අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 9 කොට​ස

මේ ලිපි පෙළ ගැන ආපහු අමුතුවෙන් අටුවා අටුවා ටීකා ටිප්පණි ලියන්න අවශ්‍ය නැති නිසා වැඩි කතාබහක් නැතුව අපේ කලා ලෝකයේ සැඟවුණු රස කතා අදත් හොයලා බලමු. මේ ලිපි මාලාවේ පැරණි ලිපි පහත ලින්ක්වලින් කියවන්න!

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 6 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 7 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 8 කොටස

 

 

1. ලතාගේ සහ ක්ලැරිස්ගේ තරගය

 

‘මාතලන්’ චිත්‍රපටය අපේ සිනමා ඉතිහාසය තුළ සුවිශේෂී වෙනසක් ඇති කරන්න දායක වුණු චිත්‍රපටයක්. විශේෂයෙන් ක්ලැරිස් ද සිල්වා නම් සුරූපී නිළිය මේ චිත්‍රපටය හරහා ලංකාවේ සිනමාවට සෑබෑ නර්තනය හඳුන්වා දුන්නා. ඒ වගේම ඇගේ ගීත සඳහා හඬ මුසු කළේ තරුණ ලතා වල්පොලයි. 

ලතා විසින් පවසා ඇති පරිදි ඒ කාලය තුළදී ලතා සහ ක්ලැරිස් ද සිල්වා තරගයක යෙදී තිබෙනවා. දිනපතා උදෑසන අවදි වූ වහාම සිය සිරුරේ සිහින් හැඩය පවත්වාගෙන යෑමේ අරමුණින් ක්ලැරිස් දෙහි යුෂ වීදුරුවක් පානය කරන අතරතුර එවකට කෙට්ටු සිරුරකින් හෙබි වුණු ලතා මහත් වීම සඳහා බෙහෙත් පානය කොට තිබෙනවා.

 

2. වන්දනාගේ චැලෙන්ජ් එක 

රතු රෝස ටෙලි නාට්‍ය හරහා එතෙක් මෙතෙක් කිසිදු ටෙලි නාට්‍යය නිළියකට ලබාගැනීමට නොහැකි වූ තරම් අසීමිත ජනප්‍රියත්වයක් ළඟා කරගත් වන්දනා ලියනආරච්චි තමන් එම ටෙලි නාට්‍යයට පමණක් දායක වීමට හේතු වූ කරුණු පිළිබඳව හෙළිකර තිබුණා. ඒ කාලයේ දී ඇයගේ පෙම්වතා බවට පත්වී තිබුණේ සුපිරි සිනමා නළුවෙකුගේ පුත්‍රයෙක්. ඔහු ඒ වන විට නැගී එන සිනමා නළුවෙක් විදිහට ප්‍රසිද්ධියට පත් වෙමින් සිටියා. චිත්‍රපටයක් රූගත කරන අතරතුර තවත් නිළියක් සමග සමග පෙම් සබඳතාවක් ඇති කර ගත් ඔහු වන්දනා සමඟ තිබූ පෙම් සබඳතාවට තිත තැබුවා. එතෙක් කල් විවිධ අධ්‍යක්ෂකවරුන් විසින් කලා නිර්මාණ සඳහා දායක වන ලෙස වන්දනාට කර තිබූ ඉල්ලීම් ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබුණත් එම හේතුව නිසාම ඇය රතු රෝස  ටෙලිනාට්‍යයට පමණක් රඟපෑමට තීරණය කළා. එහිදී කලින් සදහන් කළ නිළිය එම චරිතය කිරීමට වන්දනාට හැකි නොවනු ඇති බව ඇගේ මුහුණට පැවසීම නිසා තමන්ට ලැබුණු චරිතයට උපරිම සාධාරණත්වයක් ලබාදීමට ඇය උත්සාහ කළා. ප්‍රේක්ෂකයන් විදිහට අපි ඒ නිළියට ස්තුතිවන්ත වෙන්න ඕන මොකද රතු රෝස හරහා ටෙලිනාට්‍ය කලාවේ එතෙක් මෙතෙක් බිහි වුණු සුපිරි තරුවක ආගමනයට ඇය දැක්වූ දායකත්වය නිසා.

 

3. අනූෂා සොනාලිට අනවශ්‍ය බලපෑමක් කළ ජේෂ්ඨ නළුවා 

අද වෙනකොට රෝද පුටුවකට සීමා වෙලා හිටියත් අනූෂා සොනාලි කියන්නේ දිරිය කාන්තාවක්. ඇය තමන්ට වැරදුණු තැන් පිළිබඳව අවංකව කතා කරනවා වගේම නැවතත් දෙපයින් ඇවිදිනවා කියන අධිෂ්ඨානයෙන් යුතුව ජීවත් වෙනවා. පසුගියදා එක්තරා යූ ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක දී ‘විසි දැල’ චිත්‍රපටියේ රූගත කිරීම් අතරතුර ඇයට අත්විඳීමට සිදු වූ අප්‍රසන්න අත්දැකීමක් ගැන ඇය හෙළිකර තිබුණා. ජේය්ෂ්ඨ  නළුවෙකු වන ඩබ්ලිව්. ජයසිරි විසින් ඇයට යම් අනවශ්‍ය බලපෑමක් කර තිබූ බවත් ඊට ඇය විසින් දැඩි ප්‍රතිචාරයක් ලබාදුන් බවත් ඇය හෙළිකරනු ලැබුවා.

 

4.සුසිලා කෝට්ටගේගේ දුක්බර ළමා විය 

සිය මවගේ මරණයත් සමග කුඩාකල සුසිලා කෝට්ටගේට දිවි ගෙවීමට සිදු වුණේ සිය කුඩම්මා සමගයි. වචනයෙහි පරිසමාප්ත අර්ථයෙන්ම නපුරු කුඩම්මා කෙනෙකු වූ ඇය සුසිලාට විවිධ හිරිහැර කොට තිබෙනවා. වතාවක් ඇය විසින් සුසිලාට නොනවත්වා පහර දෙන අවස්ථාවක එය දෙස බලා සිටීමට නොහැකි වූ සුසිලාගේ පියා පිහියක් රැගෙන කුඩම්මා අතට දී “එක්කෝ මේ කෙල්ලව එකපාර මරපන්” යැයි පැවසූ බව ඇය අදටත් පවසන්නේ කඳුළු වෑහෙන දෙනෙතෙනුයි.

 

5. ගාමිණීගේ හෙලිදරව්ව 

වතාවක් සවනට ගී මධු වැඩසටහන සඳහා සහභාගී වූ ගාමිණී ෆොන්සේකා බොහොම ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරලා තිබ්බා. ප්‍රභාකරන්ගේ චරිතය සම්බන්ධ කරලා චිත්‍රපටයක් කරන්න ඔහුගේ අදහසක් තිබිලා තියෙනවා. මේ ගැන චන්ද්‍රිකා බණ්ඩාරනායකට දැනුම් දෙන්න ඇයව හමුවෙන්න අරලියගහ මන්දිරයට ඔහු ගිහින් තියෙනවා. ඒ අදහස අගය කරපු චන්ද්‍රිකා රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ගැන තමන් බලා ගන්නා බවත් චිත්‍රපටය කරන ලෙසත් ගාමිණීට කියලා තියෙනවා. හැබැයි ඊට ටික වෙලාවකට පස්සෙ සනත් ගුණතිලක මේ කතාබහට හොරෙන් සවන් දීගෙන ඉන්නවා කියලා ගාමිණීට දැනිලා තියනවා. ඒ නිසා එවැනි පුද්ගලයන් ළං කර නොගන්නා ලෙස චන්ද්‍රිකාට පවසමින් ඔහු අරලියගහ මන්දිරයෙන් නික්මිලා තියෙනවා.

 

6. ජෝතිපාලට යක්ෂාවේශ වූ දවස 

එච්. ආර් ජෝතිපාල විසින් නිෂ්පාදනය කරපු ‘සුමිතුරෝ’ චිත්‍රපටය වෙනුවෙන් ඔහු මුදල් හොයාගත්තේ බොහොම අමාරුවෙන්. චිත්‍රපටය තිරගත වීමෙන් පස්සේ බොහෝ සිනමා ශාලා කරුවන් මුණගැහුණු එච්.ආර් ජෝතිපාල තමන්ගේ චිත්‍රපටිය සඳහා ප්‍රේක්ෂකයන් එනතෙක් දින කිහිපයක් ඉවසන ලෙස ඉල්ලා තිබෙනවා. එහිදී එක්තරා සිනමාහල් හිමියෙක් පවසා ඇත්තේ එක මනුස්සයෙක් හිටියත් තමන් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන බවයි. නමුත් ඉන් දින කිහිපයකට පසුව ‘සුමිත්‍රයෝ’ චිත්‍රපටය එම චිත්‍රපට ශාලාවෙන් ගලවා තිබෙනවා. ඉන් කෝපයට පත්වන එච්. ආර් ජෝතිපාල, මේ පුද්ගලයාට එළව එළවා පහර දීලා. පස්සේ සිනමා ශාලා හිමියෝ සියළු දෙනාම එකතුවෙලා සුමිතුරෝ ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්න තීරණය කළත් එච්. ආර් ජෝතිපාල ඒ ගැන කිසිම තැකීමක් කරලා නැහැ.

 

7. ලංකාවේ පළවෙනි කැසට් පටය කළේ කවුද? 

අද බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවේ ලංකාවේ පළවෙනි කැසට් පටය කළේ මිල්ටන් මල්ලවාරච්චි කියලා. ඒත් එස්. ඒ බෙනට් මහතා හෙළි කරලා තියෙන විදිහට පළවෙනි කැසට් පටය කරලා තියෙන්නේ බෙග් මාස්ටර්. ඒත් කැසට් පටය නිකුත් වීමෙන් අනතුරුව තමන්ව විකුණගෙන කනවා යයි විජය රාමනායකට විරුද්ධව බෙග් මාස්ටර් විසින් නඩු පැවරීම නිසා ගැටළුවක් ඇතිවෙලා තියෙනවා. මේ නිසා මේ කැසට් පටය ගැන තොරතුරු ප්‍රචාරයට පත් වීම නිසි පරිදි සිදු වෙලා නැහැ.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම අපිට බණින ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම කලා ලෝකයේ අපි නොදන්න රස කතා තියනවනම්  ඒ ගැන කමෙන්ට් එකකින් හරි මැසේජ් එකකින් හරි අපිට දන්වන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *