හිතේ කිසි සතුටක් නැද්ද? එහෙනම් ඒකට හේතු මේවා වෙන්න පුළුවන්…

සතුට ගැන එක එක දාර්ශනිකයො කියපු එක එක කතන්දර තියනවා. අපි ෆේස්බුක් එකෙනුත් මේවා ෂෙයාර් කරනවා නිතරම. ඒත් අපි බහුතරයක් දෙනා ඉන්නෙ සතුටින් ද කියන එක අපිටම ප්‍රශ්නයක්. ඒකට හේතු වෙන්නේ ජීවිතේ අපි පිළිපැදිය යුතු, තේරුම් ගත යුතු බොහොම සරළ දේවල් කීපයක් අපි නොසළකා හැරීම කියලයි අපිට හිතෙන්නෙ. ඉතින් මේ ලිපියෙන් අපේ උත්සාහය ඒ විදිහට ඔබේ සතුටට හානි පමුණුවන එදිනෙදා ජීවිතේ දේවල් කීපයක් ගැන ඔබව දැනුවත් කරන්නයි. මේ වැරදි දැනටමත් ඔබ අතින් සිද්ද වෙනවනම් ඔබට පුළුවන් ඒවා හරි ගස්වාගෙන සතුට කරා යන ගමනේ මූලික පියවර අරඹන්න.

 

1. අනිත් අයත් එක්ක තමන්ව සසඳන්න යනවද?

මේ ලෝකේ අපි​ට වඩා ලස්සන මිනිස්සු, සල්ලිකාර මිනිස්සු, හැකියාවන් තියන මිනිස්සු ඕන තරම් ඉන්නවා. සමහර විට අපිට ඒ අයව ඒ ඒ පැති වලින් පරද්දන්නත් බැරි වෙයි. එහෙම කියලා අපේ ජීවිත හෑල්ලුවට ලක් වෙනවද? නෑ නේද? අපි අපේ දක්ෂතාවයන්, දුර්වලතාවයන් සහ ගුණාංගයන් මොනවද කියල තේරුම් අරගෙන ඒවාට අනුව අපේ ජීවිත සාර්ථකත්වයට ගෙනියන එකයි වැදගත් වෙන්නේ. එහෙම නැතිව සමාජ ජාලාවලින් දකින උදවියයි, අපේ අසල්වාසීන් ස​හ යාලු මිත්‍රයනුයි එක්ක අපේ ජීවිත සසඳලා බලලා ඒකෙන් තමන් ගැ​න දුක්වෙන, ලැජ්ජාවට පත්වෙන ​හෝ තමන් ගැන සහ අනිත් අය ගැන තරහ ගන්න එකෙන් කිසි හොඳක් වෙන්නේ නෑ. ඒ නිසා මේ පුරුද්ද තියනවනම් කරුණාකරලා අදම ඒකට තිත තියන්න කටයුතු කරන්න.

 

2. තමන්ට ලැබිලා තියෙන දේ ගැන කිසි ගාණක් නැද්ද?

මේන්න අනිත් කාරණය. අපි අනිත් අය සතුව තියන දේවල් ගැන කොච්චර හිතනවද කියනවනම් අපිට මේ ජීවිතේ ලැබිල තියන දේවල් ගැන වගේ වගක්වත් නැහැ. තමන්ගේ ඊළඟ කෑම වේල අවිනිශ්චිත මිනිස්සු කොයි තරම් නම් රටේ ලෝකේ ඉන්නවද? නා නා ප්‍රකාර දුක් විඳිමින් ජීවිතේම ගතකරලා ඔහේ මැරිලා යන අවාසනාවන්ත ජීවිත කොයි තරම් නම් තියනවද? ඒ අතින් ඔබ, මම කොයි තරම් වාසනාවන්තද? හිතල බලන්න. තමන්ට ලැබිල තියෙන භෞතික දේවල් ගැන විතරක් නෙමෙයි, තමන්ගේ හොඳ ගුණාංග ගැන, තමන්ට හිමිවෙලා ඉන්න දෙමවුපියන්, යාළුවන්ගේ ගුණාංග ගැනත් හිතල බලන්න. ඒ දේවල් ගැන සතුටු වෙන්න බැරිනම් ඔබට හෙට දවසේ ඊට වඩා දහස් ගුණයක දෙයක් ලැබුණත් සතුටු වෙන්න බැරිවෙයි. මොකද ඔබ පුරුදු වෙලා ඉන්නේ කොයි වෙලෙත් නැති දේවල් ගැන දුක්වෙන්න මිසක් ලබාගත් දේවල් ගැන සතුටු වෙන්න නෙමෙයිනෙ.

 

3. ගෙවන මේ මො​හොත ගැන අවබෝධයක් නැද්ද?

අපි සමහරු කොයිවෙලෙත් එක්කෝ ජීවත් වෙන්නෙ ඊයෙ දවසේ… එහෙමත් නැත්නම් හෙට දවසේ. එක්කෝ අතීතයේ වැරැද්දක් ගැන පසුතැවෙනවා. එහෙම නැත්නම් අනාගතේ සිද්ධ වෙන්න තියන දෙයක් ගැන ඕනෑවටත් වඩා හිතලා වධ වෙනවා. ඉතින් මේ මොහොතේ ජීවිතේ විඳින්න අමතක වෙනවා. කන කෑමක් කන්නේ වෙන සිහියක ඉඳන්, බොන බීමක් බොන්නේ වෙන කල්පනාවක, යන ගමන​ක විනෝදයක් නැහැ ඉන්නේ වෙනත් ලෝකෙක නිසා මේ මොහොතේ සතුට විඳින්න අමතක වෙලා යනවා. ඉතින් දවස අවසානෙදි ඇඳට වැටිලා හිතනවා මොන තරම් නීරස ජීවිතයක්ද මම මේ ගත කරන්නේ කියලා. අනාගතේවත් සතුටින් ඉන්න ඕනෙ කියලා ඔන්න ආයෙ නොපෙනෙන අනාගතයක් ගැන හිතන්න ගන්නවා මේ මොහො​ත සහමුලින්ම අමතක කරලා. මේ වැරැද්ද කරන්න එපා. හැකි තරම් මේ හුස්ම ගන්න මොහොතේ නිවැරදි සිහියෙන් ඉන්න බලන්න. කෑමක් රස විඳින්න, අහල පහල පරිසරය වින්දනය කරන්න. හෙට ගැනත් හිතන්න… හැබැයි දිගින් දිගටම නෙමෙයි. අවශ්‍ය පමණට හෙට සැලසුම් කරන්න. ඒ දවසට මුහුණ දෙන්න හෙට ජීවත් වන ඔබට බාර දෙන්න. ඒ නිසා අද ජීවත් වන ඔබ​ව අසතුටට පත් කරගන්න එපා!

 

4. හැම දෙයක්ම පාලනය කරන්නට යනවද?

මේ ලෝකේ අපිට මොනවද පාලනය කරන්න පුළුවන්. සමහර වෙලාවට අපිට අපිවවත් පාලනය කරගන්න බෑ. ඉතින් අපෙන් බාහිර ලෝකය ගැන කවර කතාද? සමහරුන්ට වැස්සත් වැරදියි, පෑව්වත් වැරදියි, බස් එක විනාඩි 5ක් පරක්කු වුණත් වැරදියි. ඒ හැම එකක්ම තමන්ට ඕන විදිහට සිද්ධ නොවුනාම කේන්ති ගන්නවා සහ ජීවිතේ කළකිරවා ගන්නවා. මේක සතුටට හානි පමුණුවන මූලික කාරණයක්. ඔබ තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ හැම දෙයක්ම අපිට ඕනෙ විදිහට සිද්ධ වෙන්නෙ නැතිය කියන එක. ඒ වගේම මොන කරදරේ ආවත් ඒකට මුහුණ දෙන්න අපිට පුළුවන්ය කියන ධනාත්මක චින්තනය ඇති කරගන්න ඕනෙ. කාලගුණය විතරක් නෙමෙයි, අපිට සමීපම මිනිස්සු වුණත් මොහොතින් වෙනස් වෙනවා. ඒ දේවල් වලින් හිත කඩාගන්නේ නැතිව, තමන්ගෙ ජීවිතේ ගෙනියන්න තරම් ශක්තියක් ඇති කරගන්න ඕනෙ.

 

5. කොයි වෙලෙත් තමන්ටත් අනුන්ටත් දොස් පවරගන්නවද?

සමහරු ඉන්නවා කොයි වෙලෙත් තමන්ටම දොස් පවරගන්න පුරුදු වෙලා ඉන්නවා. කරන වැඩක් සියයට සීයම සම්පූර්ණ වෙන්න ඕනෙ ඒ අයට. නැත්නම් තමන් මහ අසාර්ථක කෙනෙක්, දුර්වලයෙක් කියලා හිතනවා. වෙනත් කෙනෙක් තමන්ට වැරැද්දක් කළත් ඒකටත් තමන් වැරදිකාරයා වෙලා හිතින් දුක් වෙනවා. තමන්ව දෙකේ කොළේට දාගන්නවා.         

ඒ වගේම මේකේ අනිත් පැත්තේ ජීවත් වෙන අයත් ඉන්නවා. ඒ අයට මොක වැරදුනත් ඒකට හේතුව වෙන කෙනෙක්. ගෙදර ට්‍රිප් ස්විච් එක ගියත් ආණ්ඩුවට බනිනවා, යන ගමනක් වැරදුනොත් ඉස්සරහට මුලිච්චි වෙච්ච මනුස්සයාගෙ මූසලකමට කියලා දොස් පවරනවා. 

මේ දෙවිදිහම ​හොඳ කාරණා නෙමෙයි. තමන් කරන දේවල්වල සහ තමන්ගෙ ජීවිතේ වගකී​ම තමන් සතුව තියෙන්න ඕනෙ. වැරදුනොත් ‘හරි මට වැරදුනා… ඊළඟ වතාවේ වැරදි අඩුවෙන් හරියට කරනවා’ කියල හිතන්න හිත හදාගන්න ඕනෙ. එහෙම නැතුව තමන්ටවත්, වෙන කෙනෙක්ටවත් ඒ ගැන බොරුවට දොස් පවරන එකේ තේරුමක් නැහැ. තමන් කරන කියන මුහුණ දෙන දේවලට සහ තමන්ගෙ ජීවිතේ පාලනය සම්බන්ධව වගකීම තමන් සතුයි කියන එක තේරුම් ගත්ත දවසට ඔයාගෙ ජීවිතේ මීට වඩා සතුටට පත් වෙනවා නිසැකයි!

 

6. අනුන්ගෙ මතයන් ගැන ඕනෑවට වඩා හිතනවද?

මේ අනිත් කාර​ණේ… ඒ තමයි රටේ ලෝකේ අයගෙ මතවාද ගැන ඕනෑවට වඩා හිතන එක. කොණ්ඩෙ පාට ක​ළොත් මාව අසංවර ගෑණියක් කියලා හිතයිද? පච්ච ගැහුවොත් සමාජේ රස්තියාදුකාරයෙක් කියලා හංවඩු ගහයිද වගේ හිතලා තමන් ආස දේවල් යටපත් කරන් ඉන්න අය කොයි තරම් නම් ඉන්නවද? සමහරු තමන් කැමති දෙයක් ගැන කතා කරන්නවත් බයයි සමාජෙන් කොන් වෙයි කියලා. එහෙම තමන් නොවන වෙන කෙනෙක් විදිහට තමන්ගේ ආසාවන් හංගන් ජීවත් වෙද්දි සතුටක් තියෙයිද? නැහැ නේද? සමාජය ගැන හිතන්න ඕන කාරණා තියනවා. විශේෂයෙන්ම අපේ හැසිරීමක් මගින් සමාජයට බාධාවක්, හානියක්, හිරිහැරයක් වෙන අවස්ථා ගැන අපි හිතන්න ඕනෙ. හැබැයි සමාජයට අබමල් රේණුවකින්වත් හිරිහැරයක් නොවෙන කාරණා ගැනත් ඔයා අම්බානට හිතලා තමන්ගේ ජීවිතේ සීමා කරගන්නවනම් ඔයාගෙ සතුට අහිමි වෙන එක පුදුමයට කාරණයක් නෙමෙයි.

 

7. සල්ලි වලින් සතුට ගන්නද හිතන්නේ?

ඇත්ත. සල්ලි වැඩිපුර තිබ්බොත් ඔබට මේ තොරොම්බල් සමාජය ඇතුළේ සතුට අත්හදා බලන්න ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි සතුට ඒවා වලින් ලැබෙනවද කියන එක ගැන නම් ඉතින් වගකීමක් නැහැ. ගොඩක් දේවල් මොහොතක සතුටක් දීලා ඊළඟට ලොකු පසුතැවීමක් විතරයි ඉතිරි කරන්නේ. එහෙම දේවල් ගැන අවබෝධයක් ලබාගන්න ඕනෙ වෙනවා. තවත් සමහරු මත්පැන් මත්ද්‍රව්‍ය හරහා සතුටේ ඉවුරුවලට සේන්දු වෙන්න උත්සාහ කරනවා. ඒකෙනුත් ඉතින් අන්තිමට පසුතැවිල්ලම තමයි බොහෝ වෙලාවට ඉතිරි වෙන්නේ. අවසාන​යේ සතුට කෙසේ වෙතත් ඒ දේවල්වලට නොවැළැක්විය හැකි ඇබ්බැහියකටත් ලක්වෙලායි ඔබට නතර වෙන්න සිද්ධ වෙන්නේ… පුළුවන් තරම් ස්වාභාවිකවම ජීවිතය විඳින්න හුරු වෙන්න. ජීවිතය තාවකාලික හිරි වැට්ටීමකට ලක් කරන, මායාවන් මවන මාර්ග ඔස්සේ සතුට හොයාගෙන යන්න උත්සාහ කරන්න එපා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *