දැන් අපේ ජීවිත සාමාන්‍යයෙන් හෙනම ටෙක්නොලොජිකල් වෙලානෙ තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් හිතන්න පුළුවන්ද ටීවී එක ගාවට ගිහින් නොබ් එකක් කරකෝලා චැනල් මාරු කරපු අතීතයක් තිබුණා කියලා? එතකොට ස්මාට්ෆෝන් කියලා ජාතියක් අතේ නැති කාලයක් තිබුණා කියලා? හැබැයි දැන් නම් ස්මාට්ෆෝන් එක කියන්නේ අපේ ඇඟේ කොටසක් ගාණයි. හැබැයි මේක නරක දේකුත් නෙවෙයි. මොකද තාක්ෂණයත් එක්ක අපේ වැඩ සෑහෙන්න පහසු වෙලා තියෙනවා. ඒ වගේම අපේ ජීවිතේ සැලසුම් කරගන්න එහෙමත් අපිට මේ ස්මාට්ෆෝන් එකයි ඒකේ තියෙන ඇප්ස් ටිකයි පාවිච්චි කරන්න පුළුවන්, හැබැයි ඉතින් වැඩේ දැනගන්න ඕන. පබ්ජී ගහන්න විතරක් ස්මාට්ෆෝන් පාවිච්චි කරලා ඒක කරන්න බෑ.
දැන් ඔය එදිනෙදා වැඩ ප්ලෑන් කරගන්නවා කියන එක කොටස් කීපෙකට බෙදෙනවා. එකක් කාලය කළමනාකරණය කරගන්න එක. දෙවෙනියට වැඩ කලින් සැලසුම් කරගන්න එක. තුන්වෙනියට සැලසුම් කරගත්තු වැඩ බොහොම සඵලදායීව ඉෂ්ට කරන එක. හතරවෙනියට වැඩ අතරේ විවේක ගන්න එක. ඔය හැම එකක්ම කරන්න අවකාශය ලබාදෙන ඇප්ස් දැන් තියෙනවා. ඒ වගේම ඔය වැඩ වලින් එකක් හෝ දෙකක් හෝ කීපයක් කරන්න ඉඩ දෙන ඇප්ස් එහෙමත් තියෙනවා. අපි මේ කියන්න යන්නේ ආන්න එහෙම ඇප්ස් කීපයක් ගැන!
1. Remember The Milk
සාමාන්‍යයෙන් ඔය ටු ඩූ ලිස්ට් එකක්, එහෙම නැතිනම් කරන්න ඕන වැඩ ලැයිස්තුවක් හදාගන්න එක අමාරු වැඩක් නෙවෙයි. හැබැයි ඉතින් ඒ වැඩ ලැයිස්තුව මතක තියාගෙන ඉන්න එක තමයි අමාරුව. දැන් ඔන්න අපි ගෙදරට ගේන්න ඕන බඩු ලැයිස්තුවක් හැදුවට පස්සේ, ලැයිස්තුව අමතක වුනහම කාට කියන්නද ඒ දුක? ආන්න ඒ වගේ අවස්ථාවලටත් කදිමට ගැලපෙන ඇප් එකක් තමයි මේ. අපිට මේ ඇප් එක දාගත්තට පස්සේ පුළුවන් ටු ඩූ ලිස්ට් එකක් හදලා, ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න. ඉන් පස්සේ ඇප් එක අපේ පස්සෙන් පන්න පන්න මතක් කරයි කරන්න ඕන වැඩ ටික.
මේකේ හදන ටු ඩූ ලිස්ට් එක ඇතුළෙත් අපිට ප්‍රමුඛතාවය වැඩි වැඩ, නැවත නැවත කරන්න ඕන වැඩ, ඩෙඩ්ලයින්ස් වගේ විවිධ සැකසුම් කරන්න පුළුවන්. අපේ ගූග්ල් කැලැන්ඩරේ, ඊමේල්, ට්විටර් වගේ දේවලින් කෙලින්ම වැඩ මේකට ඉම්පෝට් කරන්නත් පුළුවන්. දැන් ඉතින් ඊට පස්සේ ඇප් එක අපිට ඊමේල්ස් එව එව, ටෙක්ස්ට් මැසේජ් එව එව, නෝටිෆිකේෂන් එව එව වැඩේ කරනකල්ම වද දෙයි!
2. TimeTune
අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන සීමිත කාලෙන් උපරිම වැඩ කොටසක් කරගන්නේ කොහොමද කියන එක. කී දෙනෙක් කී පාරක් හිතලා තියෙනවද දවසට වැඩිපුර පැය විසිහතරක් තිබුණා නං හොඳයි කියලා. හැබැයි අපිට එහෙම වැඩිපුර පැය ඇඩ් කරගන්න බෑ. ඒත් අපිට පුළුවන් තියෙන කාලය ඇතුළතදී උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න. ආන්න ඒකට උපකාරී වෙන ඇප් එකක් තමයි මේ.
මේ ඇප් එකෙන් අපිට අපේ දවසේ දිනචරියාව හදාගන්න පුළුවන්. දවසේ කරන්න ඕන වැඩ ලැයිස්තුගත කරගන්න පුළුවන්. දැන් ඒවලට සිහිකැඳවීම් ලබාගන්නත් පුළුවන්. නින්දට, විවේකයටත් කාලය වෙන් කරන්න පුළුවන්. ඒ වගේම පහුවුණු දවස් වල වැඩ අපි කරපු හැටි ආපහු විශ්ලේෂණය කරලා අපේ දවස ඇතුළේ වඩාත් ප්රශස්තව කාල කළමනාකරණය කරගන්නත් පුළුවන්.
3. Tide
දවස සැලසුම් කරනකොට දවසේ වැඩ කිරීම වගේම වැදගත් දේවල් තව තියෙනවා. එකක් තමයි හරියට නිදාගන්න එක. ඒ වගේම කාර්යබහුල දවසේ මොහොතක් හරි පොඩ්ඩක් රිලැක්ස් වෙන එක. එතකොට භාවනාවක් විදියට විනාඩියක් දෙකක් හිතලා මතලා හුස්ම ගන්න එක. ඔන්න ඔය වැඩ ඔක්කොටම හරියන්න හදපු විශිෂ්ට ඇප් එකක් තමයි මේ.
මේ ඇප් එක බොහොම සරලයි. අපිට වැඩ වලට හොඳට ෆෝකස් වෙලා වැඩ කරන්න ඕන නම්, මේකේ තියෙනවා අර පොමොදෝරෝ ටෙක්නික් එක. ඒ කියන්නේ මිනිත්තු විසිපහක් වැඩ කරලා පහක් විවේක ගන්න එක. ඕන නම් ඒ වෙලාවල් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ ටයිමර් එක දැම්මට පස්සේ අපිට වැඩ කරන්න හොඳටම පුළුවන් පසුබිම් ශබ්දත් තෝරගන්න පුළුවන්. හුස්ම ගන්න එකත් එහෙමයි. බොහොම රිලැක්ස් එකේ විනාඩියක් හිතලා මතලා හුස්ම ගන්න පුළුවන් විදියේ ක්‍රමයක් මේ ඇප් එකෙන් ලබාදෙනවා. රිලැක්ස් වෙන එක වුනත් එහෙමයි. නිදාගන්න එක වුනත් එහෙමයි. විශේෂයෙන්ම ගැඹුරින් රිලැක්ස් වෙන්න, නිදාගන්න පුළුවන් විදියේ පසුබිමක් මේ ඇප් එකෙන් හදලා දෙනවා.
4. Sectograph
අපි දවසේ වැඩකරනකොට බොහොම පහසුවෙන් කරන වැරැද්දක් තියෙනවා. ඒ තමයි දවසට තියෙන්නේ පැය විසිහතරයි කියලා අමතක කරන එක. ඉතින් අපි උදේට ඔහේ නට නට ඉන්නවා වැඩ ඉවර නොකර. ඇයි හවසට කරන්න පුළුවන්නේ. හැබැයි ඔන්න වැඩ කරන්න අපි හරිබරි ගැහෙනකොට දවලුත් වෙලා. ඔක්කොම අනං මනං අස්සේ වැඩ බාගෙට කරගෙන යනකොට මෙන්න දන්නෙම නැතුව රෑ වෙලා!
මේ විදියේ කාලය කා දැමීම් නවත්තා ගන්න පුළුවන් ඇප් එකක් තමයි මේ. මේ ඇප් එකෙන් ඉදිරිපත් කරන්නේ අපේ දවසට තියෙන කාලය කැලැන්ඩරයක් විදියට. ඒ කියන්නේ දවසේ කරන්න තියෙන වැඩ, ඒවලට යන කාලය එක්ක මේකට ඇතුළත් කලාට පස්සේ පැය විසිහතර ඇතුළත මේ වැඩ ටික බෙදිලා යන විදිය පයි රූපසටහනකින් දක්වනවා. දැන් මේක දිහා බලලා අපේ කාලය කළමනාකරණය කරගන්න, දවස සැලසුම් කරන්න, කෑම බීම වෙලාවල් සැලසුම් කරන්න, කාල සටහනක් තියාගන්න පුළුවන්.
5. Google Trips
සාමාන්‍යයෙන් ඔෆිස් එකක් ඇතුලේ වැඩ කරන කෙනෙක්ට ඔය උඩ කියපු විදියේ ඇප් එකකින් දෙකකින් දවස ප්ලෑන් කරන්න පුළුවන්. හැබැයි නිරන්තරයෙන් ගමනේ යෙදෙන ඈයන්ට? ගොඩක් වෙලාවට ලංකාවේ නම් සිද්ධ වෙන කේස් එකක් වෙන්නේ, කොච්චර දවස ප්ලෑන් කළත්, පාරේ වැඩි වෙලාවක් ගත කරන්න වුනොත් හිතන, නොහිතන ට්‍රැෆික් වලට කාලය නාස්ති වෙනවා. ඒ වගේම ලේසිම සහ ඉක්මන්ට රූට් එක හොයාගන්නත් සැලකිය යුතු කාලයක් යනවා. ආන්න ඒ නිසා පාරේ වැඩිපුර ඉන්න වෙන කෙනෙක්ගේ දවසේ සැලසුම් වලට මේ ඇප් එකත් ඉතාම ප්‍රයෝජනවත්.
මේ ඇප් එක පාවිච්චි කරලා අපි යන එන තැන් ප්ලෑන් කරගන්න පුළුවන්. ඉක්මනින්ම යන්න පුළුවන් රූට් හොයාගන්න, උපරිම කාර්යක්ෂමතාවයට කොයි තැන වැඩේට මුලින් යන්න ඕනද කියලා හොයාගන්න එක වගේ ගොඩක් දේවල් මේ ඇප් එකෙන් කරන්න පුළුවන්.
හැබැයි මේ ඇප් එක තියෙන්නේ අගෝස්තු මාසේ වෙනකල් විතරයි. ඊට පස්සේ මේකේ තියෙන විශේෂාංග ඔක්කොම අපිට ගූග්ල් මැප්ස් වලින්ම ලබාගන්න පුළුවන්.
6. Microsoft Flow
මේක ටිකක් විතර සංකීර්ණ ඇප් එකක්. හැබැයි මේක හෙමිහිට වටහා ගත්තට පස්සේ මේකේ තියෙන බලය කියලා නිම කරන්න බෑ. දැන් අපේ වැඩ සෑහෙන දුරට ස්වයංක්‍රීය වෙලා තිබුණත්, එහෙම නොවෙන කොටසකුත් තියෙනවා. හැබැයි මේ ඇප් එකෙන් ඒ ස්වයංක්‍රීය නොවන වැඩත් තව පහසු කරලා දෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් බොස්ගෙන් ඊමේල් එකක් ආවහම සිහිකැඳවීමක් ලබාදෙන්න මේක සෙට් කරන්න පුළුවන්, අපි වැඩ කරන පැය ගාණ රෙකෝඩ් කරලා ගාණට ස්ප්‍රෙඩ්ෂීට් එකකට ගන්න මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්, ඊමේල් ඇටෑච්මන්ට්ස් ස්වයංක්‍රීයවම ක්ලවුඩ් ධාරිතාවකට අප්ලෝඩ් කරන්න මේක සෙට් කරන්නත් පුළුවන්. ඒ වගේම අපි ඉන්න තැන කොතනද කියලා අපිට සිහිකැඳවීම් කරන්න, දැන් මේ වෙලාවේ අපි ඉන්න තැන කාලගුණය කොහොමද කියලා සිහිකැඳවීම් කරන්න වගේ තව දහසකුත් ලොකු කුඩා වැඩ මේ ඇප් එක ඔස්සේ ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්.
7. Pocket
දැන් ගොඩක් අය බලයි ඇයි පොකට් වගේ ඇප් එකක් අපි එදිනෙදා දවස සැලසුම් කරන ඇප්ස් එකතුවකට ඇතුළත් කළේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. දැන් හිතන්න අපි වැඩ කරන අතරතුරේදී ඉන්ටර්නෙට් එකේ මොකක් හරි වැඩට අදාළ දෙයක් හොයනවා. එහෙම හොයනකොට අපිට ඔන්න කියවන්න හිතෙන ඉන්ටරෙස්ටින් ආටිකල් එකක් මුණගැහෙනවා. දැන් අපි ඒක කියවනවා. දන්නෙම නැතුව පැය බාගයක් ගත වෙලා! දවසේ ඵලදායීතාවයට ඒක හොඳ නෑ. ආන්න ඒක නිසා අපිට පොකට් ඇප් එක අවශ්‍ය වෙනවා. මොනවද කරන්න තියෙන්නේ? ඉන්ටරස්ටින්ග් දෙයක් මුණගැහුණ ගමන් ඒක කියවන්න යන්න එපා. වහාම ඒක පොකට් එකේ සේව් කරන්න. දැන් අර උඩ තියෙන ටයිම් මැනේජ්මන්ට් ඇප්ස් වලින් එකක් පාවිච්චි කරනකොට, ඒකේ එක වැඩක් විදියට ඇතුළත් කරන්න නිවීහැනහිල්ල තියෙන වෙලාවට පොකට් එකේ සේව් කරපු ආටිකල්ස්, පෝස්ට් කියවන එක. ඒකට නිශ්චිත වෙලාවකුත් ඇතුළත් කරන්න. ආන්න එතකොට අපේ අවධානය එක ආටිකල් එකකින් තව එකකට මාරු වෙවී ගිහිල්ලා කාලය නාස්ති වෙන්නෙ නෑ!
Leave a Reply