ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස

මීට අවුරුදු පහළොවකට විස්සකට සහ ඊටත් කලින් කාලේ ගැන හිතනකොට, ඒ කාලෙත් අපි කම්පියුටර් පාවිච්චි කළා තමයි. හැබැයි ඒ කාලේ ගොඩක් දුරට වෙබ් එකත් එක්ක අපිට ඒ තරම් වැඩ තිබ්බෙ නෑ. කොහොමත් ඒ කාලේ තිබුණු ඩයල්-අප් කනෙක්ෂන් වලින් වෙබ් එකකට කනෙක්ට් වෙලා ඒ තරම් බරපතළ වැඩ කරගන්න හැකියාවක් තිබුණෙත් නෑ. ඒ කාලේ අපි ගොඩක් දුරට පාවිච්චි කළේ සොෆ්ට්වෙයාර්ස්. ඒත් දැන් කාලේ වෙනස්, තාලෙත් වෙනස්. ඉස්සර සොෆ්ට්වෙයාර් දැන් ඇප්ස් වෙලා. එතකොට ඇප්ස් වලටත් වඩා අපි සෑහෙන්න දුරට ඔන්ලයින් ටූල්ස්, ඒ කියන්නේ වෙබ් පදනම් වුණු ටූල්ස් පාවිච්චි කරනවා වැඩ පහසු කරගන්න. 

 

හැබැයි මේ අතරේ තවමත් අපිට ගොඩක් වෙලාවට ඇහැ නොගැටුණු වෙබ් අඩවි තියෙනවා. මේ ගොඩක් අය දන්නෙ නැති වෙබ් අඩවි වලින් ලබාගන්න පුළුවන් ප්‍රයෝජන නම් අතිවිශාලයි. ඉතින් ඒ නිසා අපි හිතුවා පටන් ගැන්මට මේ විදියේ ගොඩක් අය නොදන්න, හැබැයි දැනගන්නවා නම් සෑහෙන්න ප්‍රයෝජන තියෙන වෙබ් අඩවි ලැයිස්තුවක් හදන්න.

 

1. leolabs.space

අපේ පුංචි ලෝකේ වටේ කොයි තරම් චන්ද්‍රිකා ප්‍රමාණයක් කරකැවෙමින් තියෙනවද?සක්‍රීය චන්ද්‍රිකා 6,542 ක්! ඇත්තටම සමහරු චන්ද්‍රිකා කියලා හිතාගෙන ඉන්නේ මහ දැවැන්ත, මිනිස්සු ඉන්න ප්‍රමාණේ එව්වට. නෑ. ඒ අභ්‍යවකාශ යානා. චන්ද්‍රිකා කියන්නේ විශාල ප්‍රමාණයක ඉඳලා ඉතාම කුඩා ප්‍රමාණයක් දක්වා වෙනස් වෙන උපකරණ. උදාහරණයක් විදියට ගත්තොත්, 2019 ඉන්දියාව යවපු කලාම්සැට් වී2 චන්ද්‍රිකාව කිලෝග්‍රෑම් 2 කටත් අඩුයි! හරි, කොහොම වුනත් කතාවට ආවොත්, මේ වෙනකොට අපේ ඔළුව උඩින් යන චන්ද්‍රිකා මොනවද කියලා දැනගන්න කැමති නැද්ද? ආන්න ඒක දැනගන්න පුළුවන් උඩ තියෙන ලින්ක් එකට ගියොත්. ත්‍රිමාණ සජීවීකරණයක් ඔස්සේ මේ වෙබ් අඩවියෙන් පෙන්නනවා රියල් ටයිම් ලෝකෙ වටේ කරකැවෙන චන්ද්‍රිකා මොනවද කියන එක සහ ඒවා චලනය වෙන විදිය. ඒ කියන්නේ මේ මොහොතේ ඔළුවට උඩින් යන චන්ද්‍රිකා මොනවද කියලා බලාගන්න පුළුවන්. ඒ වගේම වෙන් වෙන් වශයෙන් චන්ද්‍රිකා වල සම්පූර්ණ තොරතුරු දැනගන්නත් පුළුවන්.

 

2. shortlyai.com

මේක නම් හැබැයි නොමිලේ ලැබෙන සේවාවක් නෙවෙයි. හැබැයි නිරන්තරයෙන්ම කන්ටෙන්ට් නිර්මාණය කරන්න අවශ්‍ය වෙන අයට මේකට මාසික ගාස්තුවක් ගෙව්වත් පාඩු නෑ. මෙතනදී වෙන්නේ මේකයි. අපි කියමු අපිට එක්කෝ බ්ලොග් පෝස්ට් එකක් හෝ ආටිකල් එකක් ලියන්න අවශ්‍ය වෙනවා කියලා. එහෙමත් නැතිනම් අපිට ලියන්න අවශ්‍ය වෙන්නේ කතාන්තරයක් වෙන්නත් පුළුවන්. ඔය මොකක් වුණත්, අපිට පුළුවන් ඒකේ ස්වභාවය වෙන්න ඕන මොකද්ද කියන එක කියන්න. හැකිතාක් තොරතුරු ලබාදෙන්න පුළුවන් තරමට, ප්‍රතිඵලය අපිට අවශ්‍ය විදියට ලැබෙයි. දැන් අපි වෙබ් සයිට් එකට කියනවා ලියන්න කියලා. මෙන්න තත්පර කීපයක් යනකොට අපේ ආටිකල් එකේ කොටසක් ලියැවිලා! දැන්, ඒක ලියැවෙන විදියට අපි කැමතිද? එහෙමනම් ආයෙමත් ලියන්න කියලා කියන්න පුළුවන්. ආන්න එතකොට ඉතුරු ටිකත් ලියැවෙන්න පටන් ගන්නවා. විනාඩියක් යන්නත් කලින්, අපිට අවශ්‍ය විදියට ආටිකල් හෝ ස්ටෝරීස් හෝ ලියවගන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවද? නෑ නේද?

 

3. futureme.org

අනාගතේ අපි මොන වගේ තැනක ඉඳීවිද? අපි අද සාර්ථක කරගන්න හිතන දේවල්, තව අවුරුද්දකින් සාර්ථක වෙලා තියේවිද? අපි අද හිතන පතන විදිය තව අවුරුදු පහක් යනකොට වෙනස් වෙලා තියේවිද? ඒක අපි කියන්න දන්නෙ නෑ ඇත්තටම. ඒත් සමහර විට තව අවුරුදු පහක් යනකොට අපි දැන් හිතපු සැලසුම්, අනාගත ඉලක්ක ඉෂ්ට කරගන්න බැරි වෙලා, දුකට පත් වෙලා ඉන්න පුළුවන් නේද? එහෙම වෙලාවක අපිට අතීතයෙන් ලියුමක් එනවා, කවදාවත් උත්සාහය අත්හරින්න එපා කියලා. සමහර වෙලාවට ඒ ලියුමට බැරිවෙයිද සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ වෙනස් කරන්න? ඇත්තටම පොඩි සෙන්ටිමෙන්ටල් පැත්තකට අපිව ගෙනියන්න පුළුවන් වෙබ් අඩවියක් තමයි මේක. අතිශයින්ම සරලයි. අපි අද මේ වෙබ් අඩවියේ ලියුමක් ලියනවා. ලියන්නේ අපිටමයි. හැබැයි අනාගතේ ඉන්න අපිට. ඒ ලියුම අපිට ලැබෙන්න ඕන තව අවුරුද්දකින්ද, අවුරුදු තුනකින්ද, පහකින්ද, දහයකින්ද, විස්සකින්ද නැතිනම් අපිට ඕන විශේෂිත දිනයකදීද කියන එක අපිටම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න තමයි තියෙන්නේ. අන්න එදාට අපිට ලියුම ලැබිලා තියෙයි. ඕන නම් ඒ ලියුම පබ්ලික් කරන්නත් අපිට පුළුවන්, නම සඳහන් නොවී. අන්න එතකොට වෙනත් කෙනෙක්ටත් අපේ ලියුම කියවලා, ඒකෙන් උත්ප්‍රේරණයක් ලබාගන්න පුළුවන් වෙයි. ඕන නම් අපිට එහෙම පබ්ලික් දාපු අනික් අයගේ ලියුම් කියවන්නත් පුළුවන්.

 

4. tailorbrands.com

දැන් කාලේ අපි රස්සාවක් කරන අතරතුරේදී වුණත්, සයිඩ් එකෙන් පොඩි පහේ බිස්නස් එකක් කරන්න තියෙනවනම් හොඳයි කියලා හිතනවනේ. ඇත්තටම ඒක නරක අදහසක් නෙවෙයි. ෆන් එකත් තියෙනවා, අතට අමතර ගාණකුත් ලැබෙනවා. දැන් කාලේ සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් එක ඔස්සේ, සෝෂල් මීඩියා ඔස්සේ වුණත් බිස්නස් එකක් රන් කරන්න පුළුවන්. හැබැයි එතන පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා. දැන් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම්, ඒකට හොඳ ලෝගෝ එකක්, වෙනස් ඩිසයින් එකක් එහෙම අවශ්‍ය වෙනවනේ. අපි බිස්නස් එක පටන් ගන්නේ බිංදුවේ ඉඳලා නම්, ඒකට අපිට අමුතුවෙන් සල්ලි වියදම් කරන්නත් බෑ. ආන්න එතනදී තමයි tailorbrands.com වෙබ් අඩවිය වැදගත් වෙන්නේ. මේ අය නොමිලේ අපේ බිස්නස් එක වෙනුවෙන් සම්පූර්ණ බ්‍රෑන්ඩ් එකක්ම නිර්මාණය කරලා දෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, අපේ බිස්නස් එකේ නම සහ දළ විස්තර කීපයක් ලබාදුන්නට පස්සේ, අපිට ලෝගෝ ඩිසයින් එක දළ වශයෙන් මොන වගේ වෙන්න ඕනැද, මොන වගේ වර්ණ පාවිච්චි වුණොත් හොඳයිද වගේ කරුණු තෝරගන්න ලැබෙනවා. ඒවා තේරුවට පස්සේ මෙන්න අපිට ලෝගෝ එකක්, බ්‍රෑන්ඩ් එකට වර්ණ සං‍යුතියක් එක්කම, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ ජනප්‍රිය සෝෂල් මීඩියා ඕනම එකකට පාවිච්චි කරන්න පුළුවන් පෝස්ට් සහ කවර්ස්, ප්‍රොෆයිල් පික්චර්ස් කට්ටලයකුත් ලැබෙනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ!

 

5. Tip-of-my-tongue

හිතන්න අපිට මොකක් හරි වචනයක් වුවමනා වෙනවා කියලා. අපි ලිය ලියා ඉන්න දේකට වෙන්න පුළුවන්. දැන් වචනේ අපේ මේ දිව අග තියෙනවා, ඒත් මතක් වෙන්නෙ නෑ. ආන්න ඒ වගේ වෙලාවකට සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන ප්‍රොජෙක්ට් එකක් තමයි මේ. මේ වෙබ් ටූල් එකේ අපිට වචනයක් පටන් ගන්න විදිය, අවසන් වෙන විදිය, මැද්දේ මොනවද තියෙන්නේ කියන එක වගේ තොරතුරු ලබාදීලා, ඊට ගැලපෙන වචන ලැයිස්තුවක් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, වචනේ තියෙන්න ඕන සහ තියෙන්න බැරි අකුරු ලබාදීලා, වචනේ පොදු අර්ථය ලබාදීලා, වචනේ දිග විතරක් නෙවෙයි, වචනේ සාමාන්‍යයෙන් කොහොමද ඇහෙන්නේ වගේ තොරතුරු පවා ලබාදීලා, ඊට ගැලපෙන වචන ලිස්ට් එකක් හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි හොයන වචනේ එතන තියෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා!

 

6. everynoise.com

දැන් ඔය එක එක මියුසික් ෂානරයන් තියෙනවනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න පොප්, රොක්, ක්ලැසික්, ටෙක්නෝ වගේ බෙදීම් නෙවෙයි. ඒ බෙදීම් ඇතුළෙත් උප කුලකයන් බර ගාණක්, හිතාගන්න බැරි තරම් තියෙනවා. ඒවා එක එක භූගෝලීය කලාප, රටවල් අනුව වෙනස් වෙන්නත් පුළුවන්. උදාහරණයක් කිවුවොත්, ටෙක්නෝ මියුසික් කියන එක අපි දැනගෙන හිටියට, Italian tech house වගේ විවිධ රටවල නම් වලින් ටෙක් හවුස් මියුසික් ෂානර බර තොගයක් තියෙන බවක්, එතනින් ගියහම Re:techno, Dark techno, Raw techno, Psytech, Techno rave schranz, Tech trance, Hi-tech, Acid techno වගේ තව විවිධාකාර බෙදීම් තියෙන බව දැනගෙන හිටියද? ඒවා දැන් හරි දැනගත්තනේ. හැබැයි එහෙම දැනගත්තට මදි. ඒ ඒ මියුසික් ෂානර ඇත්තටම වෙනස් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න ඕන. ඒකට ඒවා වෙන වෙනම අහන්න ඕන. ආන්න ඒකට වෙන වෙනම නම් වලින් සර්ච් කරමින් දඟලන්න ඕන නෑ. කරන්න තියෙන්නේ everynoise.com එකට යන්න විතරයි!

 

7. Radio garden

එක කාලයක් තිබ්බා අපි සෑහෙන්න රේඩියෝ වලට සවන් දීපු. තාමත් රේඩියෝ අහන මිනිස්සු ඉන්නවා. ඒ වගේම ලෝකේ එක් එක් රටවල් ගත්තහම රේඩියෝ ස්ටේෂන් බර තොගයක් තියෙනවා. ලංකාව ඇතුළේ ගත්තත් 87.5 – 108 MHz රේන්ජ් එකේ විකාශය වෙන එෆ් එම් චැනල් 45 ක් තියෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. හරි. නිකමට හිතෙන්නේ නැද්ද ඊජිප්තියානු සංගීතය කොහොමද කියලා අහලා බලන්න? ඒකට කරන්න පුළුවන් ලේසිම වැඩක් තමයි කයිරෝ වල ඉඳන් විකාශය වෙන ජනප්‍රිය ඊජිප්තියානු රේඩියෝ එකක් අහල බලන එක. එහෙම නැතිනම් මලයාලම් රේඩියෝ චැනල් එකක්? ආන්න ඒ විදියට ලෝකේ තියෙන රේඩියෝ චැනල් බරගාණක් අතරින්, කැමති රටක තියෙන කැමති චැනල් එකක් සිලෙක්ට් කරලා අහන්න පුළුවන් රේඩියෝ ගාර්ඩ්න් හරහා. රේඩියෝ ගාර්ඩ්න් වෙබ්සයිට් එකේ තියෙන ලෝක බෝලේ කරකවලා ඕන රටවල් සහ රේඩියෝ ස්ටේෂන් හොයාගන්න පුළුවන්.

 

8. mixkit.co

නිකමට හිතන්න අපි මොකක් හරි වීඩියෝ ප්‍රොජෙක්ට් එකක හිරවෙලා ඉන්නවා කියලා. දැන් අපිට ඕන කරනවා ඕකට දාන්න ලස්සන තැනිතලාවක පෑන් ෂොට් එකක්. අහසේ ඉඳන් පෑන් වෙන ඩ්‍රෝන් ෂොට් එකක් කියමු. දැන් අපි මේ කරන වීඩියෝ එකේ බජට් එකත් එක්ක ඩ්‍රෝන් අරගෙන ට්‍රිප් ගිහින් ඔහොම වීඩියෝ එකක් අරගන්න අමාරුයි. හැබැයි මේ වගේ එව්වා ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්නත් පුළුවන්. එකම ප්‍රශ්නේ තියෙන්නේ එව්වා එක්ක කොපිරයිට් ප්‍රශ්නත් එන එක තමයි. ආන්න එහෙම වෙලාවකට තමයි mixkit.co වැදගත් වෙන්නේ. කිසිම කොපිරයිට් ප්‍රශ්නයක් නැතුව, සත පහක් වත් ගෙවන්නෙත් නැතුව අපේ හිතට හරියන වීඩියෝ ක්ලිප් එක මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ස්ටොක් වීඩියෝ විතරක් නෙවෙයි, ස්ටොක් වීඩියෝ ටෙම්ප්ලේට්ස් වුණත්, ස්ටොක් මියුසික් වුණත්, ස්ටොක් සවුන්ඩ් ඉෆෙක්‍ට්ස් වුණත් mixkit.co එකෙන් හොයාගන්න පුළුවන්.

 

 

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – දෙවෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – තුන්වෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හතරවෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *