පාඩම් කරන්න කම්මැලියිද? පාඩම් කළත් මුකුත් මතක නැද්ද? එහෙමනම් මේ ලිපිය ඔයාටමයි

අපි නිරතුරුවම වගේ පාඩම් වැඩ වල යෙදෙන අය වෙනුවෙන් විවිධ උපදෙස් කියලා දුන්නා. අදත් ඒ වගේ උපදෙස් ටිකක් තමයි මේ ලිපියෙන් අපි අරන් එන්නෙ. පාඩම් කරන්න කම්මැලි කමට විසඳුම් හතක් අපි ඔබට කියලා දෙනවා. ඉතින් වෙනදා වගේම ඔයාට ගොඩක් වටීවි කියලා හිතනවා මේ ටිප්ස් හතත්…

 

1. ෆ්ලෑශ් කාර්ඩ් සෙල්ලම

මේක ගැන අපි මීට කලිනුත් ලිපියකදි කිවුවා ඔයාට මතක ඇති. ඒක දැක්ක නොදැක්ක හැමෝම වෙනුවෙන් කෙටියන් කියන්නම්කෝ මේ ෆ්ලෑශ් කාර්ඩ් කියන්නේ මොනවාද කියලා. මෙහෙමයි, මේ ෆ්ලෑෂ් කාඩ්ස් ඔයාට සමාන්‍ය කාඩ්බෝඩ් කොටුවක හදන්න පුළුවන්. ඒකෙ එක පැත්තක ඔයාට අමාරු දේක ප්‍රශ්නයත්, අනිත් පැත්තේ ඒකේ පිළිතුරත් ලියන්න. මේක හැබැයි ගණිතය වගේ විෂයකට නම් පාවිච්චි කරන්න ටිකක් අමාරුයි. හැබැයි පාඩම් කරන්න ගොඩක් කරුණු තියෙන විෂයයන්වලට මේ ක්‍රමය ගොඩාක් හොඳයි…

පාඩම් මතක තියාගන්​න උදවු වෙන ෆ්ලෑෂ් කාර්ඩ් ගැන දන්නවද?

 

 

2. මයින්ඩ් මැප් 

මයින්ඩ් මැප් කියන්නෙත් පහසුවෙන් පාඩම් මතක තියා ගන්න පුළුවන් කම්මැලි නැති ක්‍රමයක්. මේක සමහර විට ඔයා ඉස්කෝලෙදි හෝ ඔයාගේ ක්ලාස් එකේදිත් කරලා ඇති. ගොඩාක් ගුරුවරු මේක පාවිච්චි කරනවා සටහන් මතක තියාගන්න පහසු කරන්න. මේක කරන්නේ මෙහෙමයි, මුලින්ම ඔයාගේ පාඩම හොඳින් කියවන්න ඕනේ. ඊට පස්සේ කොළේක සම්පූර්ණ සටහනේ වැදගත් කරුණු ඔක්කොම තනි රූප සටහනකට ගන්න ඕනේ. මේ ගැන හොඳ සවිස්තරාත්මකව ලියපු ලිපියක් පහතින් කියවන්න ඔයාට පුළුවන්.

 

මොනවද මේ Mind mapping කියන්නේ? කොහොමද ඒක කරන්නේ?

 

 

3. Visualize කරන්න

මේකත් හැබැයි හැම විෂයයටම ගැළපෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගණන් වගේ ඒවට ගැළපෙන්නේ නැහැ. ඒත් පාඩම් කරන්න වැඩිපුර කරුණු තියන  විද්‍යාව වගේ විෂයයන්ටනම් කියාපු ක්‍රමයක්. මේක මෙහෙමයි, අපි පොතක් කියවද්දි අපේ හිතේ මැවෙනවනේ පොතට ගැළපෙන එක එක සිද්ධි. මේකත් එහෙමයි. අපි පොතේ කියවන පාඩමට අදාළ චිත්‍රයක් අපිට පුළුවන් මවාගන්න. ඕනේ නම් ඒ චිත්‍රය කොළේක අඳින්නත් පුළුවන්. හැබැයි ඒක ටිකක් වෙලා යන වැඩක් නිසා සාමාන්‍යයෙන් කටු සටහනක් හැටියටත් අපිට අඳින්න පුළුවන්…

 

 

4. ටීචර් කෙනෙක් වෙන්න

මේක නම් හැම විෂයයටම ගැළපෙනවා. කරන්නේ මෙහෙමයි, ඔයාට පුළුවන් ඔයා අද ඉගෙනගත්ත දේ තව කාට හරි උගන්නන්න. ඔයාට පුළුවන් ඔයාගේ යාළුවෙක්ට හරි, නංගිට මල්ලිට හරි, ඒ කවුරුත් නැත්නම් ගෙදර සෙල්ලම් ටෙඩියට හරි ඔයා අද පාඩම් කරපු දේවල් උගන්නන්න. නිකන් ආවට ගියාට නෙමෙයි, සරලව ඕන කෙනෙක්ට තේරෙන විදියට. බොහොම විනෝදජනක වගේම මතකය දියුණුවන ක්‍රමයක් මේක. 

 

 

5. සරලව ලියන්න

මේක ඔයාට අපි හතරවෙනියට කියපු කාරණාවට ගළපගන්න පුළුවන්. ඔයා කාටහරි උගන්නනව වගේ ඔයා පාඩම් කරපු දේ ඔයාට කෙටි නෝට් එකකට ගන්න පුළුවන්. සංකීර්ණ වචන නැතුව සරලව වැදගත් දේ විතරක් යොදාගෙන ඔයාට මේ නෝට් එක හදන්න පුළුවන්. ඒ වගේම දෙයක් මතක තියාගන්න කෙටි ක්‍රමත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. අර අපි ඉස්සර දිශා අට පාඩම් කරපු ක්‍රමේ තියෙන්නෙ… අන්න ඒ වගේ දේවලුත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මේ නෝට් එකට. මේක පුළුවන් තරම් සරලව ලියන්න බලන්න…

 

6. කට පාඩමින් මිදෙමු

මේක තමා ගොඩක් අය වරද්දගන්න තැන. විෂයයන් කටපාඩම් කරන එක. මේක හින්දමයි ගොඩාක් අයට පාඩම් කරන එක මාර කම්මැලි වෙලා තියෙන්නේ. සරලව කිව්වොත් පාඩමම විකාර වෙනවා මේ කටපාඩම් ක්‍රමයෙන් ඒකෙන් පුළුවන් තරම් මිදිලා සරලව පාඩම් කරන්න. පුළුවන් තරම් අවබෝධයෙන්ම දේවල් තේරුම් ගන්න බලන්න. විභාගෙට උත්තර ලියන එකම අරමුණු කරගන්නෙ නැතුව පොතේ නැති කරුණුත් හොයන තරමටම පාඩම ඉන්ට්‍රස්ට් කරගන්න. 

 

7. ගෝල් එක මතක් කරගන්න

 

ගොඩක් අයට අමතක වෙන වැදගත්ම කාරණේ තමන්ගෙ ගෝල් එක. මම කැම්පස් යනවා, මම ඩොක්ටර් කෙනෙක් වෙනවා, මම මේ විභාගේ අනිවාර්යයෙන් පාස් වෙනවා වගේ ගෝල් එකක් තියාගන්න. මේ ගෝල් එකට පුළුවන් තරම් ඇඩික්ට් වෙන්න. හැබැයි ඒ ගෝල් එකේම ඉඳන් මනෝ පාරවල් ගහන්න නම් එපා. ගෝල් එකට යන්න පුළුවන් එකම මාර්ගය විභාගය නම් ඔයා පාඩම් කරන්න. හැබැයි එපා නොවෙන විදියට.

 

මේ ටිප්ස් හතෙන් කිහිපයක් සමහරවිට ඔයා දැනටමත් දන්නවා ඇති. මෙතන නැති ඔයා පාවිච්චි කරන වෙනත් ටිප්සුත් ඇති. ඒවත් අමතක නොකරම අපිට කමෙන්ට් එකකින් කියන්න. ඒ වගේම මේ කරුණු ඔයාගෙ යාළුවොත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

 

ශශින් ප්‍රබෝද්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *