අපේ කලා ලෝකයේ අප්‍රකට කතා – 5 කොටස

ඔන්න ඉතින් අපි අදත් වෙනදා වගේම කලා ලෝකයේ ඔබ නොදන්න කයිකතන්දර කීපයක් ඔබ වෙත ගෙන එන්නයි යන්නේ. ඒ ගැන කියවලා බලලා බනිනව නම් බැනලා, හොඳ කියනවා නම් හොඳ කියලා, කැමතිනම් ෂෙයාර් කරන්නත් ඔබට පූර්ණ නිදහස තියෙනවා.

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 1 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 2 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 3 කොටස

අපේ කලා ලෝකයෙන් අප්‍රකට කතා – 4 කොට​ස

1. ධම්ම ජාගොඩට සද්ද දාපු නළුවා 

ධම්ම ජාගොඩ කියන්නේ අපේ රටේ අංකුර නළු නිළියන්ට රංග කලාව ගැන ඒ ගැන මූලික අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරපු පුරෝගාමියෙක්. මේ පුහුණු කිරීම්වලින් ඵල ලබලා නව නළු නිළි පරම්පරාවක් බිහි වුණා. නමුත් ධම්ම ජාගොඩගේ මේ වැඩමුළුවලට සහභාගී වෙච්ච එක තරුණ කොලු ගැටයෙක් ඔහුට අභියෝග කළා. මෙහෙම අභියෝග කරන්න හේතු වුණේ ධම්මගේ වැඩමුළු තුළ ඉගැන්නුවේ මනමේ, සිංහබාහු වගේ ශෛලිගත වේදිකා නාට්‍යවලට ගැලපෙන ශිල්ප ක්‍රම වීම. ධම්ම සහ මේ කොලු ගැටයා අතර සිදුවුණු මේ වචන හුවමාරු කොයිතරම් දුර දිගට යනවා නම් අවසානයේදී ධම්ම කියනවා “තමුසෙගෙ කට වැඩියි, දැන්මම එළියට යනවා” කියලා. මේ කොලු ගැටයා පන්තියෙන් එළියට යන්නේ “සර් මම කවදහරි, සුපිරි නළුවෙක් වෙලා ඔයාට පෙන්නනවා” කියලා. පස්සේ මේ කොලු ගැටයා ආචාර්ය සාලමන් ෆොන්සේකාගෙන් නාට්‍ය කලාව හදාරනවා. මේ කොලු ගැටයාගෙ නම තමයි මහේන්ද්‍ර පෙරේරා.

 

2. පුණයා හීන්දෙනියට බැන්න හෙන්රි ජයසේන

දිගු කාලයක් මව්බිමෙන්  බැහැර වෙලා ඉඳලා පුණ්‍යා හීන්දෙණිය ‘කලියුගය’ චිත්‍රපටයේ රඟපාන්න ලංකාවට පැමිණියා. ඇය එම චිත්‍රපටියේ නන්දාගේ චරිතය රඟපාද්දි පියල් ගේ චරිතය රඟපෑවේ සුපුරුදු පරිදි හෙන්රි ජයසේනයි. විවේක කාලයක් ලැබුණුම හෙන්රි ජයසේන එක දිගට සිගරැට් ඉරීමට පුරුදු වී තිබුණා. ඒ අවස්ථාවේදී පුණ්‍යා එසේ නොකරන ලෙසත්, එය ඔහුගේ සෞඛ්‍යයට හොඳ නැති බවත් පවසමින් කාරුණිකව අවවාද කළා. නමුත් ඒ අවස්ථාවේදී දැඩි ලෙස කෝපයට පත් හෙන්රි ජයසේන “මෙහෙම අවවාද දෙන්න උඹ මගේ අම්මා නෙමෙයි” කියලා පුණ්‍යාට බැන වැදුනා. හෙන්රිගේ මේ වචන නිසා පුණ්‍යාට හැඬුම් ආවා. ඒ අවස්ථාවේ දී හෙන්රි “මම සිගරට් බොන එක අඩුකරන්න උත්සහ කරන්නම් පුණ්‍යා” කියලා කිව්වා. නමුත් හෙන්රිගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ, ඔහු අවසානයේ මියගියෙත් පිළිකාවකින්.

 

3. ගාමිණීගෙන් කම්මුල් පහරක් කෑ බන්දුල ගලගෙදර 

සමහර නළුවෝ තමන්ගේ එකම එක රඟපෑමකින් තමන්ගේ නම නොමැකෙන විදිහට සිනමාව තුළ තබනවා. බන්දුල ගලගෙදරත් අන්න ඒ වගේ නළුවෙක්. උපතින්ම මිටි පුද්ගලයෙකු වූ ඔහුට ‘සිකුරු ලියා’ චිත්‍රපටියේ ලැබුණේ ගැලපෙනම චරිතයක්. මේ චරිතයට ඔහු සියයට සියයක සාධාරණයක් ඉෂ්ට කළා. දිනක් ඔහුට ගාමිණී ෆොන්සේකා මුණගැසුණා. ඔහු දුටු වහාම ළඟට පැමිණි ගාමිණී ෆොන්සේකා “තමුසේ අර චිත්‍රපටියේ නියමෙට රඟපාලා තියෙනවා” කියලා කිව්වා. ඒක අහල අප්‍රමාණ සන්තෝෂයට පත්වෙලා හිටපු බන්දුලට ඊළඟට ගාමිණීගෙන් ලැබුනේ තරු පේන ආකාරයේ කම්මුල් පාරක්. මේ වුණේ මොකක්ද කියලා බන්දුලට හිතාගන්න බැරුව ඉන්දැද්දි ගාමිණී මෙහෙම කිව්වා. “තමුසෙ රුපියල් තුන්දාහටද ඔය චිත්‍රපටියේ රඟපෑවේ, නළුවෙක් වුණාම අපේ රඟපෑමට වටිනාකමක් දෙන ගාණක් ගන්න ඕන. ආපහු තමුසේ රුපියල් තුන්දාහට රඟපාන්නේ නෑ, මේ කම්මුල් පාර හැමදාම මතක තියා ගන්නවා”. ගාමිණීගේ මේ අවවාදය බන්දුල ඊට පස්සේ දිගටම පිළිපැද්දා.

 

4. J.V.P කරපු නිසා මැරුම් කෑමට නියම වුණු අනුරුද්ධ ජයසිංහ 

කාලයක් අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඕනම කෙනෙක්ගෙ ඉරණම අවිනිශ්චිත කාලයක් තිබ්බා. නමුත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා කටයුතු කිරීම ලංකාවේ තරුණ පරපුරට ආශ්වාදයකුත් වෙලා තිබ්බා. අනුරුද්ධ ජයසිංහ තමන්ගේ පාසල් කාලයේ දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා කටයුතු කරපු කෙනෙක්. දවසක් අනුරුද්ධ ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරිකයන් කීප දෙනෙක් කුරුණෑගල නගරයේ “ජේ. ආර් මරමු” යැයි සඳහන් පෝස්ටර් ගසමින් හිටියා. ඒ අවස්ථාවේදී එතැනට පැමිණි පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගත්තා. අනුරුද්ධ හිතුවේ තමන්ව මරලා දායි කියලා. ඒ අවස්ථාවේ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් පන්ති පහේ දී ජනතා විමුක්ති පෙරමුණ තමන්ට කියලා දුන්නේ මොනාද කියලා ඇහුවා. අනුරුද්ධ ඒ සියල්ල මතකයෙන් එක දිගට කිව්වේ පොලීසිය පුදුමයට පත් කරමින්. “තමුසෙව මරන්න ඕන කොල්ලෙක් නෙමෙයි” කියපු පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා අනුරුද්ධව දෙමව්පියන්ට බාර දුන්නේ එක කොන්දේසියකට යටත්ව. ඒ තමයි අනුරුද්ධව කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක මොහොතක්වත් නොතියා වෙනත් ප්‍රදේශයකට යවන්න ඕන කියන කොන්දේසිය මත.

 

5. මාරපන එදිරිව අභයකෝන් නඩුව 

එක්තරා පුද්ගලයෙක් තමන්ගේ බිරිඳට ලැබෙන්න ඉන්න දරුවා පිළිබඳව නිමිත්තක් බලනවා. මේ නිමිත්තෙන් ලැබෙන්න ඉන්නේ පුතෙක් බවත්, යම්කිසි විදියකින් දුවෙක් ලැබුණොත් ඇති වන්නේ අපලකාරී සමයක් බවත් දරුවාගේ පියා මරණයට පත් වීමට පවා හැකියාවක් ඇති බව කියනවා. මේ අතරතුරදී මේ පුද්ගලයාට ආරංචියක් ලැබෙනවා තමන්ගේ බිරිඳට දුවෙක් ලැබුණා කියලා. කෝපයට පත් වෙන මේ පුද්ගලයා තමන්ගෙ දරුවව ඉපදුණු අවස්ථාවේ දී  බලන්නවත් යන්නේ නෑ. ඒ වගේ ම පස්සෙ කාලෙකදි මේ දරුවව ළිඳක දාලා මරන්න උත්සාහ කරනවා. ස්වාමීන් වහන්සේ නමක් තමයි මේ දරුවාව බේරගෙන ජීවත් කරවන්නේ. මේ අතර තුරේදී දරුවාගේ මව විසින් දික්කසාද නඩුවක් පවරනු ලබනවා. එවකට පැවති ලංකාවේ නීතියේ හැටියට දෙමව්පියන් දික්කසාද වෙනවා නම් ගෑනු දරුවන්ව ලැබෙන්නේ පියාට. නමුත් මේ සුවිශේෂී  නඩු තීන්දුවෙදී ගෑනු දරුවාගේ භාරකාරීත්වය මවට හිමි වෙනවා. මේ නිසා අද පවා නීති විද්‍යාලයේ දී මේ නඩුව පිළිබඳ ව “මාරපන එදිරිව අභයකෝන් නඩුව” වශයෙන් හඳුන්වමින් හදාරනවා. මේ දරුවා පස්සෙ කාලෙකදි තමන්ගේ මවගේ වාසගම ලබා ගන්නවා. ඇයව අපි මේ වෙනකොට දන්නේ  දුලීකා මාරපන කියන නමින්.

 

6. වසන්ති චතුරාණීගේ හදවතේ සිදුර 

වසන්ති චතුරාණි තමන්ගේ සිනමා ගමන ආරම්භ කළේ ‘ගඟ අද්දර’ චිත්‍රපටියෙන්. මේ චිත්‍රපටය සඳහා සුමිත්‍රා පීරිස් ඇයව තෝරාගන්නේ ඇයගේ පාසැල වුණු ගම්පහ ගම්පහ සිරිකුරුස කන්‍යාරාමයේ දී. ඇයව චිත්‍රපටයට ලබා දීමට පෙර පාසලේ ප්‍රධාන කන්‍යා සොහොයුරිය සුමිත්‍රා පීරිස් මහත්මියට විශේෂ දැනුම්දීමක්  කරනවා. ඒ තමයි වසන්තිට හදවතේ සිදුරක් තියෙනවා කියලා. මේ ගැන දැඩි ලෙස කම්පාවට පත් වෙන සුමිත්‍රා පීරිස් වසන්තිව විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට රැගෙන යනවා. නමුත් පුදුමයකට වගේ වෛද්‍ය වෛද්‍ය වාර්තා ගත්තම ඇයට කිසිම රෝග තත්ත්වයක් නෑ. බලද්දි පාසල් යන්න කම්මැලි වුණාම, පාසල් නොයා ඉන්න වසන්ති හදපු බොරුවක් තමයි ඒ.

 

7. අයියෝ බොනී 

චන්ද්‍රන්රත්නම් කියන්නේ අපේ රටේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යන්න සමත් වුණු සිනමාවේදීන් අල්පය අතරින් ප්‍රමුඛතම කෙනා විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔහු සිනමා නිර්මාණ සඳහා පසුතල සහ භාණ්ඩ සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබ්බා. මේ හරහා ලංකාවේ රූගත කෙරුණු වෝටර් වැනි ජාත්‍යන්තර සිනමා නිර්මාණ සඳහා පසුතල සැපයීම කරලා තිබ්බා. නමුත් චන්ද්‍රන්රත්නම් කියන විදිහට ඔහුගේ මේ ව්‍යාපාරය ලංකාවේ තවත් සුප්‍රකට නළුවෙකු විසින් සොරාගෙන තියෙනවා. මේ සුප්‍රකට නළුවාට තමන් සහෝදරයෙකු ලෙස සැලකුව බවත්, ඔහුට විවිධ අවස්ථා ලබා ලබාදීම සිදු කරපු බවත් රත්නම් කියනවා. අයිෆා සම්මාන උළෙල පැවැත්වුණු සමයේ දී තමන්ට සිරගත වීමට පවා සිදුවුණේ මේ නළුවාගේ දේශපාලන බලපෑමකින් කියලයි ඔහු කියන්නේ. මේ නිසා තමන්ට සිද්ධ වෙච්ච සිත් තැවුල චන්ද්‍රන්රත්නම් පොතකින් එළියට දැම්මා. මේ පොත හඳුන්වලා තියෙන්නේ “අයියෝ බොනී” කියලා. මොකද මේ සුප්‍රකට නළුවගේ ඇත්ත නම බොනිෆස් පෙරේරා වීම.

 

එහෙමනම් ඉතින් අපි මේ ආටිකල් එක පටන් ගනිද්දි කිව්වා වගේම ඔබේ ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *