අපි හිතුවා ලෝකයේ සුප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙක්ගේ අවසන් වදන් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. “හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ – වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ” (මහණෙනි, දැන් මා ඔබ අමතමි. සංස්කාරයෝ නැසෙන සුළුය නොපමාව නිර්වාණය සාක්ෂාත් කරව්). දහම් පාසල් යන ඕනෑම කෙනෙක්ට මේ ගාථාව ඉතාමත් හුරුපුරුදුයි. ඒ බුදු හාමුදුරුවන්ගේ අවසාන වචනය විදියට. උන්වහන්සේ පිරිනිවන් මංචකයේදී ශ්‍රාවක සංඝයා වහන්සේලාට අනුශාසනා කරන්නේ තමන් පෙන්නපු මාර්ගයේ ගමන් කරන විදිහට. අපි මේ කතා කරන්න යන සුප්‍රකට චරිත වල නම් අවසන් වදන් එහෙම ගැඹුරු තේරුම් තියන දේවල් නම් නෙමෙයි, මොකද මේ අය පෘථග්ජන මිනිසුන්නේ ඉතින්.
1. ඩයනා කුමරිය
පසුගිය සියවසේ සිදුවුණු උත්කර්ෂවත්ම විවාහ මංගල්‍යයේ මනාලිය ඇය. නමුත් විවාහ මංගල උත්සවයේ තිබ්බ සොඳුරු බව නම් ඇගේ විවාහ ජීවිතය තුළ තිබ්බේ නෑ. අවසානයේ දී මතුයම් දවසක බ්‍රිතාන්‍යයේ රැජින වෙන්න හිටිය ඇය ඒ සියල්ලට පයින් ගහලා චාල්ස් කුමාරයාගෙන් දික්කසාද වුණා. ඇගේ අවසන් ගමන් යන්න දෛවය යොමු කරන්නේ ප්‍රංශයට.පැරීසියෙ උමං මාවතකදී ඩයනා කුමරිය සහ ඇගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයිඩ් රැගත් මෝටර් රථය අනතුරට ලක්වෙනවා. මේ අවස්ථාවේදී ඔවුන් හඹාගිය පැපරාසීන් ඡායාරූප ගන්නවා ඇර ඔවුන්ට උදව් කරන්න උත්සුක වෙන්නේ නෑ. අවසානයේදී ගිලන්රථ පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන යනවා. මේ වෙද්දි ඩොඩී අල් ෆයිඩ් මිය ගිහින් හිටියත් ඩයනා කුමරිය අවසන් සුසුම් හෙළමින් හිටියා. මේ අවස්ථාවේ ඇයව රැගෙන යන ගිලන් රථ සේවකයන්ට “මගේ දෙයියනේ මේ මොකද්ද වුණේ” (Oh my god, What happend) කියලා ඇගේ මුවින් පිටවෙනවා ඇහෙනවා.
2. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්
ආතර් කොනන් ඩොයිල් නම් ඉතින් මැරෙන කෙනෙක් නෙමෙයි. ෂර්ලොක් හෝම්ස් චරිතය රසිකයාගේ සිතේ තියෙනතාක් කල් ආතර් කොනන් ඩොයිල් ජීවමානයි. එක වතාවක් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් චරිතය මරා දැම්මත් අවසානයේදී රසිකයන්ගේ සහ ඔහුගේ හෘද සාක්ෂියේ බලපෑම නිසාම ඔහු නැවතත් ෂර්ලොක් හෝම්ස් මරණයෙන් බේරුණා කියලා නැවතත් හෝම්ස්ව කරලියට ගෙනාවා. තමන්ගේ ගෙවත්තෙදී ඇති වුණු හෘදයාබාධයක් නිසා ඩොයිලි මිය යන විට ඔහුගේ අසලින් සිටින්නේ ඔහුගේ ආදරණීය භාර්යාව. මියයන ඔහු තමන්ගේ බිරිඳ දිහා බලලා “ඔයා හරි ලස්සනයි” කියලා කියනවා.
3. මාරී ඇන්ටනොයිට් බිසව
“පාන් නැත්නම් කේක් කාපල්ලා” කියලා කියපු රජ බිසව මතකද? සමහරු කියන විදිහට නම් ඇය මේ ප්‍රකාශය කරලා තියෙන්නේ කුරිරු අදහසකින් නම් නෙමෙයි, කුඩා කාලයේ සිට හුරු වෙලා තිබ්බ සුඛෝපභෝගී ජීවිතය නිසා සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ගැන අදහසක් ඇයට තිබිලා නෑ. ප්‍රංශ විප්ලව සමයේ ප්‍රංශයේ රජ කළ 16 වන ලුවී රජුගේ භාර්යාව වුණු ඇයට අවසානයේදී ලුවී රජු සමගින් ගිලටීනයට හිස දන් දෙන්න සිද්ධ වෙනවා. ඇයව හිස ගසා දමන්න ගෙන යන මොහොතේදී වැරදීමකින් වධකයාගේ කකුල ඇයට පෑගෙනවා. ඒ අවස්ථාවේදි ඇය “සමාවෙන්න මහත්මයා” කියලා වධකයාගෙන් සමාව ඉල්ලනවා.
4. නොස්ට්‍රඩැමුස්
නොස්ට්‍රඩැමුස් සලකන්නේ අනාවැකි කියන්නන් අතර රජු විදිහට. ඔහුගේ අනාවැකිවල ස්වභාවය වුණේ යම් දෙයක් සිද්ධ වෙනකන් ඔහු කියා ඇති අනාවැකිය පැටලිලි සහගතයි, නමුත් සිද්ධිය සිද්ධ වීමත් එක්ක කියල තිබ්බ අනාවැකිවල තිබ්බ පැටලිලි ස්වභාවය නැති වෙලා අපිට වැටහෙන්න ගන්නවා නොස්ට්‍රඩැමුස් මේ කියලා තියෙන්නේ මෙන්න මේ සිද්ධිය ගැන කියලා. නොස්ට්‍රඩැමුස් තමන්ගේ මරණය ගැනත් අනාවැකි කියලා තියෙනවා “හෙට උදේ වෙද්දි මම නෑ” මෙහෙම තමන්ගේ සහායකයාට කියලා ඔහු නින්දට යනවා. පහුවෙනිදා සහායකයා නොස්ට්‍රඩැමුස්ගේ කාමරයට ගියාම මුණගැහෙන්නේ සදාකාලික නින්දට වැටුණු නොස්ට්‍රඩැමුස්.
5. ලියනාඩෝ ඩාවින්චි
ලියනාඩෝ ඩාවින්චි කියන්නෙ අදටත් තේරුම් ගන්න බැරි පුද්ගලයෙක්. ඇතැම් අවස්ථාවල ඩාවින්චි කියන්නෙ කාලය හරහා අතීතයට පැමිණි පුද්ගලයෙක් කියල සමහරු තර්ක කරනවා.ඒකට හේතුව වෙන්නේ ඩාවින්චි ජීවත් වූ කාලයට සාපේක්ෂව ඔහුගේ අදහස් පුදුමාකාර විදිහට ඉදිරිගාමී වීම. අද වෙනකොට මෝනාලිසා චිත්‍රයේ නිර්මාණ ශිල්පියා විදිහට අපි ඩාවින්චි හඳුනාගත්තත් ඩාවින්චි ඉංජිනේරුවරයෙක්. ඔහු විවිධාකාර යන්ත්‍රසූත්‍ර සැලසුම් කරල තිබ්බා (ගුවන් යානා පවා). ඒ වගේම ඩාවින්චි ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පය වෙනස් කරන්න දායක වුණු පුද්ගලයෙක්. ඩාවින්චි කොයිතරම් විශිෂ්ටයෙක් වුණත් ඔහු අවසාන මොහොතේදි කියන්නේ මෙන්න මෙහෙම “I have offended God and mankind because my work didn’t reach the quality it should have. මේකෙන් තේරෙන්නෙ ඩාවින්චි අපිට කොතරම් විශිෂ්ටයෙක් වුණත් ඩාවින්චිට තමන්ව දැනුනේ අඟුටු මිට්ටෙක් කියලා.
6. ස්ටීව් ජොබ්ස්
ස්ටීව් ජොබ්ස් කියන්නේ අපේ ලෝකය වෙනස් කරන්න දායක වෙච්ච කෙනෙක්. විහිළුවට කියන්නේ ඒවා කාපු ඇපල් ගෙඩිය ස්ටීව් ජොබ්ස් ගෙනාපු නිසා ලෝකය උඩු යටිකුරු වුණා කියලා. ස්ටීව් ජොබ්ස් අවසාන කාලයේදී පිළිකා රෝගය එක්ක දැඩි සටනක නිරත වුණා. නමුත් බෞද්ධයකු වූ ඔහු ජීවිතය යම්තාක් දුරකට වටහා ගත්ත පුද්ගලයෙක් කියලා කතාවක් තියෙනවා. ඔහුගේ අවසන් වචන වුණේ “Oh, Wow,Oh Wow” හැබැයි මේ වචන ඔහුගේ මුවින් පිටවුනේ ඇයි කියලා කියන්න නම් දන්නේ ඔහුම විතරයි.
7. ඇල්බට් අයින්ස්ටයින්
ඇල්බට් අයින්ස්ටයින්ව නම් ඉතිං හඳුන්වලා දෙන්න දෙයක් නෑ. සියවසේ බිහි වුණු මහා විද්‍යාඥයා විදිහට සම්භාවනාවට ලක් වෙන ඇල්බට් අයින්ස්ටයින් උපතින් යුදෙව් ජාතිකයෙක්. නමුත් ඔහු වැඩි වශයෙන් භාවිතා කළේ ජර්මන් භාෂාව. අයින්ස්ටයින් නාසි පාලනයේ තර්ජනවලින් බේරීමට ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට යනවා. එහිදී පරමාණු බෝම්බ සෑදීමේ ව්‍යාපෘතියට සහයෝගය දක්වනවා. ඔහු අවසන් සුසුම් හෙලන්නෙත් ඇමරිකාවේ දී. නමුත් අයින්ස්ටයින් මියයන වෙලාවෙදි යමක් ජර්මන් භාෂාවෙන් පැවසුවත් ඔහු අසල සිටි සේවිකාව ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළ අයෙක් නිසා අයින්ස්ටයින්ගේ අවසන් වදන් වුණේ මොකද්ද කියලා අපිට දැනගන්න විදියක් නෑ.
එහෙමනම් වෙනදා වගේම මේ ලිපිය ෂෙයාර් කරලා අදහස් දක්වන්නත් අමතක කරන්න එපා.
Leave a Reply