ටික දොහකට කලින් අපි ලියපු කලා ලොවේ අප්‍රකට කතා ලිපි දෙකට ඔයාලගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. මේ ඒ නිසා අපි හිතුවා ඒ ලිපි මාලාවේ තුන්වැන්නකුත් ලියන්න.
මේ ලිපි මාලාවේ මුල් ලිපි පහත ලින්ක්වලින් කියවන්න!
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස
1. සිරිල් පෙරේරා අරුණ ශාන්ති වුණු හැටි
අරුණ ශාන්ති කියන නම අපේ පරම්පරාවට නම් එතරම් හුරු පුරුදු නමක් නෙමෙයි. නමුත් ඔහු සිංහල සිනමාවේ සුප්‍රකට පෙම්වතෙක්. අහම්බෙන් සිනමාවට පිවිසෙන ඔහුට රුක්මණී දේවිය සමග “පෙරළෙන ඉරණම” චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාව තමන්ට දෙවියන් විසින් ලබාදුන් භාග්‍යයක් විදිහටයි ඔහු සලකන්නෙ. රුක්මණී දේවියට දැඩි ලෙස හිතවත්කමක් දක්වන ඔහු නිතරම ඇය සමග ගමන් බිමන්වල යෙදෙනවා. ඔවුන් දෙදෙනාම එකට දකින ශිල්පීන් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ඇති බවට රාවයක් පතුරුවා යනවා. එවකට චිත්‍රපට නිෂ්පාදනය වුණේ ඉන්දියාවේ නිසා ඉන්දියාවේ චිත්‍රාගාරවල පවා මේ ගැන කතාබහ කෙරෙනවා. මේ ගැන කෝපයට පත්වන එඩී ජයමාන්න මේ නළුවාගේ නම චිත්‍රපටියේ නාමාවලියෙන් ඉවත් කළ යුතුයි කියලා ගැටුමක් ඇති කර ගන්නවා. මේ නිසා උභතෝකෝටිකයකට මැදි වෙන චිත්‍රපටයේ නිර්මාණකරු වන බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න මහතා විසඳුමක් යෝජනා කරනවා. ඒ තමයි සිරිල් පෙරේරා විදිහට උප්පැන්න සහතිකයේ සඳහන් වුණු වුණු මේ නළුවාගේ නම සිනමාවට ගැලපෙන විදිහට “අරුණ ශාන්ති” නමින් වෙනස් කිරීමට.
2. ලංකාවේදී පැරදී ජාත්‍යන්තරය ජයගත් මොරින්
1955 දී ශ්‍රී ලාංකේය යුවතියක් විශ්ව රූ රැජින තරගයේ දෙවැනි ස්ථානයට පත් වෙන්න සමත් වෙනවා. අද දක්වාම එය වාර්තාවක්. මොරීන් හින්ගර්ට් නම් වුණු ඇය නැවතත් ලංකාවට එන්නේ දහසකුත් බලාපොරොත්තු එක්ක. ඒ තමයි ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වීම. ඇය හා හා පුරා කියලා “ප්‍රේම තරගය” චිත්‍රපටයට සම්බන්ධ වෙනවා. ඇය දක්ෂ ලෙස රංගනයේ නිරත වුණත් උපතින් බර්ගර් ජාතික කාන්තාවක් වීම නිසා ඇගේ සිංහල උච්චාරණය ගැන අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකවරයා සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේ නිසා ඇයව චිත්‍රපටයෙන් ඉවත් කරනු ලබනවා. මේ ගැන කණස්සල්ලට පත්වන ඇය විදේශ ගත වෙනවා. නමුත් එහෙම විදේශ ගතවීම ඒ නිසා ඇයට නැවතත් වාසනාව ළඟා වෙනවා. The King and I, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky වගේ හොලිවුඩ් චිත්‍රපටි ගණනාවක රඟපෑමට ඇයට අවස්ථාව ලැබෙනවා.
3. ලතාගේ අත පැතූ ප්‍රේම්නාත් මොරායස්
අපේ රටේ ගීත කෝකිලාවිය වන ලතා වල්පොල මහත්මිය විවාහ වුණේ ධර්මදාස වල්පොල මහත්මයා එක්ක. ඔවුන් දෙදෙනා ගේ විවාහය නිසා ලංකාවේ ගීත ක්ෂේත්‍රයට බොහෝ මියුරු යුග ගායනා එකතු වුණා. නමුත් ලතා වල්පොල මහත්මිය සිනමාවේ ගීත ගායනා කරන්න එකතු වුණු මුල්ම අවදියේ දී චිත්‍රපටි නිෂ්පාදකයෙකු වන ප්‍රේම්නාත් මොරායස් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තියෙනවා. දැඩි නීති කාරයෙක් වුණු ප්‍රේම්නාත් වරක් ඇය සංගීත ප්‍රසංගයකදී ධර්මදාස වල්පොල සමග ගීතයක් ගායනා කිරීම ගැන දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. මේ නිසා කෝපයට පත් වුණු ලතා වල්පොල ඔහු සමග තිබුණු ප්‍රේම සම්බන්ධතාවයට තිත තියනවා. මේ ගැන අහන්න ලැබෙන හියුගෝ මාස්ටර් ලතා සහ ධර්මදාස වල්පොල අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කිරීමට මැදිහත් වෙනවා. අවසානයේ දී ලතා සහ ධර්මදාස විවාහ වෙනවා.
4. ටෙස්ට් මඟුල් දැන්වීමෙන් ගොඩ ගිය දෙන්නා
ඩී.බී ධනපාල මහත්මයා අපේ රටේ පුවත්පත් කලාවට අලුත් අලුත් අංග එකතු කරපු කෙනෙක්. එතුමා තමයි මංගල දැන්වීම් පළ කිරීමේ සම්ප්‍රදාය ලංකාවේ ආරම්භ කරන්නේ. පළවෙනි වතාවට එතුමා කරලා තියෙන්නේ තමන්ගේ පත්තර කන්තෝරුව හිටපු සියලු තනිකඩ ජන මාධ්‍යවේදීන් කැඳවලා ඔවුන්ගේ විස්තර ඇතුළත් මංගල දැන්වීම් පළ කරන්න කියලා උපදෙස් දීපු එක. එදා මංගල දැන්වීම් දාපු “ආතර් යූ.අමරසේන” නම් පුවත්පත් කලාවේදියාට ශ්‍රියානී වීරකෝන් නම් තරුණියකගේ පවුලෙන් පිළිතුරක් ලැබෙනවා. මේ යෝජනාවට හිත වැටෙන ආතර් යූ අමරසේන, අර තරුණියව ශ්‍රියානි අමරසේන කර ගන්නවා. බොහෝ තරුණ නිළියන්ට විවාහයෙන් පස්සෙ සිනමා ගමන නවත්තන්න සිද්ධ වුණත් ක්ෂේත්‍රය ගැන හොඳට දන්න ආතර් යූ අමරසේන මහත්මයා තමන්ගේ බිරිඳගේ රංගන කටයුතු වලට අකුල් හෙළීමක් නම් කරන්නේ නෑ.
5. ටක්කෙටම අනාවැකි කියූ එඩ්නා සුගතපාල
එඩ්නා සුගතපාල කියන්නෙත් අපේ රටේ හිටපු සුන්දරතම නිළියක්. නමුත් බොහෝ දෙනා නොදන්නවා වුණාට ඇය ජෝතිශ්‍යය පිළිබඳව විශාරද දැනුමක් තිබ්බ කෙනෙක්. ඒ වගේම ඇය ප්‍රසිද්ධියේ අනාවැකි පළකිරීම් නොකළත් තමන්ගේ සහෝදර රංගන ශිල්පීන් වෙනුවෙන් ටක්කෙටම හරියන අනාවැකි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම වතාවක් පුවත්පත් කලාවේදියෙක්ට පවසපු විදිහට තමන්ගේ සැමියාට හෘදයාබාධයක් වැළඳෙන බව කලින් දැනගත් ඇය නියමිත දිනයේදී ඔහුව රෝහලට ගෙනියන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
6. ෆ්‍රැන්සිස්කෝ ඩි කොපොලාට බෑ කියූ චන්ද්‍රරත්නම්
සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙලා ජාත්‍යන්තරය ජයගත් චරිත අතරින් ප්‍රමුඛතමයා විදිහට චන්ද්‍රන්රත්නම් මහත්මයාව හඳුන්වා දෙන්න පුළුවන්. වතාවක් ඔහු තිර පිටපතක් රචනා කරමින් ඉඳලා තියෙනවා. ඒ අවස්ථාවේදී තිර පිටපත දැකපු ඔහුගේ මිත්‍රයෙක් ඒ ඇසුරෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අවසර ඉල්ලලා තියනවා. නමුත් මේ මිත්‍රයා ඒ වෙනකොට කිසිම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා නොතිබිච්ච නිසා චන්ද්‍රන්රත්නම් ඔහුගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කරලා. නමුත් ඒ මිත්‍රයා පස්සෙ කාලෙකදි God Father වගේ හොලිවුඩ් චිත්‍රපටි නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් බවට පත්වෙනවා. ඔහු තමයි ෆ්‍රැන්සිස්කෝ ඩි කොපොලා.
7. වේදිකාවට ගිය විමලා කාන්තා ට සිද්ධ වුණු ඇබැද්දිය
විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ මව සහ පියා දෙදෙනාම සුප්‍රකට ටවර්හෝල් තරු. එතුමියගේ මව වුණු විමලා කාන්තා මහත්මිය තම දරුවන්ට වගේම කලාවටත් එකසේ ආදරේ කළ කාන්තාවක්. නාට්‍ය දර්ශනවලදී තමන්ගේ දරුවන් රැගෙන යන ඇය ඔවුන් සියලු දෙනාවම නලවා නිදි කිරීමෙන් පසුවයි වේදිකාවට යන්නේ. වතාවක් ඇය තමන්ගේ දරුවෙක්ට කිරි දීමෙන් පසුව වේදිකාවට යද්දි හැට්ටයට කටු ගසා නිසි පරිදි සකසා ගැනීමට නොහැකි වෙලා තියනවා. ඒ අවස්ථාවේ දී වේදිකාවේ හිටපු රොමිලිස් මාස්ටර් කීප වතාවක් ඉඟියෙන් හැට්ටය සකසා ගන්න කියලා කියන්න උත්සාහ කරලා තියනවා. ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වුණාට පස්සේ “දේවිය, දරුවන්ට කිරිදුන් පසු හැට්ටය සකස් කරනොගෙන රාජ සභාවට පැමිණෙන්න ලැජ්ජ නැද්ද” කියලා නාට්‍ය දෙබසක් විදිහට පවසලා තියෙනවා. ඒ අවස්ථාවේ දී තමයි විමලාකාන්තා මහත්මිය තමන්ට සිදුවුණු අතපසු වීම ගැන වටහා ගෙන තියෙන්නේ.
එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ශෙයා කරන්නත්, කමෙන්ට් සෙක්ෂන් එකේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. ඔබේ අදහස් අපිට වටිනවා.
Leave a Reply