ලෝකෙ පුරා උපන්දින සමරන වෙනස් විධි

උපන්දින කියන්නෙ අපි කාටත් සතුට ගේන සැමරුමක්. හරියටම හිතුවොතින් උපන්දිනයකින් වෙන්නෙ අවුරුද්දකින් වයසට යන එක උනාට අපි හැමෝම ආසයි උපන්දින එනවට. ඒ විශේෂ සැමරුමකට, තෑගි ලබන්න එහෙම තියෙන ආසාව නිසාම වෙන්නැති. ඉතින් ලංකාවේ අපිත් එක එක විදිහට උපන්දින සමරනවනේ. සමහර අය දාන මාන, පින්දහම් කරලා උපන්දින සමරන අතරේ තවත් සමහරෙක් සාද විදිහටත් උපන්දින සමරනවා. ඉතින් ලංකාවෙ වගේම තමයි ලෝකේ එක එක රටවල වෙනස් වෙනස් ක්‍රම වලට හුඟක් අය මේ උපන්දිනය කියන දවස සමරනවා. ඉතින් මේ කියන්න යන්නෙ එක එක රටවල උපන්දින සමරන විවිධ ක්‍රම ගැනයි. හේතුව එකම උනත් වෙනස් වෙනස් සම්ප්‍රදායන් හැදිල තියෙන හැටි බලන්නකෝ.

 

1. ඇමරිකාව

ඇමරිකාවේ සාමාන්‍යයයෙන් උපන්දිනය සමරන්නෙ සාදයක් විදිහට. උපන්දින කේක් එකක් මේසෙ උඩ තියල ඒ උඩ ඉටිපන්දම් සවි කරනව. එක අවුරුද්දකට එක ඉටිපන්දම ගා​ණෙ වයසට හරියන ප්‍රමාණයක් ඉටිපන්දම් සවි කරනවා. ඒ කියන්නෙ අවුරුදු 10ක් නම් ඉටිපන්දම් 10ක්. උපන්දිනේ හිමිකාරය මේ ඉටිපන්දම් පත්තු කරද්දී තමයි වටේ ඉන්න හැමෝම “Happy Birthday to You” කියන සුභ පැතුම් ගීතය ගායනා කරන්නෙ. ගීතය අවසාන වෙනවත් එක්කම උපන්දින හිමිකරු ප්‍රාර්ථනාවක් හිතාගෙන ඒ ඔක්කොම ඉටිපන්දම් එක පාරින්ම පිඹලා නිවන්න උත්සාහ කරනවා. එක උත්සාහයෙන් ඔක්කොම ඉටිපන්දම් නිවාගන්න පුළුවන් උනොත් අර ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියල තමයි කියන්නෙ. සංග්‍රහ විදිහට දෙන්නෙ අතින් කන්න පුළුවන් සරල finger foods සහ fruit punch වගේ දේවල්.

 

2. චීනය

චීනයේ විශේෂයෙන්ම සමරන්නෙ සමහර උපන්දින විතරයි. ඒ කියන්නෙ පහුවෙන හැම උපන්දිනයක්ම විශේෂයෙන් සලකලා සැමරුම් කරන්නෙ නැහැ. එහෙම සමරන්නෙ පළවෙනි උපන්දිනය, 10වෙනි, 60වෙනි, 70වෙනි සහ 80 වෙනි උපන්දින. ඒ අතරිනුත් 60වෙනි උපන්දිනය විශේෂයි. 60වෙනි උපන්දිනය ඔවුන් සලකන්නේ ලග්න 12 චක්‍රයක් සම්පූර්ණ කරපු උපන්දිනය විදිහට. ඒ වගේම මේ උපන්දින වලට හුඟක් වෙලාවට සහභාගී වෙන්නෙ පවුලේම කට්ටිය. සංග්‍රහ විදිහට පිළිගන්වන කෑම අතරේ Long Life Noodles අනිවාර්යයෙන්ම ඇතු​ළත් වෙනවා. මේ දිග නූඩ්ල්ස් වර්ගය උපන්දින හිමිකරු කටින් ඇදලා ආහාරයට ගන්න ඕන. දිගට අදින තරමට දිග ජීවිතයක් ලැබෙනවා කියල තමයි සංකේතවත් වෙන්නෙ. 

 

3. අයර්ලන්තය 

අනික් හුඟක් රටවල වගේම පවුලේ සහ ලඟම හිතවතුන් එක්ක සමරන පුංචි සාදයක් විදිහට තමා අයර්ලන්ත වැසියන්ගේ උපන්දින සමරන්නෙත්. සම්ප්‍රදායික අයර්ලන්ත කෑම පිළිගන්වලා විනෝද වීම තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි ඒ අතරේ ටිකක් අසාමාන්‍ය මේ ක්‍රියාවත් කෙරෙනවා. ඒ තමයි “bumping the birthday child” කියන වැඩේ. මේකෙදි වෙන්නෙ වැඩිහිටි කෙනෙක් උපන්දිනය සමරන දරුවාව ඔළුව යට පැත්තට හිටින්න කකුල් දෙකෙන් උස්සලා බොහෝම හෙමින් ඒ දරුවාගේ ඔලුව පො​ළවේ ස්පර්​ශ කරවනවා. එහෙමත් නැත්තම් bump කරනවා. ඒ දවසට සම්පුර්ණ වෙන වයසේ ප්‍රමාණයට තමා ඔළුව bump කරන්නෙ. ඒ කියන්නෙ අවුරුදු 10 උපන්දිනයනම් 10 පාරක් ඔළුව bump කරනවා.

ඒ වගේම 21 වෙනි උපන්දිනය ලබන කෙනෙකුට එදාට ගෙදර යතුරු ලබාදීම සම්ප්‍රදායක් විදිහට සිදුකෙරෙනවා. මේකෙන් අදහස් වෙන්නෙ ඔහු/ඇය වැඩිහිටියෙක් විදිහට සලකන බවත්, එතනින් පස්සේ කැමති වෙලාවක ගෙදරින් යන්න එන්න පුළුවන් කියන එකත්.

 

4. ජපානය

ජපානයේ උපන්දින සැමරීම වෙන්නෙ හරිම අඩුවෙන්. මොකද ඔවුන් පුද්ගලයෙකුට වසරක් සම්පූර්ණ වෙනවා කියලා සලකන්නේ ඔවුන්ගේ අලුත් අවුරුදු දවසටයි.

මේ උපන්දින වෙනුවට ජපන් දරුවන් සහභාගී වෙනවා 7-5-3 celebration කියල උත්සවයකට. සාමාන්‍යයෙන් ඒ උත්සවය පැවැත්වෙන්නේ නොවැම්බර් 15 වෙනිදා දවසටයි. අතීතයේදී හුඟක් දරුවෝ පුංචි කාලෙම මියගිය නිසා පිරිමි ළමයෙක් අවුරුදු 5 සම්පූර්ණ උනහමත්, ගැහැණු දරුවෙක් අවුරුදු 3 සහ 7 සම්පූර්ණ උනහමත් එයාලට තියෙන හොඳම ඇඳුම් වලින් සැරසිලා පන්සලට ගිහින් යහපත් සෞඛ්‍යයක් ලබාදීම වෙනුවෙන් ස්තූති කිරීමක් සිදු කරනවා.

 

5. ඕස්ට්‍රේලියාව 

ඕස්ට්‍රේලියාවේ උපන්දින හුඟක් වෙලාවට සැමරෙන්නේ එළිමහනේ පැවැත්වෙන බාබ්කියු පාර්ටි විදිහටයි. ඇමරිකාවේ වගේම කේක් එකක් උඩ ගහපු ඉටිපන්දම් නිවද්දී ප්‍රාර්​ථනයක් කරන එක මේ රටෙත් පුරුද්දක්. ඕස්ට්‍රේලියාවේ පුංචි ළමයින්ගේ උපන්දින සාද වලදී එයාල කන Fairy Bread කියල විශේෂ කෑමක් තියෙනවා. මේ fairy bread කියන්නෙ සාමාන්‍ය පාන් පෙති උඩ බටර් තවරලා, ඒ උඩින් sprinkles ඉහලා හදන කෑමක්. 

 

6. අප්‍රිකාව

අප්‍රිකාව කියන්නෙ ගම්මාන ගොඩකින් හැදුන රටක්. ඉතින් එකම රටක් ඇතු​ළේ උනත් ඒ එක එක ගම්මාන වල උපන්දින සමරන විදිහත් එකෙක්ට එකක් වෙනස්. සමහර ගම්වල උපන්දින විශේෂයෙන් සමරන අතරේ සමහර ගම්වල එහෙම සමරන්නෙ නැහැ. හැබැයි ඒ හැම ගමකම දරුවන් වැඩිවියට පත්වීම සංකේතවත් කරන්න විශේෂ සැමරුමක්නම් කෙරෙනවා. 

ඝානා රාජ්‍යයේ උපන්දිනය සමරන දරුවට උදෙන්ම “oto” කියන බැදපු බතල වලින් හදපු ආහාරයක් පිළිගන්වලා සැමරීම සිදු කෙරෙනවා. දවල් වරුවේ විවිධ කොළ වර්ග දාපු වතුරකින් නාවලා ආත්මය පිරිසිඳු කිරීමක් කෙරෙනවා. 

 

7. මෙක්සිකෝව

මෙක්සි​කෝවේ සම්ප්‍රදායික taco ඇතුළු ආහාර වර්ග එක්ක සමරන සාදයක් තමයි එයාලගෙ උපන්දින. මේකෙදි කෙරෙන විශේෂ කාර්යක් තියෙනවා. ඒ තමයි piñata කියලා පැණිරස කෑම වර්ග පුරවලා කඩදාසි වලින් හදන සතෙකුගේ රූපයක්, ඒ කියන්නෙ unicorn figure වගේ එකක් සාදයට එන අමුත්තන් විසින් කෝටු වලින් ගහලා කඩන එක. එහෙම කාලම හැම තැනම විසිරිලා යන පැණිරස කෑම කාලා අමුත්තන් විනෝද වෙනවා.

ඒ වගේම Quinceanera එහෙමත් නැත්තම් ගැහැණු ළමයෙක් අවුරුදු 15 සම්පූර්ණ උනහම ඇය වැඩිහිටි වයසට එළඹුණා කියන එක සංකේතවත් කරන්න කරන විශේෂ සැමරීමත් මෙක්සිකානු සම්ප්‍රදායේ විශේෂ සැමරීමක්.  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *