තහනමට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්

 

ලෝකයේ දෙවනියට ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් කියල ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන මුදල් ප්‍රමාණයත් ගොඩක් විශාලයි. ඒක ලංකාවේ සාර්ථක වෙච්ච ක්‍රීඩකයෝ දිහා බැලුවම ඕන කෙනෙක්ට හිතාගන්න පුළුවන්. තමන්ගේ දක්ෂතාවයෙන් සාධාරණව මුදලක් උපයා ගන්න එක කිසි වරදක් නෑ. හැබැයි දැන් ටික කාලෙකට කලින් ඉඳල ක්‍රීඩකයින් නොයෙකුත් විෂමාචාර වලට යොමු වෙන ප්‍රවණතාවක් දකින්නට තියෙනවා. යම් යම් විනය විරෝධී ක්‍රියා, තරග පාවාදීම් වගේ දේවල් වලට ක්‍රීඩකයෝ බොහෝවිට යොමු වෙලා තියෙන බව පෙනෙන්නට තියෙනවා. ඉතින් අපි අද කතා කරමු ඒ විදිහට තහනමට ලක් වුණු ක්‍රිකට් තරු ගැන.

 

1. සලීම් මලික් (Saleem Malik) 

සලීම් මලික් පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ඉතාම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. 1982 දී තමයි පකිස්ථාන ජාතික කණ්ඩායමට ඔහු එකතු වෙන්නෙ. සලීම් තමන්ගේ මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්නෙ 1982 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක. ඒ තරගයේ දෙවෙනි ඉනිමේදී නොදැවී ශතකයක් වාර්තා කරන්නත් සලීම් සමත් වෙනවා. 1995 දී පකිස්ථාන සංචාරයකට ආපු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට සලීම් තරග පාවාදීමට ඉල්ලීමක් කරපු බවට ඔවුන් චෝදනා කරලා තිබුණා. ඉතින් ඒ සම්බන්ධව කරපු පරීක්ෂණයකින් පස්සේ 2000 අවුරුද්දේ ඔහුව ජීවිතාන්තය දක්වා තරග තහනමකට ලක් කෙරුණා. පස්සේ පකිස්ථාන උසාවියකින් ඔහුගේ තහනම ඉවත් කළත් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ICC එකෙන් ඒ තීන්දුව පිළිගත්තේ නෑ. 2020 අවුරුද්දෙත් ඔහු විසින් මේ තහනම ගැන අභියාචනයක් ඉදිරිපත් කරලා තිබුණා.

 

 

2. අටා උර් රෙහ්මාන් (Ata-ur-Rehman) 

රෙහ්මාන් කියන්න ඉතාම සාර්ථක ක්‍රීඩා අනාගතයක් පේන්න තිබුණු ක්‍රීඩකයෙක්. රෙහ්මාන් කියල මේ නමින්ම තවත් පකිස්ථාන ක්‍රීඩකයෙක් ඉන්නවා. අපි මේ කතා කරන්නෙ 1975 උපත ලබපු පකිස්ථාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරපු රෙහ්මාන් ගැන. 1992 දී තමයි රෙහ්මාන් ජාතික කණ්ඩායමට එකතු වෙන්නෙ. ඒ දකුණත් වේග පන්දු යවන්නෙක් විදිහට. ඒ වෙද්දී ඔහුට වයස 17 යි. හැබැයි වැඩි කාලයක් ඔහුට ක්‍රීඩා කරන්න වෙන්නෙ නෑ. ඔහුව කැඳවනවා Match Fixing සම්බන්ධව තියෙන කොමිසමකට. ඒකේදී ඔහු ප්‍රකාශයක් කරනවා 1994 දී නවසීලන්තයේ තිබුණු තරගයක් අතරතුර වසීම් අක්‍රම් තමන්ට පකිස්ථාන රුපියල් ලක්ෂයක් ලබාදුන්නා කියල අනෙක් පිලට වාසි සහගත ලෙස පන්දු යැවීමට. පසුව ඔහු ඒ ප්‍රකාශය වෙනස් කළත් එහිදී ඔහුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවෙනවා.

 

 

3. මොහමඩ් අසරුඩීන් (Mohammad Azharuddeen) 

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් වගේම ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාර්ථකම නායකයින්ගෙන් කෙනෙක් තමයි අසාර් නැත්නම් අසරුඩීන් කියන්නෙ. 1984 අවුරුද්දේ තමයි අසාර් ඉන්දියානු ජාතික කණ්ඩායමට එකතු වෙන්නෙ. අසාර් තමන්ගේ මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කරන්නත් සමත් වෙනවා. නමුත් 2000 අවුරුද්දේදී Match Fixing සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩක හැන්සි ක්‍රොන්යේ (Hansie Cronje) සමඟ අසාර් චෝදනාවට ලක් වෙනවා. ඒ සිද්ධියේදී Central Bureau of Investigation වාර්තාවට අනුව අසාර් වැරදිකරු වෙනවා වගේම ඔහුට  ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පැනවෙනවා. හැබැයි 2012 දී අන්ද්‍රා ප්‍රදේශ් මහාධිකරණයෙන් ඔහුගේ චෝදනා වලින් ඔහුව නිදහස් කරනවා. ඉන් පස්සේ අසාර් නැවත ක්‍රිකට් ක්‍රීඩා කරන්න අවේ නෑ ඔහුගේ වයස නිසා. අද වෙද්දී ඔහු දේශපාලනයට යොමු වෙලා ඉන්නවා.

 

 

4. හැන්සි ක්‍රොන්යේ (Hansie Cronje) 

අනූ ගණන් වල දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් සහ එම කණ්ඩායමේ නායකයෙක් තමයි හැන්සි ක්‍රොන්යේ. 1992දී තමයි ජාතික කණ්ඩායමට ඔහුව තෝරාගන්නේ. 1995 දී ඔහු කණ්ඩායමේ නායකත්වයටත් පත් වෙනවා. 2000දී ඔහු චෝදනාවට ලක් වෙනවා කලින් කියපු මොහමඩ් අසරුඩීන් පවා සම්බන්ධ Match Fixing සිද්දියකට. ඒ සම්බන්ධ පරීක්ෂණ වලදී ක්‍රොන්යේ පිළි අරන් තිබුණා තරග පිළිබඳ තොරතුරු සැපයීම වෙනුවෙන් බුකීකරුවන්ගෙන් ඔහුට ඩොලර් 140,000ක් ලැබුණ බව. ඉන් පස්සේ හැන්සි ට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවෙනවා. 2002 දී අවාසනාවන්ත ලෙස ගුවන්යානා අනතුරකින් ඔහු මිය යනවා. 

 

 

5. ඩනිෂ් කනේරියා (Danish Kaneria) 

පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ ක්‍රීඩකයෙක්, විශේෂයෙන් දකුණත් පා දඟ පන්දු යවන්නෙක් තමයි කනෙරියා කියන්නෙ. ඔහුගේ ටෙස්ට් තරග ඉතිහාසයේ කඩුලු 10ක් දවාගත් අවස්ථා දෙකක් තියෙනවා. නමුත් 2010 දී ඔහුව ප්‍රශ්න කෙරෙනවා තරග පාවාදීමක් සම්බන්ධව. නමුත් එහිදී ඔහු නිර්දෝෂී බව ඔප්පු වෙනවා. නැවත 2012 දී ඔහුට ඒ වගේම චෝදනාවක් එල්ල වෙනවා. එහිදී ඔහුට එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ජීවිතාන්තය දක්වා තහනම් කෙරෙනවා. හැබැයි පස්සේ කාලෙක ඔහු ඒ චෝදනා පිළි අරන් තිබුණා. හැබැයි ඒ අභියාචනා ගණනාවක් ප්‍රතික්ෂේප වුණාට පස්සේ. 

 

6. ලූ වින්සන්ට් (Lou Vincent) 

ලූ වින්සන්ට්ට 2001 අවුරුද්දේ නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතුවෙන්න ඉඩ ලැබෙනවා සහ නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු විදිහට කටයුතු කරන්න ලැබෙනවා. 2013 දී ඔහුව ICC එකේ anti-corruption unit එකෙන් ප්‍රශ්න කිරීමකට ලක් කරනවා. ඒ ක්‍රිකට් තරගාවලි කිහිපයක මැච් ෆික්ස් කිරීමක් සම්බන්ධව ඔහුගේ මැදිහත් වීමක් තියෙනවද කියල හොයල බලන්න. පස්සේ 2014 දී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වින්සන්ට් වැරදිකරු කරනවා තරග ෆික්ස් කිරීමට තමා වෙත කරනු ලැබූ බලපෑම් සම්බන්ධව අදාළ අංශ දැනුවත් නොකළ වරදට. එයින් ඔහුට අවුරුදු තුනක තරග තහනමක් පනවනවා. ඒත් 2014 දී ඔහු පිළිගන්නවා තරග ගණනාවක එම ක්‍රියාව සිදු කිරීම පිළිබඳව. ඉන් පස්සේ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය ඔහුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් පනවනවා.

 

 

7. සල්මාන් බට් (Salman Butt) 

සල්මාන් බට් කියන්නෙ පකිස්ථාන ජාතික කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක්. 2010 අවුරුද්දේ ඔහුට මැච් ෆික්ස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනවා. ඒ නිසා ඔහුට පකිස්ථාන කණ්ඩායමේ නායකත්වය පවා අහිමි වෙනවා. ඒ හේතුවෙන් සල්මාන්ට අවුරුදු දහයක් ක්‍රිකට් තහනම් කෙරෙනවා. ඔහුව මාස 30ක කාලයක් සිරගත කිරීමට පවා ලක් වෙනවා තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් එක්ක. 2015 දී ICCය විසින් ඔහුගේ සහ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනාගේ තහනම ඉවත් කරනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *