අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 4 කොට​ස

මේ ලිපි පෙළ ගැන ආයි අමුතුවෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕන කියලා අපි හිතන්නේ නෑ. මොකද කලින් ලිපිවලටත් ඔයාලගෙන් අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තිබ්බ නිසා. මේ නිසා වැඩි කතාබහක් නැතුව අපි කෙලින්ම ලිපියටම යමු. පැරණි ලිපි මගහැරුණා නම් පහත ලින්ක් වලින් ඒවා කියවන්න!

 

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

 

1. කරාවේද රේඛාවද?

‘රේඛාව’ චිත්‍රපටිය අපේ සිනමා ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක්. හැබැයි මුල් කාලෙදි නම් රේඛාව චිත්‍රපටයට මල් වගේම ගලුත් එල්ල වෙලා තියෙනවා. සමහර ගල් පහරවල් එල්ල කරල තියෙන්නෙ කිසිම පදනමක් නැතුව. ඒ දවස් වල රේඛාව කියන්නේ කුල කුමන්ත්‍රණයක් විදිහටත් හඳුන්වලා දීලා තියෙනවා. ඒකට හේතුව විදිහට ඔවුන් දීලා තියෙන්නේ රේඛාව චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුනිල් ශාන්ත, මර්සලින් ජයකොඩි පියතුමා වගේ බොහොමයක් දෙනෙක් කරාව කුලයට අයත් වීම. “කරාවේ” වචනයේ අකුරු වෙනස් කර ගනිමින් චිත්‍රපටයෙ නම “රේඛාව” කරලා තියනවා තියෙනවා කියලත් ඔවුන් චෝදනා කළා.

 

2. සාගරයක් මැද නිසා අයිරාංගනීට අහිමි වුණු දේ 

‘සාගරයක් මැද’ චිත්‍රපටය ගැන අපි කලින් වතාවකත් සටහනක් තිබ්බා. ගාමිණී ෆොන්සේකා විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය තුළ 1970 සිට 77 දක්වා කාලය තුළ ලංකාවේ පැවති තත්ත්වය නිරූපණය කිරීමට ඔහු උත්සාහ කළා. විශේෂයෙන් ඔහු එම රජය සමයේ ප්‍රබල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ චරිතය මෙම චිත්‍රපටිය සඳහා භාවිතා කළා. මෙම චිත්‍රපටිය ගැන විශාල විස්තරයක් නොකර ගාමිණී ෆොන්සේකා විසින් කුඩා චරිතයක් රඟපෑමට අයිරාංගනී සේරසිංහට ආරාධනා කළා. ගාමිණීගේ ඉල්ලීම නිසා අයිරාංගනී එම කෙටි චරිතය නිරූපණය කළා. නමුත් තමන් නිරූපණය කරන ලද්දේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ නැන්දම්මාගේ චරිතය බව ඇය පසුව දැන ගත්තා. ෆීලික්ස් සහ ඔහුගේ බිරිඳ වූ ලක්ෂ්මී අයිරාංගනීගේ ඥාතීන් පමණක් නොව විශ්ව විද්‍යාල සගයන් වී පවා සිටියා. මෙම චිත්‍රපටය තිරගත වීමෙන් පසුව ලක්ෂ්මී අයිරාංගනී සේරසිංහ සමග සියලු සම්බන්ධතා නත​ර කරනු ලැබුවා. ෆීලීක්ස් නම් වෙනදා වගේම අයිරාංගනී සමග කතා බහ කළා.

 

3. ඔහොම සින්දු කිය කිය ඉඳලා හරි යන්නෑ 

1970 සමගි පෙරමුණු රජයේ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා විදිහට කටයුතු කළේ එස්. එස් කුලතිලක මහත්මයා. වතාවක් ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් විදේශ සංචාරයක් සඳහා යද්දි යම් යම් කටයුතු වගයක් නිරාකරණය කරගන්න අමාත්‍යාංශයට ගිහිල්ලා ඇමතිවරයාව හම්බ වෙනවා. ඊට  මාසෙකට විතර පස්සේ අර ගායකයාව නැවතත් මුණගැහුණාම ඇමැතිවරයා අහනවා, “කොහොමද හොඳට සින්දු කිව්වද?” කියලා.

ගායකයා “ඔව් සර්” කියලා උත්තර දෙනවා. “හැමදාම සින්දු කියලා හරියන්නෑ අයිසේ රස්සාවක් හොයාගන්නවා” කියලත් ඇමතිවරයා මේ ගායකයාට උපදෙසක් ලබා දෙනවා. තවත් තරුණියක් තමන්ගේ ප්‍රසංගයක මූලාසනය ගන්න ආරාධනා කරන්න මේ ඇමතිතුමාව මුණ ගැහෙන්න යනවා. “අනේ දුව දැක්ක කල්, එදා උත්සවේ නටනව දැක්කට පස්සේ අදනේ දුවව දැක්කෙ” කියලා මේ තරුණියව දැක්ක ගමන් ඇමැතිතුමා කියනවා. මේ ඇමතිතුමා හරිම නිහතමානී ඇමතිවරයෙක් කියලා ඔබට හිතෙනවා ඇති. ඔව් එහෙම හිතන එකෙත් වැරැද්දක් නෑ. හැබැයි පරහකට තියෙන්නේ අර ගායකයා පණ්ඩිත් අමරදේව වීමයි, තරුණිය නන්දා මාලනිය වීමයි.

 

4. මගේ සක බඹරේ දැන් කැරකේ මාව සිසාරා 

මේ කතාව අපිට ඇහෙන්නේ ලංකාවේ පළවෙනි චිත්‍රපටය වුණු කඩවුණු පොරොන්දුවෙන්. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වුණු නාරායන අයියර් ගීත ගායනා කිරීම ගැන ගායක ගායිකාවන්ට උපදෙස් ලබා දෙමින් ඉඳලා තියෙනවා. ඒ අවස්ථාවේ දී අපි කලින් සඳහන් කරපු ගීතයේ වචන ඔහුට කියවිලා තියෙන්නෙ මෙන්න මේ විදිහට ” මගේ ෂක බඹරේ ඩෙන් කෙරකේ මාව ෂිෂාරා”. අයියර්ගේ මේ උච්චාරණය අහල හිනා ගිය හියුගෝ මාස්ටර් “හිටගෙනද?” කියල අහල තියෙනවා. එහෙම අහපු එකේ උපහාසාත්මක බව ගැන නොතේරෙන අයියර් ඊළඟට කියලා තියෙන්නේ “හිටගෙනද” කියන වචනෙත් සින්දුවට ඇතුළත් කරමු කියලා. අන්තිමට චිත්‍රපට නිෂ්පාදක නායගම් මැදිහත් වෙලා තමයි අයියර්ට වුණු දේ පැහැදිලි කරලා තියෙන්නේ. 

 

5. හෙන්රි ජයසේනව පියල් කළ නාසය 

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ගම්පෙරළිය චිත්‍රපටයේ පියල්ගේ චරිතය රඟපෑමට තමන්ව තෝරාගත් බව අහපු හෙන්රි ජයසේන මහත්මයා අතිශයින් සතුටට පත් වනවා. එසේ වීම තමන්ගේ ජීවිතයේ වාසනාවක් බවටත් ජේම්ස් පීරිස් මහත්මයා ඉදිරිපිටදීම ඔහු ප්‍රකාශ කළා. ගම් පෙරළිය තුළ ඔහු කළ රඟපෑම ප්‍රේක්ෂකයන්ගේ වගේම විචාරකයන්ගේත් පැසසුමට ලක් වුණා. නමුත් පසු කලක දී තමයි හෙන්රි ජයසේන මහත්මයාට තමන්ව ඒ චරිතයට තෝර ගන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා තීරණය කරපු සැබෑම හේතුව දැන ගන්න ලැබිලා තියෙන්නේ. ඒ හේතුව ඇහුවම නම් හෙන්රි ජයසේන මහත්මයාට පොඩ්ඩක් අප්සටුත් ගියාලු. මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා පියල් ගේ රූපය විස්තර කරද්දී පියල්ට කජු පුහුලමක් වගේ නාසයක් තියෙනවා කියලා සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් හෙන්රි ජයසේන මහත්මයාගේ නාසය හින්දා තමයි පියල් ගේ චරිතයට ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මයා විසින් ඔහුව තෝරාගෙන තියෙන්නේ.

 

6. ජෝ අබේවික්‍රම ශ්‍රියාණි අමරසේනට දුන්න ලණුව

ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම රංගන ශිල්පියෙක් වුණත් ජෝ අබේවික්‍රම මහත්මයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙක්. ඒ වගේම විනෝදයට බර පුද්ගලයෙක්. ක්ෂේත්‍ර​ය ඇතුළේ තමන්ගේ යාළු මිත්‍රයන්ට ලණු දෙන්න කප් ගහපු කෙනෙක් විදියට තමයි ජෝ අබේවික්‍රම මහත්මයා ප්‍රසිද්ධ වෙලා හිටියේ. “දෑස නිසා” චිත්‍රපටිය රඟපාද්දි ඔහුට සහ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ ශ්‍රීයානි අමරසේනට වැවක බැහැලා නාන දර්ශනයක් රූගත කරන්න තිබ්බා. මේ දර්ශනයට කලින් ශ්‍රියානි අමරසේන මහත්මියට ජෝ අබේවික්‍රම මහත්මයා කිව්වේ කැමරා අධ්‍යක්ෂක සුමිත්ත අමරසිංහ මහත්මයා ගාව විශේෂ ලෙන්ස් එකක් තියෙනවා. දියරෙද්දට වතුර වැටුණම  ලෙන්ස් එකෙන් බලද්දි මුළු ඇඟම නිරාවරණය වෙලා පේනවා කියලා. මේ හින්දා ඒ දර්ශනය රූගත කරන්න බෑ ම කියන්න කියලා ජෝ අබේවික්‍රම මහත්මයා ශ්‍රියානි අමරසේන මහත්මියට උපදෙස් දෙනවා. ශ්‍රියානි අමරසේන මහත්මිය ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්මයා ගාවට කඩිමුඩියේ ගිහිල්ලා මේ දර්ශනය රූගත කරන්න තමන්ට බෑ කියල කියනවා. මේකට හේතුව අහලා හිනාවෙන ලෙස්ටර් මහත්තයගේ කරුණු පැහැදිලි කිරීමෙන් පස්සේ තමයි ශ්‍රියානි අමරසේන මහත්මිය මෙම දර්ශනයට මුහුණ දෙන්න එකඟ වෙන්නේ. 

 

7. මං මුලා වුන මංමුලා වැල් 

“මං මුලා වැල්” කියන්නේ තිස්ස අබේසේකර මහත්මයා නිර්මාණය කරපු මෙතෙක් තිරගත නොවූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටියේ අවසාන දර්ශනය රූගත කිරීමට නොහැකි වුණා කිව්වත්, එම දර්ශනය නැතිව වුවත් චිත්‍රපටිය තිරගත කරන්න පුළුවන් කියලා සමහරු කියනවා. කොහොම වුණත් මං මුලා වැල් චිත්‍රපටයේ නම නිසා එම චිත්‍රපටයට දායක වුණු කීප දෙනෙක්ටම අකාලයේ මිය යන්න වුණා කියලා කතාවක් ක්ෂේත්‍රය තුළ පැතිර ගිහිල්ලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ ධම්ම ජාගොඩ, විජය කුමාරතුංග වගේම චිත්‍රපටයේ පළමු නිෂ්පාදකයා ව​න මුනිදාස ද සිල්වා මහත්මයත් අකාලයේ මිය ගියේ මේ චිත්‍රපටය හා බැඳිච්ච යම්කිසි අවාසනාවක් නිසාලු.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *