියන වචනය හරි නුහුරුයි. විමංගගෙ අප්පච්චිගේ උපන් ගම කුරුණෑගල පැත්තෙ. ඒ නිසා එයාලා තාත්තා වෙනුවට අප්පච්චි කියන යෙදුම පාවිච්චි කළා. “එක අතකට තාත්තා කියනවට වඩා හරි ගෞරවයක් අප්පච්චි කියන වචනේ තියෙනව නේ…” නිතාරට එහෙම හිතුණා. කොහොමටත් අප්පච්චි ගරු කරන්නම ඕන මනුස්සයෙක් තමයි. ඒ තරම්ම පොළවේ පයගහල ඉන්න මනුස්සයෙක් නිතාරා ජීවිතේටම දැකල නැති තරම්. වැඩියම ආශ්‍රය කරල නොතිබුණත් අප්පච්චිගෙ ප්‍රසන්න හිනාවයි, කතාවයි වගේම විමංග අප්පච්චි ගැන ඉඳහිට කියන කතන්දර නිසාත් නිතාරගෙ හිතේ විමංගගෙ අප්පච්චි, ඒ කියන්නෙ ප්‍රසිද්ධ ව්‍යාපාරික මින්දුල ජයදේව ගැන ලොකු පැහැදීමක් තිබුණා. විමංගගෙ අම්මා ඊට හාත්පසින්ම වෙනස්. ඒ දෙන්නා හරියට අහසට පොළව වගේ. කැම්පස් එක ලඟට විමංගව ගන්න අප්පච්චි එක්ක ආපු එකම එක දවසක අහම්බෙන් මුණගැහිලා විතරක් තිබුණ අම්මා හරියට මූණ බලලා හිනාවුණේවත් නැතිබව නිතාරාට මතකයි. 

 

ඊළඟ සතියට…

 

හිමි අහිමි – 1 කොටස