ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු

ශත වර්ෂ එකහමාරකට ආසන්න කාලයක්  ලංකාව පාලනය කළේ  බ්‍රිතාන්‍යයන් විසින්. මුල් කාලයේදී ලංකාව පාලනය කරන්න ආපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු පුළුවන් තරම් උත්සාහ කළේ රටේ සම්පත් හූරන් කන්න. නමුත් පස්සෙ කාලෙකදී මේ ප්‍රතිපත්තිය බොහෝ දුරට වෙනස් වෙනවා. අපි මේ ලිපි පෙළ මඟින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවට ආපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ පසුබිම සහ ඔවුන් විසින් ලංකාව වෙනුවෙන් කළ හොඳ නොහොඳ පිළිබඳව.

 

1. ෆ්‍රෙඩ්‍රික් නෝත්

ලංකාවේ පළමු ආණ්ඩුකාරවරයා බවට පත්වන ෆෙඩ්‍රික් නෝර්ත්  බ්‍රිතාන්‍ය රදළ  පවුලක සාමාජිකයෙක්. ඔහුගේ පියා එංගලන්ත පාර්ලිමේන්තුවේ අගමැති ධුරය පවා හොබවා තිබෙනවා. 1798 දී ඔහු ලංකාවේ පළමු ආණ්ඩුකාරවරයා බවට පත්වන අතර වර්තමානයේ නටබුන්ව පවතින ඩොරික් බංගලාව සිය නිල නිවස ලෙස ඔහු විසින් ගොඩ නගනු ලැබුවා. එවකට ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති මුතු වෙළඳාම වඩාත් කාර්යක්ෂම කිරීම ඔහුගේ අරමුණ වුණා. කෙසේ වෙතත් අසාර්ථක උඩරට ආක්‍රමණයකින් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් වුණු අතර ජීවිතයේ අවසන් සමය ග්‍රීසියේ ගතකළා. පැරණි ග්‍රීක සභ්‍යත්වය ප්‍රතිස්ථාපනය කිරීම ඔහුගේ එක් බලාපොරොත්තුවක් වුණා.

 

2. තෝමස් මේට්ලන්ඩ්

වංශවත් පවුලක සාමාජිකයකු වූ තෝමස් මෙට්ලන්ඩ් දක්ෂ හමුදා නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවා. කෙසේ වෙතත් එවකට ප්‍රංශ යටත් විජිතයක්ව පැවති හයිටිය බ්‍රිතාන්‍ය යටතට ගැනීමට ඔහු ගත් උත්සාහය අසාර්ථක වූයේ  කහ උණ වසංගතයට ඔහුගේ හමුදාව ගොදුරු වීම නිසයි.1805 පටන් 1811 දක්වා ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ ඔහු ලංකාව තුළ අද දක්වා ප්‍රසිද්ධ වී සිටින්නේ ඔහු හා ලැවීනියා නම් කාන්තාවක් අතර ඇති වුණු පෙම් සබඳතාවයක් නිසායි.

 

3. රොබට් බ්‍රවුන්රිග් 

තීක්ෂණ හමුදා නිලධාරියෙකු වූ රොබට් බ්‍රවුන්රිග්, උඩරට රාජධානියේ අභ්‍යන්තර බල අරගල සිය වාසිය සඳහා සූක්ෂමව භාවිතා කරමින් වසර දෙදහසක් පමණ ස්වාධීනව පැවැති සිංහල රාජධානිය සම්පුර්ණයෙන්ම යටත් කර ගැනීමට සමත් වුණා. මේ නිසා බ්‍රිතාන්‍යය තුළ පවා ඔහු සුවිශේෂ ඇගැයීමකට ලක් වුණා. මේ සඳහා  ඔහුට ජෝන් ඩොයිලිගෙන් සුවිශේෂී දායකත්වයක් ලැබුණා. 1818 කැරැල්ල නිර්දය ලෙස මර්දනය කිරීමට ඔහු තීරණය කළේ යම් හෙයකින් එම කැරැල්ලේදී බ්‍රිතාන්‍යයන් පරාජය වුවහොත් ජාත්‍යන්තර මට්ටමේ අපකීර්තියක් ලැබීමට මෙන්ම එවකට ඉන්දියාවේ බ්‍රිතාන්‍ය යටත්විජිත පවා කැරළි ගැසීමට පෙළඹෙනු ඇතැයි යන නිගමනය මතයි.

 

4. එඩ්වඩ් බාන්ස් 

පශ්චාත් ප්‍රංශ විප්ලව යුද සමයේ සහ නැපෝලියන් යුද සංග්‍රාම වල නිර්භීතව සටන් වැදුණු එඩ්වඩ් බාන්ස් කෙටි කලක් තුළ එම දස්කම් නිසාම උසස්‌වීම් කීපයක් ලැබුවා. ඔහුගේ මෙම දක්ෂතා නිසාම උඩරට මහ කැරැල්ල වැනි අභියෝග ඉදිරියේ දී ඇති වුවහොත් මුහුණදීමට සුදුසු බ්‍රවුන්රිග්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔහුව පත් කිරීමට යටත් විජිත බලධාරීන් තීරණය කරනු ලැබුවා. කෙසේ වෙතත්  1820 සිට 1822 දක්වා වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළ ඔහුට යළිත් පසුව පූර්ණ බලතල හිමි වුණේ 1838 සිට 1824 දක්වා කාල පරිච්ඡේදය තුළයි. ඔහුගේ කාලය තුළ සිදුවූ සුවිශේෂීම සිද්ධිය වන්නේ කොළඹ මහනුවර මාර්ගය තැනීම ආරම්භ කිරීමයි. එසේම ලංකාවේ පළමු සංගණනය සිදු වීමත් කෝපි වගාව ලංකාවට හඳුන්වා දීමත් ඔහුගේ අධීක්ෂණය යටතේ සිදු වුණා.

 

5. එඩ්වඩ් පැජට් 

නිර්භීත හමුදා සෙබළෙකු වූ එඩ්වඩ් පැජට්ට ක්‍රියාන්විතයක් අතරතුරදී සිය දකුණු අත අහිමිවුණා. එසේම වසර දෙකක පමණ කාලයක් ප්‍රංශ යුද හමුදාවේ සිරකරුවෙකු බවට පත්වීමටත් ඔහුව සිදුවුණා. කෙසේ නමුත් ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස ඔහුට ගත කිරීමට ලැබුණේ මාස කීපයක් පමණයි. එයට හේතුව ඉන්දියාවේ හමුදා සේනාධිනායකයා ලෙස පත්වීමක් ලැබ බුරුම ආක්‍රමණය මෙහෙයවීම සඳහා ඔහුට අණ ලැබීම නිසයි.

 

6. රොබට් විල්මොට් හෝර්ටන්

පරිපාලන සේවයෙන් ලංකාවේ ආණ්ඩුකාර ධූරය වෙත පිවිසුණු හෝටන් විවිධ ප්‍රතිසංස්කරණ ලංකාව තුළ දියත් කිරීමට උත්සාහ කළා. කෝල්බෘක් සහ කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි ලංකාවේ පළමු ව්‍යවස්ථාදායක සභාව සහ විධායක කමිටු ඇති කිරීමට ඔහු පුරෝගාමී වූ අතර රාජකාරි ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළා. මේ මගින් ඉඩම් වල පෞද්ගලික හිමිකම පිළිගැනුණු අතර ආසියාවේ පළමු වරට තැපැල් දුම්රිය ඇතිකිරීමටත් ඔහු කටයුතු කරා.

 

7. ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවර්ට් මැකෙන්සි

ස්කොට්ලන්ත ජාතිකයෙක් වූ ජේම්ස් මැකෙන්සි මෙරට ආණ්ඩුකාරධූරය 1837 සිට 1841 දක්වා කාලය තුළ උසුලනු ලැබුවා. ක්‍රිස්තියානි අන්තවාදියෙකු වූ මෙම ආණ්ඩුකාරවරයා බෞද්ධ ජනතාව සහ පන්සල අතර ඇති සබඳතාවය දුර්වල කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කරනු ලැබුවා. ඒ යටතේ විහාර සඳහා ඉඩම් පරිත්‍යාග කිරීම තහනම් කෙරුණු අතර ඒ සඳහා ආණ්ඩුකාරවරයාගේ අවසරය ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් කරනු ලැබුවා.

 

එහෙමනම්  වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.