පොත් කියවන්නන් අතරෙත් එක එක රුචි අරුචිකම් තියනවා. සමහරු පොත් කියවන්නෙ සරලව විනෝදයක් ලබන්න. තවත් සමහරු ජීවිතේට අරුතක් එක් කරන විදිහේ පොත් කියවන්න කැමතියි
ඉතින් අද අපි හිතුවා එහෙම පොත් වලින් ජීවිතයට යහපත් වෙනසක් හොයන අයට ආදර්ශයක්, ජීවිතේට වැදගත් පණිවිඩයක් ගන්න පුළුවන් විදියේ පොත් හතක් ගැන කතාකරන්න…
1. ජීවතුන් අතර
ගුවන් අනතුරක් නිසා අන්දීස් කඳු මුදුනේ අතරමංව, තමන්ගේ සගයින් සහ නෑදෑයින්ගේ මළ සිරුරු ආහාරයට ගනිමින් දින 72 ක් දිවි ගලවාගත් උරුගුවේ රග්බි කණ්ඩායමක සත්‍ය කතාවයි මේ කෘතියට පාදක වෙන්නේ. ඇත්තටම හරිම සංවේදී වගේම ජීවිතයට ගොඩක් දේවල් ගන්න පුළුවන් නවකතාවක් කියලා කියන්න පුළුවන් මේක. මිනිසා සතු දරාගැනීමේ හැකියාව පෙන්වන, ජීවිතයේ පහළටම වැටුණු වෙලාවක මොරාල් අප් කරගන්න පුළුවන් විදියක කතාවක් කිව්වොත් වැරදි නැහැ.
2. පොලියානා
පොලියානා කියන්නේ අම්මා තාත්තා නැති පුංචි ගෑනු ළමයෙක්. ඉතින් මේ ගෑනු ළමයගේ ජීවිතේ අවධි තුනක් තමයි පොලියානා පොත් පෙළේ අන්තර්ගත වෙන්නේ. මේ කතාවේ තියෙනවා සතුට හොයන සෙල්ලම කියලා අපූරු සෙල්ලමක්. ඉතින් පොත කියවන් යද්දි පොලියානා වගේම පොත කියවන අපිවත් ඒ සෙල්ලමේ කොටස්කාරයන් වෙනවා. ජීවිතයේ අපි මුහුණ දෙන විවිධ අභියෝග වලට සතුටින් මුහුණ දෙන හැටි මේ පොතේ අන්තර්ගත වෙනවා…
3. සන්තියාගෝ නම් සැරිසරන්නා
පාවුලෝ කොයියෝ කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රිය වුණු ලේඛකයෙක්නේ. මේ කෘතිය ඔහුගේ ලේඛණ දිවියේ හැරවුම් ලක්ෂයක් විදියට හඳුන්වන්න පුළුවන් කෘතියක්. ඒ වගේම මේ පොතේ හැම පිටුවක් ගාණේම ජීවිතේට ගන්න තියෙන දේවල් සෑහෙන්න තියෙනවා. තමන්ගේ හදවතට, සිහිනවලට ඇහුම්කම් දීමේ වටිනාකම ගැන කියාදෙන මේ පොත ඔයා කියවලා නැත්නම් අනිවාර්යයෙන්ම කියවන්න කියලා ආරාධනා කරනවා…
4. සංසාර මන්දිර
එඩ්ගාර් කේසි ගැන ගීනා චර්මිනාරා (Gina Cerminara) ලියපු “Many Mansions” කියන පොතේ සිංහල පරිවර්තනය තමයි “සංසාර මන්දිර” කියන්නේ. කන්නිමහර සුමංගල හිමියන් තමයි මෙය සිංහලයට පරිවර්තනය කර තිබෙන්නේ. කර්මය, මරණින් මතු ජීවිතය, පුනර්භවය වගේ දේවල් ගැන තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. ජීවිතය ගැන වෙනස්ම දැක්මක් එක්ක ඔබේ මනස අවදි කරවන, ඔබ කියවිය යුතුම පොතක් විදියට නිර්දේශ කරන්න පුළුවන් මෙය…
5. කාන්තාරයේ කුසුම
වාරිස් ඩයිරිගේ ජීවිත කතාව රැගත් “Desert Flower” කෘතිය රංජිත් කුරුප්පු මහතා විසින් “කාන්තාරයේ කුසුම” නමින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. සෝමාලියාවේ පවතින ස්ත්‍රී චර්මච්ඡේදනය සහ ස්ත්‍රීන්ව පෙළන සමාජ ක්‍රමයට එරෙහිව සටන් වැදුණු වාරිස්ගේ නොසැලෙන අධිෂ්ඨානයේ කතාව මේ කෘතියට පාදක වුණා. කාන්තාවක් විදියට ඔබට අතිශය වැදගත් වගේම ජීවිතයට ශක්තියක් එකතු කරගත හැකි පොතක් වන මෙය අනිවාර්යයෙන්ම කියවපු නැති අය අරගෙන කියවන්න.
6. සැබෑ මිනිසකුගේ කතාවක්
“සැබෑ මිනිසකුගේ කතාවක් ” කියන්නේ ධනාත්මක චින්තනය ගැන ලියවුණු නවකතාවක්. මෙය ශාරීරික අබාධයක් නිසා හෝ මානසිකව වැටුණු කෙනෙක්ව දිරිමත් කරවන්න පුළුවන් විදිහේ හොඳම පොතක් කිව්වොත් වැරදි නැහැ. ගුවන් අනතුරකින් දෙපා අහිමි වුණත්, නොසැලෙන දිරියෙන් යළි නැගී සිටිමින් තම රට ජාතිය වෙනුවෙන් මෙහෙවර ඉටු කරන ඇලෙක්සෙයි මරේස්යෙව් නම් චරිතය හරහා හරි අපූරුවට ජීවිතය දිහා ශක්තිමත් ලෙස බලන්න අපව පොළඹවනවා මේ කෘතියෙන්…
7. අසිරි සිරිනි
ජීවිතේ එක එක අභියෝග හා සටන් වදිමින් අරගලයේ යෙදෙද්දි අපට ජය වගේම පරාජයන් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එවැනි දේවලින් නොසැලී ජීවිතේ විඳින්න කියාදෙන අපූරු පොත් පෙළක් විදියට මේ “අසිරි සිරිනි” කෘතීන් එකතුව හදුන්වන්න පුළුවන්. සරලව හරිම ලස්සනට මනස සැහැල්ලු කරන්න පුළුවන් අපූරු හැකියාවක් මේ පොත් හතේ තියෙනවා. ඒ නිසා මෙතෙක් කියවලා නැති හැමෝම මේ පොත් හතත් අනිවාර්යයෙන්ම කියවන්න.
එහෙනම් මේ පොත් ඔයා කියවලා නැත්නම් අනිවාර්යයෙන්ම අමතක නොකර මේ පොත් හතම කියවන්න. එකිනෙකට වෙනස් තේමා වලින් යුක්ත වුණාට මේ පොත් හැම එකක්ම වගේ එකිනෙකට දෙවනි නැහැ…
ශශින් ප්‍රබෝද්
Leave a Reply