පෙට්ටිගල යන නම ඇති කදුවැටි සහ ගල් කුළු රැසක් ලංකාවේ හතරදිග්බාගේ විසිරි තිබෙනවා. බලංගොඩ පෙට්ටිගලවත්ත කියන විශාල තේ වත්තේ බලංගොඩ පලාතේ තිබෙන දර්ශනීය කදුවැටියක් පිහිටා තිබෙනවා. එම කඳු වැටියම පෙට්ටිගල කියා හඳුන්වනවා. පෙට්ටිගල ගමන අපි ගිය මාර්ගය පෙට්ටිගල ගමේ රාජා අයියාගෙන් අසා දැනගත් පාර. එම පාර මඳක් දුරයි. එහෙත් ළගාවීමේ පහසුව අතින් මෙම මාර්ගය වඩාත් ලෙහෙසි බවක් තමයි රාජ අයියා සහ ගයිඩ්වරුන් කිව්වේ.
පෙට්ටිගලට පාන්දරින්

Source – Amila Chathuranga
පාන්දරම පෙට්ටිගල යන බස් එක පාන්දර 6ට ආසන්න වෙලාවක බලංගොඩින් පිටත් වෙනවා. අපි ගියේ පාන්දර 3ට පිටකොටුව ඇවිත් එතැනින් බලංගොඩට ගිහින් බලංගොඩින් පෙට්ටිගල බස් එක අල්ලගෙන. බලංගොඩ ටවුන් එකෙන්ම තියෙනවා පෙට්ටිගලවත්ත පාර. පෙට්ටිගලවත්ත පාරේ දුවන්නේත් පොඩි පෙට්ටියක් වගේ තනිදොර කැට බස් එකක්. ඒ පෙට්ටිගලවත්ත පාර බොහොම පටු එකක්. පටු වුවත් තද ආනතියක් තිබුණත් රියදුරු මහතා හරිම අරුම පුදුම විදියට බස් රිය ඒ මාර්ගයේ ධාවනය කරනවා. විටෙක මහා ප්‍රපාතයට තිබෙන්නේ අඟල් කිහිපයක් පමණයි. තාර කට්ටය බස්රියේ රෝද මට්ටමට යාන්තමින් තිබෙන්නේ. ඇතැම් තැනක වංගුව කෙලින්ම ගන්නත් බැහැ රිවස් පාරක් ගහලා බස් එක පස්සට එද්දි මේ බස් කබල ප්‍රපාතෙට යයිදෝ කියලා බයකුත් හිතට එනවා.
පෙට්ටිගල කන්ද උදේම නැග්ගොත් හැන්දෑ වෙන්න බැහැලා ආයේම එන්න පුළුවන්. කෑම බීම ආදිය ටිකක් යාන්තමින් පිලියෙල කරගෙන බලංගොඩට 5-6 වෙද්දි ආවනම් උදේම ගමේ ඉස්කෝල ලමයි එකතුකරගන්න උඩටම යන බස් එක අල්ලගන්න හැකි. අනේ බස් එක වැරදුණා කියලා විස්සෝප වෙන්න කාරි නැහැ. බස් නැත්තං ටවුන් එකෙන් වීල් එකක් අල්ලගන්න. රුපියල් පන්හයසීයක් ගනීවි පෙට්ටිගල බස් එක යන අවසාන තැනට ත්‍රීවිලර් එක යන්න.
දොල මතින් පැන නගිමින්

Source – Amila Chathuranga
පෙට්ටිගල ගමත් පහුකරලා තිබෙන මාර්ගයේ කෙලින්ම ඉහලටම ගියාම ඒ මග අවසාන වෙන තැනක් තිබෙනවා. එතැනින් කැලේට රිංගගෙන පදුරු අතරින් ගියාම තියෙනවා කදිම දොලක්. ආන්න ඒ දොල පාර දිගේ තමයි අපි ඉහලට ගියේ. මේක බොහෝම සරලව විස්තර කළත් අලුත් අයෙක්ට නම් හොයාගන්න ටිකක් අමාරුයි. අන්තර්ජාලයේ නම් බ්ලොග් අඩවිවල පැය දෙක තුනකින් යන්න හැකිය කියලා තිබුණත් ඇතැම්විට එයාල පාවිච්චි කරන්නට ඇත්තේ වෙනත් මාර්ගයක් වෙන්නට ඕනා.
ගල් මතුපිට ලිස්සනවා

Source – Amila Chathuranga
දොල පාරක ගල් මතින් පැනගෙන ඉහලට නැගීම ලේසි නැහැ. ඇතැම් තැනක මෙන්න සේලයක් වගේ හැඩ දිය ඇල්ලක් තිබෙනවා මිටර 10-15ක. ලස්සන විඳගෙන ටිකක් බලං ඉද්දි මතක් වෙනවා අපි මේ දිය ඇල්ලත් නැගගෙන යන්න ඕනි නේද කියලා. ඒ විදියට දිය ඇලි දෙක තුනක් තියෙනවා ශේප් එකේ සීරුවෙන් තරණය කරන්න සිද්ද වෙන. ගල් මුල් කොට උඩ පාසි. ලිස්සනවා. ඇතැම් තැනක ගලක් ලිස්සලා වැටුනොත් වැටෙන්න වෙන්නෙත් තවත් ගල් ගොඩක් උඩට. ඒ නිසා පරෙස්සම හොඳටම තිබෙන්නට ඕනා. දොල පාර අවසාන වුණාම වනාන්තරයට ලගා වුණත් එහිත් ආනතිය තදයි. තද ආනතිය දිගේ ගිහින් අවසානයට ලඟාවෙන්න අවම වශයෙන් අපිට නම් පැය 4ක් වත් ඕනා වුනා.
අවදානම

Source – Amila Chathuranga
අපි ගිය දුරුතු මාසයේ සීතල නිසා දෝ හෝ පෙට්ටිගල නැගීමේදී කූඩැල්ලන් සිටියේ නැහැ. පෙට්ටිගල කන්ද නාය අවධානමක් තිබෙන තැනක්. එසේම වැසි කාලයේදී මේ දොලපාර වලින් ගමනාගමනය ලේසි වන එකක් නැහැ. පෙට්ටිගල මුදුනේ සිට බලන කල යාබද කන්දක් නාය ගිහින් තිබෙන ආකාරයත් අපි හොදින් දුටුවා. අපේ ගමනේදී රාජයියටත් සහායකයටත් සර්ප දෂ්ඨනයක් සිදුවීම නිසා අපි යම් කරදරයකට ලක් වුණත් සර්පයා මඳ විෂ එකෙකු වූ හෙයින් ලොකු කරදයක් වුණේ නම් නැහැ. රැය පහන්කිරිමේ අදහසින් ගිය අපිට රාත්‍රී භාගයේදී බියකරු හඬින් ශබ්ද කළ වල් ඌරකුගෙන්ද නින්දට බාධා එල්ල වුණා.
රෑ නවතින්නට යනවා නම් අවශ්‍ය කළමනා සියල්ල සහ පහලින් ආහාර වතුර රැගෙන යෑම අවශ්‍යයි. ඉහලත් වතුර තිබුනත් සෑම කාලයකදීම වතුර තිබේද යන්න සැක සහිතයි.
ගමනේ විදින්නට ඇති දේ

Source – Amila Chathuranga
ගලින් ගලට පැන ගලන ජලය මතින් ගමන් කිරීම විටෙක ගල් මත හෝ ජලය මත ඇදගෙන වැටෙන්නට හේතු වුණත් ඒ ජලය වැටෙන ශබ්දය වනයේ දොල පාරේ සීතල අපේ ගමන් විඩාව නිවන්නට සමත් වුණා. අපහසුවෙන් කන්ද මුදුනට නැගී ගල් තලාවට ලගා වූ විට හාත්පස පෙනෙන නිල්පාට කඳු යාය සහ මනරම් දර්ශනයටද අපේ නෙත් වශී වුණා. ඒ කඳු වැටියට ඇතින් ශ්‍රී පාදස්ථානයද අපිට දර්ශනය වුණා. කුඩා සතුන් සහ නොයිඳුල් ගස්වැල් මල් කොළ ද කලකින් අපි දුටුවාක් මෙන් පිබිදි ප්‍රාණවත්ව තිබුණා.
ගයිඩ් තුමාගේ ගාස්තුව නම් මඳක් වැඩියි. ඒත් කොළඹ සිට කිහිප දෙනෙක් යනවා නම් ඒ ගණන විශාල වැඩියක් තිබෙනවා කියා කියන්නටත් අපහසුයි. ආහාර ගයිඩ් මහතාට කියාම පිලියෙල කරගන්නත් පුලුවන් කලින් ඔහුට දැනුම් දී තිබුණොත්. අපිත් දිවා ආහාරය ලබා ගත්තේ රාජයියගේ මායියා හදලා දුන්න කෑම පාර්සල් වලින්. අපරාදේ කියන්නට බැහැ ඒ කෑම එක නම් කටට වගේම ඇඟටත් හොදට අල්ලලා ගියා.
ගමනේ තත්ත්වය

Source – Amila Chathuranga
ගලින් ගලට පැන යමින් මුල් උඩ නගිමින් තරමක අවධානම් ගමනක් වන මෙය ගයිඩ් වරයෙකු නොමැතිව ගමන් කිරීම GPS උපකරණ නොමැතිව නම් තරමක් අමාරු කාර්යයක්. අපිත් අපිට කලින් ගිය අයත් මතකසටහන් ලෙස ඡායාරූප රැගෙන ආවත් පොලිතීන් හෝ අඩුමතරමේ පත්තර පිටුවක්වත් වනයේ තනිකර ආවේ නැහැ. චොකලට් එකක දවටනයක් වුවත් අපි රැගෙන ගිය මළු වලම නැවත රුවා ගත්තා. සොබාදහම විඳින්න අපි හැමෝම ආසයි. විශාල කන්දක් නොවුනත් සැර අත්දැකිම් සහ භූමි දර්ශන, වන දර්ශන සොබාදහම් දර්ශන ලබාදෙන පෙට්ටිගල තරණය කිරීම පරිසරය විඳ ගැනීමට හොද අවස්ථාවක්.
Cover Image Source – Amila Chathuranga
Leave a Reply