දැන් කාලෙ ඉස්සර වගේ නෙමෙයි. ලෝකෙ තාක්ෂණයත් එක්ක සීඝ්රයෙන් ඉස්සරහට යන කාලයක්. ඒ නිසාම දැන් කාලෙ හැදෙන පොඩි දරුවොත් ඉස්සරට වඩා තාක්ෂණය පැත්තට, තාක්ෂණික මෙවලම් පැත්තට සෑහෙන්න නැඹුරුයි. ඉතින් නිර්මාණශීලී හැකියාවන් දියුණු කරගන්න ඔවුන්ගේ උනන්දුව, වෙන් කෙරෙන කාලය එහෙමත් බොහොම අඩුයි. දෙමව්පියොත් වැඩි අවධානයක් යොමු නොකරන දෙයක් බවට මේ නිර්මාණාත්මක හැකියාවන් නිකන්ම පත්වෙලා.
හැබැයි පුංචි ළමයි කියන්නෙ ස්වභාවයෙන්ම හොඳ පරිකල්පන ශක්තියක් තියෙන හොඳ නිපයුම්කරුවෝ. මේ තාක්ෂණික මෙවලම් එක්ක ගැටෙන එකෙන් ඒ නිර්මාණශීලි හැකියාවන් මොටවෙන එකයි වෙන්නෙ. එහෙම වෙන්න නොදී නිර්මාණශීලි හැකියාවන් දියුණු කරගත්ත, නිර්මාණශීලි චින්තනයක් තියෙන දරුවෙක්ට ඒ හරහා ලැබෙන මානසික සහ සාමාජීය වාසි බොහොමයි. අනාගතයේදී ගැටළු විසඳාගන්න, අසීරු අවස්ථාවන් දරාගන්න එහෙම මේ නිර්මාණශීලි චින්තනය ලොකු උදව්වක්. ඉතින් ඒ නිසාම දෙමව්පියෝ විදිහට දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් දියුණු කරගන්න උදව්වක් දෙන එක වැදගත්ම කාරණයක්. ඉතින් අපි බලමු මේ පුංචි දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් දියුණු කරගන්න දෙමව්පියන් විදිහට අපිට කරන්න පුළුවන් උදව් මොනවද කියල.
1. නිදහස් තැනක් වෙන් කරල දෙන්න
කළබල පරිසරයක, වෙන වෙන වැඩ ගොඩවල් අස්සෙ නිර්මාණශීලීව දෙයක් හිතන්න, කරන්න බැරි බව වැඩිහිටි අපි දන්නවනේ. ඉතින් පුංචි ළමයින්ගේ උනත් උපතින්ම එන නිර්මාණශීලි හැකියාවන් ඉස්මතු කරගන්න නම් ඔවුන්ට ඒ වෙනුවෙන්ම වෙන් කෙරුණු පුංචි නිදහස් තැනක් හදල දෙන්න ඕන. කළබල, වැඩිය සද්ද බද්ද නැති පරිසරයක. එහෙමයි කියල මේක නිර්මාණ වලටම වෙන් කෙරුණු ලොකු කාමරයක් වගේ එකක් වෙන්න ඕන නැහැ. එහෙම කරන්නත් බැහැනෙ අද කාලෙ පර්චස් 5, 10 පුංචි ගෙවල් වල ඉන්න පවුල් වලට. නිදහස් තැනක පුංචි මුල්ලක තියපු මේසයක් ඇති. දරුවට ඕන විදිහට මේසය ලස්සනට සකස් කරල දෙන්න.
2. උනන්දු කරවන්න
පුංචි ළමයි කියන්නෙ හැම තිස්සෙම සෙල්ලම් කරන්න, දඟ කරන්න බලාගෙන ඉන්න හරිම ක්‍රියාශීලි කොට්ඨාසයක්නෙ. ඉතින් එයාලව එක තැනක තියල වැඩක් පළක් කරන්න උනන්දු කරන එක ටිකක් අමාරුයි. ඒ නිසා තමයි දෙමව්පියෝ නිරන්තරයෙන්ම පුංචි ළමයින්ව මේ නිර්මාණශීලි හැකියාවන් වර්ධනය කරගන්න උනන්දු කරවන්න ඕන. ඒවගේ ප්‍රයෝජන කියල දෙන්න. එක එක දරුවෝ කරපු නිර්මාණ පෙන්නන්න. ප්‍රදර්ශන බලන්න එක්කගෙන යන්න. මොන විදිහකින් හරි දරුවන්ව උනන්දු කරන්න පුළුවන් දේවල් කරන්න.
3. ආදර්ශයක් වෙන්න
උනන්දුව විතරක්ම මදි හැබැයි. දෙමව්පියන්ගෙන් මේ වැඩේට ආදර්ශයක් ලැබෙන්නත් ඕන. හැබැයි ඒකට දෙමව්පියන් නිර්මාණශීලී වෙන්නම ඕන, නිර්මාණ කරන්නම ඕන, ඒ විදිහට හිතන්නම ඕන නැහැ. ඕනම දෙමව්පියෙක් කැමතියිනෙ තමන් නොකරපු, දක්ෂ නොවුණ දෙයක් උනත් හොඳ දෙයක්නම් තමන්ගේ දරුවෝ ඉගෙන ගන්නවට. ඉතින් අම්මල, තාත්තලත් මේ වැඩේට හරිම උනන්දුයි කියන එක බබාලට පෙන්නුවනම් ඇති. එයාලත් එක්කම නිර්මාණ කරන්න හවුල් වෙන්න. නොදන්න දේවල් එයාලගෙන් අහගන්න. තරඟෙට නිර්මාණ කරන්න. තව පවුලේ ඉන්න වැඩිහිටි ළමයින්ගේ නිර්මාණ පෙන්නල ඒ හරහා ආදර්ශයක් ලබාදෙන්න. මොකද පුංචි දරුවෝ හරිම ආසයි වැඩිහිටියන්ව අනුකරණය කරන්න.
4. අවශ්‍ය අමුද්‍රව්‍ය
මේ නිර්මාණ කරන්න ඕන කරන අමුද්‍රව්‍ය නිරන්තරයෙන් ලබාදීම තවත් එක ක්‍රමයක්. දරුවෙකුට අත්කම් නිර්මාණයක් කරන්න, නැටුමක්, සින්දුවක් පුරුදුවෙන්න වගේ ඕනම දේකට ඕන කරන පහසුකම් නැත්තම් ඒ උවමනාව ඇතිවන තැනදීම නැතිවෙන්නත් පුළුවන්නෙ. ඒ නිසා මේ දේවල් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය, අනෙකුත් පහසුකම් එහෙම ටිකෙන් ටික එකතු කරල දෙන්න. මුලින්ම උනන්දුවක් නැති උනත් පස්සේ කාලෙක හරි ඒ දේවල් නිතර දකිද්දි දරුවට උනන්දුවක් ඇතිවෙන්න පුළුවන්.
5. පාලනය කරන්න එපා
දරුව කරන කිසිම දෙයක් පාලනය කරන්න එපා. කිසිම දෙයක් කිව්වෙ කරන වැරදිත් ඇතුළත්ව නෙමෙයි. මේ නිර්මාණශීලි හැකියාවන් භාවිතා කරද්දි අපි හිතන විදිහට ඒගොල්ලො හැම දෙයක්ම කරන්න ඕන නැහැ. මොකද දරුවාගේ පරිකල්පනය වෙනස් දෙයක් වෙන්න පුළුවන්නෙ. සමහරවිට දරුවා හිතන විදිහෙන් අපි හිතනවටත් වඩා ලස්සන නිර්මාණයක් බිහිවෙන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක අනවශ්‍ය විදිහට දරුවන්ව පාලනය කරන්න උත්සාහ කරන්න එපා. වැරද්දක් දැක්ක තැනදී බොහොම සංයමයෙන් වරද කියලා දෙන්න.
6. කාලය දෙන්න
හැමදේටම වගේ මේ වැඩේටත් කාලය ඕන. දරුවා පුංචි කාලෙම මේ වැඩ වලට කැමති නොවෙන්න පුළුවන්. මොකද ඒ පුංචි ළමයි දුවල, පැනල සෙල්ලම් කරන්න ආස කාලෙනෙ. ටිකක් ලොකු වෙනකොට එකතැනක වාඩිවෙලා වැඩක් කරන්න ආසවෙයි. ඒ නිසා නිතර බල නොකර එයාලට කාලය දෙන්න.
ඒ වගේම තමයි වැඩක් පටන් ගත්තහමත් ඉවර කරනකන්ම පස්සෙන් පන්නලා වද දෙන්න එපා. ඒකෙන් වෙන්නෙ එයාලට කරන වැඩෙත් එපා වෙන එකයි. බබාට අමතක වෙලා, උනන්දුව නැතිවෙලා වගේ හිතෙනවනම් ඉඳලා හිටලා ඒ ගැන තොරතුරු අහන්න. හැබැයි ඉක්මනින් ඉවර කරන්න කිය කිය බල කරන්නනම් එපා.
7. අගය කරන්න
අන්තිමට කරන්න පුළුවන්, ඒ වගේම වැඩියෙන්ම වැදගත් දේ තමයි මේක. දරුවා කරන නිර්මාණ නිරන්තරයෙන් අගය කරන්න. ඒවා අංගසම්පූර්ණ, විශිෂ්ට නිර්මාණ නොවෙන්න පුළුවන්. හැබැයි අම්මල තාත්තලා නොකරනවනම් පිට කෙනෙක් දරුවව අගය කරයිද. ඒ නිසා දරුවව හැකි තරම් අගය කරන්න. අවසන් ප්‍රතිඵලය නැතත් ඔවුන්ගේ උත්සාහය, කැපකිරීම අගය කරන්න. එතකොට තමයි ඉදිරියේදී තව නිර්මාණ කරන්න, සිදුවුණ වැරදි හදාගන්න, බය නැතුව නිර්මාණයක් එළියෙ සමාජයට පෙන්නන්න උනන්දුවක්, ආත්ම විශ්වාසයක් දරුවන් තුළ ඇති වෙන්නෙ. ඒ අතරේ තියෙන වැරදි අඩුපාඩු පෙන්නල දෙන්නත අමතක කරන්න එපා. හැබැයි ඉස්සෙල්ල වැරදිම නොකියා අගය කරල, ටිකක් මුරුංග අත්තේ තියල තමයි වැරදි පෙන්නල දෙන්න ඕන.
Leave a Reply