පහුගිය දවසක කලා ලෝකයෙන් අප්‍රකට කතා කියලා අපි ආටිකල් එකක් ලිව්වා. ඒ ආටිකල් එකට ඔබෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාරත් එක්ක අපි හිතුවා ඒකේම දෙවැනි කොටසක් ලියන්න. මේ ආටිකල් එකට ඔබ දන්න කියන කලාකරුවන් සම්බන්ධ රස කතා, ඕපදූප වගේම කලා ක්ෂේත්රය ගැන දැන ගන්න වටින කතාත් ඇතුළත් වෙනවා.
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා 1 කොටස මේ ලින්ක් එක ක්ලික් කර කියවන්න
1. රුක්මණී විසින් සනසන ලද දරුවා
ලංකාවේ පළවෙනි කතානාද චිත්‍රපටය වුණු කඩවුණු පොරොන්දුව විකාශය වෙද්දී එවකට ලංකාවේ ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියෙක්ට චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඉතින් එතුමා තමන්ගේ වැඩිමල් පුතා එක්ක චිත්‍රපටය නැරඹීමට ගියා. චිත්‍රපට ශාලාවේ මුල්ම පේළියට පිටුපස පේළියේ අසුනක් ඔවුන් දෙදෙනාටත් ලැබුණා. චිත්‍රපටිය පුරාවටම රුක්මණී දේවිය අඬනවා දැකපු මේ දරුවා අඬ අඬ තාත්තට මෙහෙම කිව්වා “අනේ තාත්තේ, මේ ගෑනි, මේක පටන් ගත්ත වෙලාවේ ඉඳන් අඬනවා, අපි ගෙදර යන්කෝ, මේක බලන්න බෑ”. දරුවාගේ මේ කතාව ඇහුණ රුක්මණී දේවිය පිටුපසට හැරිලා “පුතේ ඔය බොරුවට අඬන්නෙ. ඒක එච්චර ගණන් ගන්න එපා” කියලා කිව්වා. මේ තාත්තා තමයි ලංකාවේ ප්‍රකට පුවත්පත් කලාවේදියෙකු වුණු ඩී. බී ධනපාල මහත්තයා, පුතා වුණේ පස්සෙ කාලෙක සම්මානනීය සිනමා අධ්‍යක්ෂකවරයෙක් බවට බවට පත්වුණු ඩී. බී නිහාල්සිංහ මහත්මයා.
2. කොටට අඳින්න බෑ කියපු උදුලා
“කොළ කඩ කඩ බොරුවට දෙනවා” ඒ කියන්නේ එක්තරා යුගයක අපේ රටේ ජනප්‍රිය ගීතයක්. ඔබට මතක ඇති මේ ගීත ජවනිකාවට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ රෝහිණී ජයකොඩි මහත්මිය. වනමෝහිණී චිත්‍රපටයට ඇතුළත් වුණු මේ ජවනිකාවට මුලින් රඟපාන්න හිටියේ උදුලා දාබරේ, නමුත් ඇය කොට ඇඳුමක් ඇඳගෙන චිත්‍රපටයේ රඟපෑම ප්‍රතික්ෂේප කළා. මේ නිසා නිෂ්පාදකවරයා වුණු සිනමාස් සමාගමේ අධිපති ගුණරත්නම් මහත්මයගෙ කෝපයට ලක් වෙන්න උදුලට සිද්ධ වුණා. මේ නිසා උදුලාට නැවත වරක් සිනමාස් සමාගමේ චිත්‍රපටවල රඟපෑමේ අවස්ථාව අහිමි වෙලා ගියා.
3. උපතේ ඉඳන් රඟපාපු වීණා
වීණා ජයකොඩි මුලින්ම රංගනයට එකතුවෙන්නෙ වයස මාස තුනේ දී. ඇගේම මව වුණු රෝහිණී ජයකොඩි මහත්මිය, අහංකාර ස්ත්‍රී චිත්‍රපටියේ රඟපෑ චරිතයෙහි දරුවා විදිහට. ඇය කතා කරන්න සහ ඇවිදින්න ඉගෙන ගන්නෙත් අහංකාර ස්ත්‍රී දර්ශන තලය තුළ. නැවත ඇය ළමා නිළියක් විදිහට ‘කොහොමද වැඩේ’ චිත්‍රපටියටත් ඇගේ මව විසින්ම නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කරන ලද ‘හැංගි හොරා’ චිත්‍රපටයටත් දායක වුණා. ඇය තරුණ නිළියක් විදියට මුලින්ම දායකත්වය ලබා දෙන්නේ ‘අප්සරා’ චිත්‍රපටයට
4. සුනේත්‍රාගෙන් ගුටි කාපු දයා අල්විස්
දයා අල්විස් මහත්මයා සම්භාව්‍ය ගණයේ චරිත වගේම ජනප්‍රිය මට්ටමේ චරිතත් එක විදිහට රඟපාන්න පුළුවන් අතලොස්සක් අතරින් කෙනෙක්. එතුමා තමන්ගේ කලා ජීවිතය ආරම්භ කරන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයගෙ ඇසුරෙන්. ඒ නිසා ධම්ම ජාගොඩ සමඟත් මිත්‍රත්වයක් එතුමා ගොඩනඟා ගන්නවා. ඒ වෙනකොට සුනේත්‍රා සරච්චන්ද්‍ර සමග පැවති විවාහයේ ඇතිවුණු විවිධ අර්බුද නිසා ධම්ම, දයා ද අල්විස් මහත්මයගේ ගෙදර ඇවිත් නවතිනවා. නමුත් සුනේත්‍රා සරච්චන්ද්‍ර සැක කරන්නේ ඔවුන් දෙදෙනා අතර අසම්මත සම්බන්ධතාවයක් තියෙනව කියලා. මේ නිසා එක වතාවක් සුනේත්‍රා දයා අල්විස් මහත්මයාගේ හිස ගෙඩි ගැහෙන්නම වතුර බෝතලයකින් ගහනවා.
5. තව පල්ලෙහාට, එතකොට පණ එයි
ඔබට ගම්පෙරළිය චිත්‍රපටය මතක නම් ඒ චිත්‍රපටියේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය රඟපාපු ඩේවිඩ් ධර්මකීර්ති නම් නළුවාවත් මතක ඇති. සීරියස් චරිතයක් රඟපෑවත් ඩේවිඩ් ධර්මකීර්ති කියන්නේ ඉතාමත් විනෝදකාමී පුද්ගලයෙක්. චිත්‍රපටියේ එක්තරා දර්ශනයක් රූගත කරන්න තිබිලා තියෙනවා කයිසාරුවත්තේ මුහන්දිරම් මරණාසන්න වුණු අවස්ථාවක දුවලා දෙන්නා විසින් තෙල් ගාන දර්ශනයක්. දුවලා දෙන්නා විදිහට රඟපෑවේ පුණ්‍යා හීන්දෙනිය සහ ට්‍රිලීෂියා ගුණවර්ධන. මරණාසන්නව කෙඳිරිගාමින් හිටපු ඩේවිඩ් ධර්මකීර්ති ට්රිලීෂියාටයි පුණ්යාටයි මෙහෙම කියනවා, “දුවේ පපුවේ නෙමෙයි, තව පල්ලෙහාට, පල්ලෙහාට වෙන්න අත ගාන්න එතකොට පණ ගැහිලා එයි” කියලා. මේ කතාව ඇහෙනවත් එක්කම මුළු දර්ශන තලයේ හැමෝටම හිනාව නවත්තගන්න බැරි වෙනවා.
6. පරසතු මල් වල අධ්‍යක්ෂකවරයා
අද වෙනකොට ඇතැම් අයගේ මතයක් තියෙනවා පරසතු මල් වල සැබෑ අධ්‍යක්ෂකවරයා වෙන්නේ ගාමිණී ෆොන්සේකා නෙමෙයි, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා කියලා. ඒ කතාව ඇති වෙන්න හේතු දෙකක් මේ අය කියනවා. සමහරු කියන විදිහට පුණ්‍යා හීන්දෙණිය ගාමිණී ෆොන්සේකාගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑම ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා ඇය පෙනී හිටින දර්ශන අධ්‍යක්ෂණය කිරීම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා සිද්ධ කරනවා. නමුත් අනුලා කරුණාතිලක මහත්මිය නම් කියන්නේ නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගාමිණී ෆොන්සේකාට පැමිණෙන්න නොහැකි වුණු අවස්ථාවකදී තමන් බලාපොරොත්තු වෙන දර්ශන චිත්‍රයට නගලා ලෙස්ටර්ට ලබාදීලා ඔහු ලවා දිනයකදී පමණක් යම් දර්ශන රූගත කළ බවක්.
7. කේමදාසගෙන් කැත සංගීතයක් ඉල්ලපු ලෙස්ටර්
දෑස නිසා චිත්‍රපටියේ ජෝ අබේවික්‍රම මහත්මයා රඟපාන්නේ නිරුදක නම් විරූපී පුද්ගලයෙකුගේ චරිතයක්. මේ නිසා චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරද්දි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා කේමදාස මහත්මයාට කියලා තියෙන්නේ කැත සහ අමිහිරි සංගීත ඛණ්ඩ නිරුදක වෙනුවෙන් නිර්මාණය කරන්න කියලා. නමුත් ප්‍රේමසිරි කේමදාස මහත්මයා කියනවා, ඒ චරිතය රූපයෙන් විරූපි වුණාට හදවතින් ලස්සනයි ඒ නිසා මම ඔහු වෙනුවෙන් මිහිරි සහ ලස්සන සංගීත ඛණ්ඩ නිර්මාණය කරනවා කියලා.
එහෙනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැනත් ඔබේ අදහස් උදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply