ඔන්න ඉතින් මේ කියන්න යන්නේ කලා ලෝකයේ අපි දන්න කියන කීප දෙනෙක් ගැන තියෙන අප්‍රකට කතා කීපයක්. මේ සිදුවීම් ගැන මාධ්‍යවලින් ඇහෙන්නේ බොහොම අඩුවෙන්
1. අකුරු වරද්දාගත් රුක්මණී දේවිය
මේ සිද්ධිය වෙලා තියෙන්නෙ කැලෑහඳ චිත්‍රපටයේ රූගත කිරීම කරන්න ඉන්දියාවේ ගිය වෙලාවේ. මුලින්ම මේ ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ කිව්වේ කැලෑහඳ චිත්‍රපටයේ ජෝන් ජයපාල ගේ චරිතය රඟපාපු ස්ටැන්ලි පෙරේරා මහත්මයා (සබීතා පෙරේරා මහත්මියගේ පියා). ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම නිසා රුක්මණී දේවියට සිංහල කියවීමේ හැකියාවක් තිබිලා නැහැ. මේ නිසා ඇය තමන්ගේ දෙබස් ඉංග්‍රීසියෙන් ලියාගෙන තමයි කියලා තියෙන්නේ. කැලෑ හඳ චිත්‍රපටියේ රුක්මණී දේවිය රඟපාපු මාලනී චරිතයට හතුරුකම් කරන චරිතයේ නම වෙන්නේ ඩේසි අත්තනායක. මේ චිත්‍රපටයේ රුක්මණී දේවියට කියන්න මෙන්න මෙහෙම දෙබසක් ලියලා තිබිලා තියෙනවා.
“එහෙනම් ජෝන් ජයපාල ඩේසි අත්තනායකගේ ඇමට ඇමිණිලා ඉන්නේ “
ඒත් රුක්මණී දේවිය ඇමට ඇමිණිලා කියද්දි ඒ අකුර දැකලා තියෙන්නේ එච් අකුර විදිහට.
ඇහිච්ච දේ හිතාගන්න පුළුවන් නේද?
2. චිත්‍රපටියක් මැද්දේ පැනලා ගිය රෝයි සුමනා
අපේ රටේ ජීවත්වන කලා යුවලවල් අතරින් ආදර්ශමත් යුවලක් විදිහට රෝයි සුමනා යුවල සලකන්න පුළුවන්. ඔවුන් දෙදෙනා මුණ ගැසෙන්නේ සිනමාවෙන්. නමුත් ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාවයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගෙන් එතරම් කැමැත්තක් හිමි වෙලා නෑ. මේ අතරතුරේ දී ඔවුන් දෙදෙනාට එකට “සූකිරි කෙල්ල” චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව ලැබෙනවා. චිත්‍රපටයේ එක දර්ශනයකට සුමනා අමරසිංහ උඩරට ක්‍රමයට මාල හත දාලා අද මනාලියක් විදිහට සැරසෙනවා. රෝයි ඇඳලා ඉඳලා තියෙන්නේ ඉන්දියානු ක්‍රමයට සැරසුණු ඇඳුමකින්. චිත්‍රපටයේ වැඩ කටයුතු කෑම වෙලාවට නැවැත්තුවම රෝයි ඇවිල්ලා අහනවා ගමනක් යමුද කියලා. සුමනා එච්චර හිතන්නේ නැතුව හා කියලා. මේ ගමන නවතින්නේ විවාහ රෙජිස්ටාර්වරයෙකු ගාව. ඒ දෙදෙනාම විවාහ වෙලා නැවතත් දර්ශන තලයට එනවා. ඉන් මාස කිහිපයකට පස්සේ තමයි ගෙවල් වලට දන්වන්නේ ඔවුන් දෙදෙනා විවාහ වුණා කියලා .
3. නොසිතූවිරූ අපවාද වලට ලක් වුණු අනෝජා වීරසිංහ
අනෝජා වීරසිංහ කියන්නේ දවස් දෙකක් රැස්වීම් හතක කතා කිරීම නිසා සිනමාවෙන් උපයා ගත් සියල්ලම එක දවසකින් දවා අළු කර ගත්ත කාන්තාවක්. වැඩියෙන්ම අසාධාරණයට ලක් වුණු සිනමා නිළිය විදිහට ඇයව හැඳින්වුවත් වරදක් නැහැ. අනෝජාට කුඩා කාලයෙත් අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.
ඇයට කුඩා කාලේ පාසල් පැවරුමකට සිගරට් පෙට්ටි කීපයක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ සිගරට් පෙට්ටි ගන්න පුළුවන් මොණරාගල ශ්‍රී රම්‍යා චිත්‍රපටි ශාලාවෙන් කියලා දන්න අනෝජා එතනට ගිහිල්ල කළමනාකාරවරයාගෙන් ඒවා ඉල්ලගෙන පිටතට එනවා. මේ සිදුවීම දකින යම් කෙනෙක් අනෝජා සහ එම කළමනාකාරවරයා අතර අනියම් සම්බන්ධතාවක් තිබෙන බවත් ඒ නිසා ඇය ගැබ්ගෙන ඇති බවටත් ගම පුරා කතාවක් පතුරනවා. ඒ අවස්ථාවේදී තමන්ට සිටියේ තමන් පමණක් බව අනෝජා කියනවා. ඒ අවස්ථාවේදී ඇතිවුණු පීඩනය නිසා තමන්ට සිය දිවි හානි කරගන්න පවා සිතුණු බව ඇය කියනවා.
4. ලතාට හතුරු වුණු පියා
ලතා වල්පොල මහත්මිය කියන්නේ අපේ රටේ ජාතික වස්තුවක්. ඒ වුණාට ඇයගේ ගීත ගායනයට එක් පුද්ගලයෙක් තමන්ගෙ විරෝධය පළ කරලා තියෙනවා. ඒ ලතා වල්පොල මහත්මියගේ පියා වුණු ජෝශප් ප්‍රනාන්දු මහතා. ලතා වල්පොල මහත්මියගේ මව වූ එළිසබෙත් මියුරියල් මහත්මිය තමන්ගේ දරුවාගේ හැකියාවන් වෙනුවෙන් සියළු කැප කිරීම් කරපු කෙනෙක්. චිත්‍රපටි ගීත ගායනයට ලතාව ඉන්දියාවට රැගෙන යාමේ වරදට ඇයට වන්දි ගෙවන්න වුණේ තමන්ගේ විවාහයෙන්. කෝපයට පත් වූ ඇගේ පියා විසින් ලතාගේ කුඩා කාලය හා සම්බන්ධ සියලුම ඡායාරූප පවා විනාශ කර තිබෙනවා. කොයි තරම් තමන්ට දුෂ්ටකම් කළත් පියාගේ අවසාන කාලයේ ඔහුව බලාගෙන තියෙන්නෙත් ලතා වල්පොල මහත්මියමයි.
5. ලෙස්ටර් ගේ පළමු සහ අවසාන චිත්‍රපට වල රඟපෑ මව සහ පුතා
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ පළවෙනි චිත්‍රපටය වුණු රේඛාවේ රඟපාපු තැනැත්තියකගේ පුතෙක් එතුමාගේ අවසන් චිත්‍රපටය වුණු අම්මාවරුනේ චිත්‍රපටයේ රඟ පෑවා. ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිළපිටිය සහ ඔහුගේ මව වුණු මල්ලිකා පිළපිටිය තමයි මේ දෙදෙනා. රේඛාව චිත්‍රපටියේ සේනගේ අක්කගෙ චරිතය වුණු ප්‍රේමවතීගේ චරිතය තමයි මල්ලිකා පිළපිටිය මහත්මිය මුලින්ම රඟපෑවේ. රොෂාන් ගේ පියා සමඟ විවාහයෙන් පස්සේ ඇයට රඟපෑම සඳහා නැවත අවස්ථාවක් ලැබුනේ නැහැ. නමුත් දශක කීපයකට පසු ගොළු හදවත ටෙලි නාට්‍යය කරද්දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඇයට ආරාධනා කරනවා දමයන්ති ගේ මවගේ චරිතය රඟපාන්න කියලා. ඒ අවස්ථාවේදී ඇය සමග යන රොෂාන්ව දකින ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ඔහුට කියනවා සුගත්ගේ යාලුවෙක්ගේ චරිතයක් කරන්න එකතු වෙන්න කියලා.
6. ජේ.වී.පී කරපු ගීතා
ගීතා කුමාරසිංහ මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරලා අවසානයේදී ද්විත්ව පුරවැසි ප්‍රශ්නයක් හින්දා තමන්ගෙ මන්ත්‍රී අසුන අහිමි කරගත්තා. නමුත් ඒ මහත්මිය මුලින්ම දේශපාලනයට අත් පොත තියන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන්. ඒ පාසල් යන කාලයේ. ඇය ජේ.වී.පී පන්ති පහටම සහභාගි වෙලා තිබුණු කෙනෙක්.1971 කැරැල්ල අවස්ථාවේ දී ඇයගේ මව තමන් දන්න හඳුනන පොලිස් නිලධාරියෙකුගේ නිවසේ සඟවා තියලා ඇයව ආරක්ෂා කර ගෙන තිබෙනවා. ගීතා කුමාරසිංහ කියන්නේ එහෙම නොවුණා නම් තමන්ටත් ප්‍රේමවතී මනම්පේරි කෙනෙක් ගේ ඉරණම අත්වෙන්න තිබ්බයි කියලා.
7. තමන්ට ලැබුණු චරිතය පරිත්‍යාග කරපු සුජාතා තොටවත්ත
පුණ්‍යා හීන්දෙණිය මහත්මිය නිරූපණය කරපු ගම්පෙරළිය චිත්‍රපටයේ නන්දාගේ චරිතය සිංහල සිනමා ඉතිහාසයේ වඩාත් කතා බහට ලක්වෙන චරිතයක්. මේ චරිතය නිරූපණය කිරීම නිසා ඇයව දේශීයව සහ විදේශීයව සම්මානයට පාත්‍ර වුණා. නමුත් මේ චරිතය නිරූපණය කරන්න ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මුලින්ම තෝරා ගෙන හිටියේ සුජාතා තොටවත්ත මහත්මියව. ඒ කියන්නේ ටයිටස් තොටවත්ත මහත්මයාගේ බිරිඳව. ටයිටස් තොටවත්ත මහත්මයා ඇය රඟපානවාට කැමැති වෙලා හිටියත් සුජාතා තොටවත්ත මහත්මියගේ නිවසින් (මව සහ පියාගෙන්) විරෝධයක් එල්ල වෙයි කියලා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඇය පුණ්‍යා හීන්දෙනියගේ ගේ නම යෝජනා කරනවා.
මේ වගේ කලාකරුවන් ගැන අප්‍රකට කතා ගැන ඔබ දන්නවා නම් ඒ ගැන කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ රසවත් සිදුවීම් ගැන අනිත් අයටත් දැන ගන්න මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply