ඔන්න ඉතින් කාලෙකට පස්සේ මේ සීරීස් එකේ තවත් රසවත් ආටිකල් එකකින් ඔබව මුණගැහෙන්න අපි හිතුවා. අපේ සමහර පාඨක පිරිසක් කලාකරුවන් සම්බන්ධ මොන විස්තරයක් දැම්මත් “ඕවා අපිට මොකටද?” කියලා බැණ බැණ කමෙන්ට් කරනවා. අන්න එහෙම අයටත් මේ ලිපිය කියවලා බැණ බැණ කමෙන්ට් කරන්න කියන එක මතක් කරන ගමන් අපිත් රස කතා කියවන්න පටන් ගමු.
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොටස
අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 5 කොටස
1. සිනමාවට පිවිසුණු චරිතයෙන් ම සිනමා ගමනට ආයුබෝවන් කියපු එඩී ජයමාන්න
එඩී ජයමාන්න කියන්නේ සිංහල සිනමාව ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි චරිතයක්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධානම හේතුව තමයි සිංහල සිනමාවෙි පළමු හාස්‍යෝත්පාදක රංගනයේ යෙදුණේ එතුමා. ඒ අපේ පළවෙනි කතානාද චිත්‍රපටය වන “කඩවුණු පොරොන්දුවේ” මනප්පුවාගේ චරිතය රඟපෑමෙන්. හැබැයි ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට එතුමාගේ අවසාන චිත්‍රපටය වන්නෙත් කඩවුණු පොරොන්දුවම තමයි. දැන් ඔබ කල්පනා කරනවා ඇති කොහොමද එහෙම වෙන්නේ කියලා. එඩී ජයමාන්න මහත්මයා අන්තිමටම රඟපාන්නේ රෝයි ද සිල්වා විසින් නිර්මාණය කරපු කඩවුණු පොරොන්දුව නව නිෂ්පාදනයේ. එ්ත් මනප්පුවාගේ චරිතයටමයි. ඉන් මාස කීපයකට පස්සෙ එතුමා ජීවිත රඟමඩලට සමු දෙනවා.
2. ඔය ළමයගෙ නහය කැඩිලනේ, සිනමාවට ගැලපෙන්නේ නෑ
පනී භාරත කියන්නේ අපේ නාට්‍ය කලාවේ රජ්ජුරුවෝ. මෙතුමා කාලයක් පාසල් ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. දවසක් එතුමා තමන්ගේ ශිෂ්‍යාවන් පිරිසක් “අශෝකා” චිත්‍රපටියේ නැටුම් දර්ශනයක් සඳහා සහභාගී කරගත්තා. මේ අතර හිටපු එක ශිෂ්‍යාවක් අශෝකා චිත්‍රපටියේ නිර්මාණකරු වන සිරිසේන විමලවීරගෙන් “මට චරිතයක් දෙන්න පුළුවන් ද?” කියලා ඇහුවා. මේ තරුණිය දිහා බලපු විමලවීර මෙහෙම කිව්වා. “ඔය ළමයට තියෙන්නෙ කැඩිච්ච නහයක්, ඕක කැමරාවට හොඳට පේනවා. ඒ නිසා සිනමාව නම් ඔය ළමයට ගැලපෙන්නෙ නැහැ.” සිරිසේන විමලවීර මෙහෙම කියපු තරුණියගේ නම නිකන් හරි ඔබට අනුමාන කරන්න පුළුවන්ද? ඇගේ නම තමයි පුණ්‍යා හීන්දෙණිය.
3. ධම්ම ජාගොඩට වැන්ද රුක්මණී දේවි
ධම්ම ජාගොඩ ගැන අපි කලින් ලිපියකිනුත් කතා කරලා තියෙනවා. ඔහු අපේ කලා ලෝකයේ විවිධ ඉසව්වලින් දක්ෂකම් දක්වපු විශිෂ්ටයෙක්. ඔහු “වෙස්මුහුණු” නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරලා ඒ වේදිකා නාට්‍යයේ රඟපෑම සඳහා රුක්මණී දේවියට ආරාධනා කරනවා. මේ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දවසේ වේදිකාවට නගින්න කලින් රුක්මණී දේවිය ධම්ම ජාගොඩට දණ ගසා වඳිනවා. කලා නිර්මාණයක් සඳහා තමන්ව මෙහෙයවන පුද්ගලයාට එසේ ගෞරව දැක්වීම තමන්ගේ සිරිතක් බව පවසමින්. ඇගේ මේ ක්‍රියාව නිසා අන්ද මන්ද වන ධම්ම ජාගොඩ ඇතුළු නාට්‍ය කණ්ඩායමට රුක්මණී දේවිය ගැන ගෞරවය තවත් වැඩි වෙනවා.
4. ලෙස්ටර්ට බෑ කියූ තිස්ස
පසුගිය දා අප අතරින් සමුගෙන ගිය තිස්ස විජේසුරේන්ද්‍රව බොහෝදෙනෙක් දැකල තියෙන්නෙ මල් ගස් වටේ නටපු නළුවෙක් විදිහට. නමුත් ඒ ඒ චරිත නිරූපණයේ දී පවා ඔහුගේ සුවිශාල රංගන ප්‍රතිභාවක් දකින්න ලැබුණා. මේ ගැන ඉව වැටුණු ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ “අක්කර පහ” සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය රඟපෑමට තිස්සට ආරාධනා කළා. නමුත් ඒ වෙනකොට තිස්ස තමන්ව සිනමාවට හඳුන්වලා දීපු නිෂ්පාදකවරයාගේ චිත්‍රපටයක් සඳහා දින ලබා දීලා තිබ්බේ. මේ නිසා ඔහුට පිටුපෑ නොහැකි බව පවසමින් ලෙස්ටර්ගේ ඉල්ලීම තිස්ස ප්‍රතික්ෂේප කරනවා. සම්භාව්‍ය ගණයේ නළුවෙක් වෙනවට වඩා කළගුණ දත් මනුස්සයෙක් වීම උතුම් කියලා තිස්ස හිතන්න ඇති.
5. මොරිස්ට අත දුන්න සර් ජෝන් කොතලාවල
දවසක් රත්මලාන කඳවල වලව්වේ සුපිරි මට්ටමේ සාදයක් පැවැත්වෙනවා. මේ සාදය සඳහා සර් ජෝන් කොතලාවල විසින් සංගීතය සැපයීමට සී. එල් ෆොන්සේකා ප්‍රමුඛ සංගීත කණ්ඩායමක් ගෙන්වනු ලැබුවා. සී. එල් ෆොන්සේකා තමන්ගේ ඥාති සහෝදරයෙකු වන හල්පේ ලියනගේ අතුකෝරල මොරිස් ජෝශෆ් රණබාහු කියන කොළුගැටයාවත් එක්කගෙන යනවා. සාදය අතරතුර දී සර් ජෝන් කොතලාවලට වෙනස් අන්දමින් සිංදුවක් ඕන වෙනවා. සී. එල්, මොරිස් ව ඉස්සරහට තල්ලු කරනවා. මොරිස් රොක් ඇන්ඩ් රෝල් ටයිප් එකේ සිංහල සින්දුවක් කියන ගමන් දුන්නක් වගේ නැමි නැමි නටනවා. මේක දකින කොතලාවල අතිශයින් සතුටට පත්වෙලා “මගෙන් වෙන්න ඕන මොනාද” කියලා මොරිස්ගෙන් අහනවා. “සර්, මට ගුවන් විදුලියේ සිංදුවක් කියන්න අවස්ථාවක් දෙන්න” කියලා මොරිස් ඉල්ලනවා. මේ තමයි මොරිස්ගේ කලා ජීවිතයේ ආරම්භය. හැබැයි ඒ කලා ලෝකය තුළ දී මොරිස් වැඩිපුර ප්‍රසිද්ධ වෙන්නේ ෆ්‍රෙඩී සිල්වා කියන නමින්.
6. නිධානයේ දී මාලනීට හොරෙන් කරපු දේ
“නිධානය” චිත්‍රපටය කියන්නේ ලංකාවේ සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයක්. මේ චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය වගේ ම රඟපෑම් ගැනත් ආපහු කියන්න දෙයක් නෑ. මේකේ එක දර්ශනයකදී මාලනී ෆොන්සේකාට ගාමිණී ගාවට ගිහිල්ලා “මොකක්ද තියෙන ප්‍රශ්න” කියලා කියලා අහන්න තිබ්බා. පිටපතේ හැටියට ගාමිණීට කියන්න තිබ්බේ “ඔයා ගිහින් නිදා ගන්න” කියලා. නියමිත දර්ශනයේ දී මාලනී ඉටිපන්දමකුත් පත්තු කරගෙන (රාත්‍රී දර්ශනයක්) අරගෙන ගාමිණී ගාවට ගිහිල්ලා අර ප්‍රශ්නෙ අහනවා. එකපාරටම යකා ආරූඪ වෙච්ච ගාමිණී, “යනවද නැද්ද මෙතනින්” කියලා මහ හයියෙන් ගෙදර දෙදරන්නම කෑ ගහනවා. සිදු වුණු දෙයින් අන්දමන්ද වුණු මාලනී බයටම එතනින් අයින් වෙලා යනවා. ඒ ගමන් ලෙස්ටර් ජේම්ස් පීරිස් කට් කියලා කියනවා. ඒත් එක්කම ගාමිණීයි සෙට් එකේ හිටපු හැමෝමයි හිනා වෙන්න පටන් අරන් තියනවා. මේ දර්ශනය තාත්විකව ගන්න ලෙස්ටර් ඇතුළු පිරිස සිදු කරපු උපක්‍රමයක් ඒ.
7. ගුරුවරයාගේ පුතාට චාන්ස් එකක් දීපු හේමසිරි සෙල්ලප්පෙරුම
මොරටුව විල්ලෝරාවත්තේ පැත්තේ හිටපු ආතර් කුරේ කියන්නේ ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඔහුගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න දරුවෙක් ආවා. මේ දරුවා සම්පූර්ණයෙන්ම චිත්‍රපටි පිස්සෙක්. ආතර් කුරේගේ පුතාත් චිත්‍රපටි පිස්සෙක් කියලා දැනගත්ත ඔහු දවසක් මෙහෙම කිව්වා. “මචං මං දවසක චිත්‍රපටයක් හදනවා, ඒ චිත්‍රපටයේ රඟපාන්න මම උඹව ගන්නවා. ”
කාලය ඔහොම ගෙවිලා ගියා. දවසක් අර කුරේ මහත්තයගෙ පුතා නුගේගොඩ ප්‍රදේශයේ ඇවිදගෙන යද්දි ගෙයක් ළඟ සෙනඟ ගොඩක් පිරිලා ඉන්නවා දකිනවා. මේ මොකක්ද කියලා බලන්න ඔහු ගියාම ඔහුගේ ඉස්සරහට තාත්තගෙන් ඉගෙන ගන්න ආව අර යාළුවා එනවා. ඔහු සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට” වසන්ති” නම් චිත්‍රපටයක් රූගත කරමින් ඉන්නෙ. අහම්බෙන් මේ එතනට ආපු තමන්ගේ ගුරුවරයගෙ පුතාට වුණු පොරොන්දුව මතක් වුණු ඔහු විසින් චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් තමන්ගේ මිතුරාට ලබාදෙනවා. ඒ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා තමයි හේමසිරි සෙල්ලප්පෙරුම. හේමසිරිගෙ පොරොන්දුව නිසා චිත්‍රපටි ලෝකයේ දොර ඇරුණේ අපි හැමෝවම හිනස්සන ටෙනිසන් කුරේට.
එහෙම නම් ඉතිං වෙනදා වගේම කලා ලෝකයේ ඕපදූප හොයනවා කියල අපිට බනින ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply