ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – දෙවන කොටස

අපි වැඩකටයුතු පහසු කරගන්න පාවිච්චි කරන, ගොඩක් දෙනෙක් දන්න කියන ඔන්ලයින් ටූල්ස් අතරේ, ගොඩක් දෙනෙක්ගේ ඇහැ නොගැටුණු, ගොඩක් දෙනෙක් නොදන්න වෙබ් අඩවිත් සෑහෙන්න තියෙනවා කියලා අපි මීට කලිනුත් කියලා තියෙනවා. මේ සමහර වෙබ් අඩවි වලින් අපිට හොයාගන්න පුලුවන්, ඉගෙන ගන්න පුළුවන් දේවල් සමහර එව්වා තනිකරම පිස්සුවක්. උදාහරණයක් විදියට ගත්තොත් Radio garden වෙබ් සයිට් එක. ආයෙ ලෝකේ තියෙන ලෝකේ තියෙන රේඩියෝ චැනල් බරගාණක් අතරින්, කැමති රටක තියෙන කැමති චැනල් එකක් සිලෙක්ට් කරලා අහන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ තියෙන ලෝක බෝලේ කරකවලා ඕන රටවල් සහ රේඩියෝ ස්ටේෂන් හොයාගන්න පුළුවන්.

 

දැන් පැහැදිළියිනේ. මෙන්න මේ වගේ, අපූරු වැඩ කිඩ තියෙන, ප්‍රයෝජනවත් වෙබ් අඩවි ගැන තමයි අපි කතා කරන්නේ. එහෙම වෙබ් අඩවි කීපයක් ගැන අපි කලින් කතා කළා. අද ඒකේ දෙවෙනි කොටස.

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස

 

 

 

1. Camelcamelcamel

 

නම දැක්කහම හිතන්න එපා මේක ඔටුවෝ සම්බන්ධ වෙබ් අඩවියක් කියලා. ඇත්තටම මේකේ වෙන්නේ අපිට ඔන්ලයින් විකුණන බඩු වල ගණන් පොඩ්ඩක් එහා මෙහා වෙන කොට කියන එක. ඇත්තටම මේක ප්‍රධාන වශයෙන් වැඩ කරන්නේ ඇමසොන් සමාගමේ බඩු7 සම්බන්ධයෙන්. දැන් Amazon.com එකට ගිහින් බැලුවහම පෙනෙයි, ඒ අයගේ බඩු වල ගණන් හැම වෙලේම එකම ගාණක තියෙන්නෙ නෑ. ඒ ගණන් එහා මෙහා වෙනවා. එතකොට මේ වෙබ් අඩවියෙන් කරන්නේ අපිට ඒ ගණන් අඩු වැඩි වෙන එක බලාගෙන ඉඳලා අඩුම ගාණට ගන්න සෙට් කරලා දෙන එක. වෙන විදියකට කිවුවොත්, අපි අපිට ඕන බඩුව මොකද්ද කියලා හරි, ඒ බඩුව විකුණන්න තියෙන URL එක දුන්නහම හරි, ඒක යම් කිසි දෙන ලද ප්‍රමාණයකට ගණන් අඩු වුණු හැටියේ අපිව දැනුවත් කරන එක. මේකෙදී පොඩ්ඩක් ඉවසීමත් ඕන. හැබැයි ඉතින් අඩුවට බඩුවක් ගන්න පුළුවන් කියන එක සලකලා බලනකොට පාඩුත් නෑ!

 

 

2. Online-Convert

 

අපිට සාමාන්‍යයෙන් ඔය ෆයිල් එහෙම කන්වර්ට් කරගන්න අවශ්‍යතාවය ඉඳලා හිටලා හරි මතුවෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් PDF එකක් JPEG එකක් කරගැනීම වගේ සරල ඒවල ඉඳලා, 7Z නැතිනම් TAR.GZ වගේ ෆයිල් ෆෝමැට් කන්වර්ට් කරගැනීම දක්වා අවශ්‍යතා කොයි මොහොතකදී හරි මතුවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕන දේත් සරලයි. PDF to JPEG කියලා ගූග්ල් සර්ච් කළහම ඒ වැඩේ කරගන්න පුළුවන් වෙබ් අඩවි ලිස්ට් එකක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය ලිස්ට් එකේ හැම එකම වැඩේ ෆ්‍රී කරලා දෙන්නෙ නැතිවෙන්න පුළුවන්. සමහර එව්වා රෙජිස්ටර් වෙන්න ඉල්ලන්න පුළුවන්. එහෙම නැතිනම් ෆයිනල් අවුට්පුට් එක ගන්න කලින් වෙන වෙන වෙබ් පේජ් සීයකට විතර රීඩිරෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි මේ Online-Convert වෙබ් අඩවියේ ඔය කිසි කරදරයක් නෑ. සාමාන්‍යයෙන් දෙන කන්වර්ෂන් ලිස්ට් එකක් තියෙනවා. ඕන එක තෝරගන්න විතරයි තියෙන්නේ. මේකේ සොෆ්ට්වෙයාර් කන්වර්ටර්, හෑෂ් ජෙනරේටර්, ඩිවයිස් කන්වර්ටර් පවා තියෙනවා.

 

 

3. Google Fonts

 

ගූග්ල් වෙබ් සයිට් එකක් කියන්නේ එහෙම ගොඩක් දෙනෙක්ගේ සැලකිල්ලට ලක් නොවෙන වෙබ් සයිට් එකක් වෙන්නෙ කොහොමද කියලා හිතන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඇත්තටම ගූග්ල් ෆොන්ට්ස් වලට ගිහින් බලන කෙනෙක් හොයාගන්න පුළුවන් වෙන්නේ කලාතුරකින් නෙවෙයිද? මෙතනදී වැදගත් වෙන්නේ ගොඩක් දුරට නොමිලේ ලබාගන්න පුළුවන්, හයි කොලිටි ෆොන්ට්ස් එකතුවක් මෙතනින් ලබාගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක්ට නම් මෙහෙයුම් පද්ධතිය එක්ක එන ෆොන්ට්ස් සෙට් එක ප්‍රමාණවත් වෙන්න පුළුවන්. හැබැයි ඔය ඩිසයිනින් එහෙම කරන කෙනෙක්ට තව ක්‍රියේටිව් ෆොන්ට්ස් එහෙම තියෙනවා නම් වඩාත් හොඳයි. ආන්න ඒකට මේක හොඳ තැනක්. විවිධ ෆොන්ට්ස් කැටගරීස්, විවිධ භාෂා සහ ෆොන්ට්ස් වල ගති ලක්ෂණ අනුව ෆිල්ටර් කරලා අවශ්‍ය ෆොන්ට්ස් හොයාගන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ සයිට් එකෙන් අයිකන්ස් එහෙමත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

 

 

4. Gethuman

 

සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන කොම්පැණියක හොට්ලයින් එකක් හොයාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ගූග්ල් සර්ච් එකකින් බොහොම පහසුවෙන් ලංකාවේ සමාගමක හොට්ලයින් එක හොයාගන්න පුළුවන්. හැබැයි අපි හිතමු අපිට ඉන්ටර්නැෂනල් කම්පැණි එකක් සම්බන්ධ කරගන්න හොට්ලයින් එක හෝ වෙනත් සම්බන්ධතා විස්තර හොයාගන්න අවශ්‍ය වුණා කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපිට FedEx එකේ හෙඩ් ඔෆිස් එකට කතා කරන්න ඕන වුණා. එතකොට කොහොමද නම්බර් එක හොයාගන්නේ? ලේසියි. FedEx වෙබ් සයිට් එකට ගිහින් ඒකේ කන්ටැක්ට් ඩීටේල්ස් තියෙන්නේ කොහෙද කියලා හොයන්න ඕන. සමහර වෙබ් සයිට් වල ඇත්තටම ඒ අයගේ කන්ටැක්ට් ඩීටේල්ස් හොයාගන්න හරිම ලේසියි. හැබැයි තවත් සමහර වෙබ්සයිට් වල ඒක මාරම අමාරු වැඩක්. ආන්න ඒ වගේ අවස්ථාවකදී තමයි මේ Gethuman වෙබ් අඩවිය වැදගත් වෙන්නේ. ලෝකේ තියෙන වෙබ් අඩවි සිය ගාණක කස්ටමර් සර්විස් ලයින්ස් මේකේ තියෙනවා.

 

 

5. Namechk

 

දැන් ඔන්න අපි මොකක් හරි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට හරි වෙනත් ඒ වෙබ් සයිට් එකකට හරි යූසර් නේම් එකක් දෙනවා. එතකොට ඒ යූසර් නේම් එක තව කවුරුහරි පාවිච්චි කරලා නම්, සමහර ප්ලැට්ෆෝම් ඒ වෙලේම පෙන්නනවා ඒක වෙන කෙනෙක් දැනටමත් පාවිච්චි කරනවා කියලා. තවත් සමහර ප්ලැට්‍ෆෝම් ඊලඟ ස්ටෙප් එකේදී කියනවා වෙන යූසර් නේම් එකක් ගන්න කියලා. දැන් අපි කියමු අපිට වෙන කිසිම ප්ලැට්ෆෝම් එකක නැති විදියේ යූසර් නේම් එකක් ඕන කියලා. උදාහරණයක් විදියට අපේ බිස්නස් බ්‍රෑන්ඩ් එකකට කියමු. ආන්න ඒක එක් එක් ප්ලැට්ෆෝම් එකේ චෙක් කරනවට වඩා ලේසිම ක්‍රමය තමයි Namechk වෙබ් එකට ගිහින්, ඒකේ සර්ච් කරලා බලන එක. ඒකේ පෙන්නනවා සෝෂල් මීඩියා වෙබ්සයිට් 82 ක ඒ යූසර් නේම් එක තියෙනවද කියලා!

 

6. ASoftMurmur

 

අහල තියෙනවද වයිට් නොයිස් ගැන? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි වැඩ කරනකොට බැක්ග්‍රවුන්ඩ් එකෙන් සද්දෙන් සිංදුවක් දාලා තියෙනවා කියමු. එතකොට අපිට වැඩේට අවධානය දෙන්න ටිකක් අමාරුයි. අවධානය කැඩෙනවා. හැබැයි අපිට වැස්සේ සද්දේ, කුරුල්ලන්ගේ සද්දේ, කැෆේ එකක සද්දේ හෝ නැතිනම් නිකම්ම ටීවී එකේ සූ සද්දේ විතරක් ඇහෙනවා නම්, ඒක නිකම්ම බැක්ග්‍රවුන්ඩ් එකට දියවෙලා ගිහින්, අපිට වැඩ වලට අවධානය යොමු කරන්න පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි, එහෙම බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන බාධාවක් නොවෙන සද්දෙකින් අපේ ෆෝකස් එක තවත් වැඩිදියුණු වෙනවා. ආන්න ඒ නිසා තමයි ඔය ප්‍රඩක්ටිවිටි වැඩි කරගන්න මේ වගේ සද්ද ඉතාම හොඳයි කියලා කියන්නේ. ඇත්තටම වයිට් නොයිස් කියන්නේ අර ටීවී එකේ එන සූ සද්දෙට. දැන් මේ ASoftMurmur වෙබ් සයිට් එකට ගිහින් අපිට අවශ්‍ය බැක්‍ග්‍රවුන්ඩ් ශබ්දය තෝරාගන්න පුළුවන්. අවශ්‍ය නම් මික්ස් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක ප්ලේ කරලා වැඩ කරන්නයි තියෙන්නේ.

 

 

7. GeoGuessr

 

මේක නම් ඇත්තටම ගේම් එකක්. හරිම සරලයි. හැබැයි ඉතින් මේකට ඇබ්බැහි වෙලා පැය ගණන් ප්ලේ කර කර ඉන්න පුළුවන්. ගේම් එකේ වෙන්නෙ මෙච්චරයි. Google Street view maps වල තියෙන මොකක් හරි ටවුන් එකක පාරක් මැද්දට අපිව ගෙනිහින් අතාරිනවා. දැන් අපි අවට බලලා, අවට තියෙන දේවල් ඔස්සේ අනුමාන කරන්න ඕන අපි ඉන්නේ මැප් එකේ කොතනද කියලා. ඒක ඊජිප්තුවේ කයිරෝ වෙන්න පුළුවන්, එහෙම නැතිනම් ශ්‍රී ලංකාවේ දඹුල්ල වෙන්නත් පුළුවන්. හොඳ ෂර්ලොක් හෝම්ස් ටැලන්ට්ස් තියෙන, ලෝකේ රට තොට ගැන දන්න කෙනෙක්ට මේක අමාරු වැඩක් වෙන්නෙ නෑ.

 

 

මේ වගේ තවත් වෙබ් අඩවි ඕන තරම් තියෙනවා. අපේ ලිස්ට් එකේ නැති එහෙම වෙබ් සයිට් ගැන කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. අපි ඒවත් ඊලඟ ආටිකල් එකකදී එතකොට කතා කරනවා.

 

 

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – පළමු කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – තුන්වෙනි කොටස

ගොඩක් දෙනෙක් අහලවත් නැති, ඒත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙබ් අඩවි ලැයිස්තුවක්! – හතරවෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *